ත්‍රීකුණාමල තෙල් ටැංකි සංකිර්ණය දීර්ඝ කාලීනව ඉන්දියාවට පවරාදීමට රජය සුදානම් වන බවට මේ වන විට කතා බහක් ඇතිව තිබේ. වෘත්තීය සමිති චෝදනා කරන්නේ රජය තෙල් ටැංකි නැවත ඉන්දියාවට පවරාදීමට සුදානම් වන බවය.
දෙවන ලෝක යුද්ධය පැවැති සමයේ බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 103 ක් ඉදි කරනුයේ යුද්ධය පවතිද්දී තෙල් හිගයක් ඇතිවීම වලකා ගැනීමටය. ඉන් 4 ක් එම අවධියේදීම විනාශයට පත්වීම හේතුවෙන් තෙල් ටැංකි 99 ක් මේ දක්වා සුරක්ෂිතව තිබේ.
මෙම තෙල් ටැංකි චින වරාය ආසන්නයේ පිහිටා ඇති අතර දුම්රිය මාර්ගය ද ඒ ආසන්නයෙන්ම ගමන් කරයි. ශක්තිමත් යකඩ භාවිතා කොට මෙම ටැංකි ඉදිකරනුයේ ගුවන් බෝම්බ ප්රහාරයන්ට ද ඔරොත්තුදීම අරමුණු කරගෙන විය යුතු ය.
2003 වසරේදී මෙම තෙල් ටැංකිවලින් කොටසක් එවක පැවැති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් බදු පදනම යටතේ ඉන්දියානු තෙල් සමාගමට පවරා දෙන ලදී.. එවකට රජයේ ආර්ථික සංවර්ධන ඇමතිවරයා ලෙස කටයුතු කළ මිලින්ද මොරගොඩ ඉන්දියාව සමග කළ ගණුදෙනුවට පිඹුරුපත් සකස් කළ මහා නියමුවා විය.
කෙසේවෙතත් මෙම තෙල් ටැංකි බදු ගිවිසුම 2024 දී අවසන් වීමට නියමිතය. ගිවිසුම අවසන් වූ විගස තෙල් ටැංකිවල පූර්ණ අයිතිය ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු වන්නේය. නමුත් මෙම තෙල් ටැංකිවලින් ඉන්දියන් තෙල් සමාගම භාවිතා කළ තෙල් ටැංකි සමඟ තවත් තෙල් ටැංකි කිහිපයක් ද පැවරෙන ආකාරයට කටයුතු කිරීමට රජය සුදානම් වන බව ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති චෝදනා කරයි.
එහිදී තෙල් සංස්ථාව ද ඇතුළත් වන ආකාරයට නම් දේශීය සමාගමක් නිර්මාණය කොට 51% අයිතියක් ශ්‍රී ලංකා රජය සතුව තබා ගනිමින් ඉන්දීය ආයෝජකයෙකු වෙත තෙල් ටැංකි පවරා දීමට රජය සැලසුම් සකස් කරමින් සිටියි.වෘත්තීය සමිති සඳහන් කරනුයේ 100% ක් මෙම තෙල් ටැංකිවල අයිතිය රජය යටතේ පවත්වාගෙන ඉදිරියට යාම තුළ තව වසර හතරකින් සංස්ථාව ලාබ ලබන තැනකට ගෙන ආ හැකි බව ය. එවන් පසුබිමක ත්‍රිකුණාමලයේ තෙල් ටැංකිවලින් වැඩි කොටසක් ඉන්දු ශ්‍රී ලංකා හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාම උදෙසා නව ගිවිසුමකට අත්සන් තැබීමට නියමිත ය.
රජය මේ වන විට දැඩි ඩොලර් අහේනියකින් පීඩා විඳිමින් සිටියි. ඒ වෙනුවෙන් ඔවුන් ඕනෑම දෙයක් කිරීමට සුදානම්ය. ඩොලර් ලබා ගැනීම උදෙසා ජාතික සම්පත් විකුණා දැමීමට රජය කටයුතු කරමින් සිටියි. තෙල් ආනයනය කිරීමට ද මුදල් නොමැති ආණ්ඩුව ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500 ක ණයක් ඉල්ලා සිටින්නේ මේ අවදියේය. එය ලබාදීමට ඉන්දීය රජය කැමැත්ත පළකර තිබේ. ඒ මෙම ගණුදෙනුව වෙනුවෙන් විය යුතුය. දෛවෝපගත තවත් සිදුවීමක් වන්නේ 2003 දී මෙම තෙල් ටැංකි ඉන්දියානු තෙල් සමාගමට පැවරීමට “කපුකම’ කළ මිලින්ද මොරගොඩ අද ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් වීමය..උපාසක ස්වරූපයෙන්ම මෙවැන් කොන්තරාත්තු ඉටු කිරීමට ඔහුට යස අගේට පුළුවන.අනෙක් පසින් ඛනිජ තෙල් සංවර්ධන ඇමතිවරයා වන්නේ ජාතික සම්පත් විකුණනවාට එරෙහිව මරාගෙන මැරෙන දේශපාලන සටනක් කළ නායකයෙකු වන උදය ගම්මන්පිලය. ඔහු මේ කාරණයේදී නිහඩය. ඉන්දීය විදේශ ලේකම් හර්ෂ් වර්ධන් ශ්‍රිංග්ලා මෙරටට හදිසියේම පැමිණෙන අතර ඔහු ත්‍රිකුණාමලයේ තිබෙන තෙල් ටැංකි සංකිර්ණය නිරීක්ෂණයට ද ගියේය.එහෙත් රාජ්‍ය මාධ්‍ය ඉන්දීය විදේශ ලේකම්වරයා ගේ මේ ගමන හුවා දක්වන ලද්දේ දළදා සමිඳුන් වැඳ පුදා ගෙන පින් රැස් කර ගැනීමට ආ වන්දනා ගමනක් ලෙසිනි.ලේකම් වරයා ත්‍රිකුණාමලය යන විට උදය ගම්මල්පිල ඇමතිවරයා හා විමල් වීරවංශ ඇමතිවරයාත් එම ප්‍රදේශයට ගොස් වෙනත් හෝටලයක ලැගුම් ගෙන නිවාඩුවක් ගත කරමින් සිටියේය.සමහර ලෙඩුන්ට උපස්ථාන කළ පිරිස් එම ලෙඩුන් අසාධ්‍ය තත්වයට පත් ව “පණ අදින “විට ඔවුන් බලන්නට යති.යහපාලන ආණ්ඩුව විකිණු ජාතික සම්පත් ද මිලදි ගන්නා බව කියූ ආණ්ඩුව දැන් ඩොලර් සොයා ගැනීම වෙනුවෙන් රටේ ජාතික සම්පත් විකුණමින් සිටියි.
තෙල් ටැංකි විකිණිමට එරෙහිව ඛනිජ තෙල් සංස්ථාවේ සියළු වෘත්තීය සමිති එක වේදිකාවකට පැමිණ සිටිති. ඔවුන් මෙම ගණුදෙනුවට එරෙහිව වෘත්තීය අරගලයක් දියත් කිරීමට සුදානම් වේ. වරාය බටහිර ජැටිය ඉන්දියාවට දෙන විට, යුගදනවි බලාගාරය ඇමරිකාවට දෙන විට බලා සිටි ජනතාව තවදුරටත්බ තෘෂ්නිම්භූතව බලා සිටිනු ඇතැයි අපි සිතමු.
ලසන්ත වීරකුලසූරිය