තායි රාජා නැවත තායිලන්තයට ගෙන යන්න හැදුවොත් නඩු දානවා

1986 පෙබරවාරි 25 වැනිදා මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පූජා කළ තායි රාජා හෙවත් විජේරාජ ඇතු නැවත තායිලන්තයට ගෙන යෑමට තැත් කළහොත් ඇතු මෙතෙක් නඩත්තු කිරීමට වැය වූ මුදල වන්දියක් ලෙස ඉල්ලා නඩුවක් ගොනු කිරීමට තමන් කටයුතු කරන බව දළදා මාළිගාවේ හිටපු දියවඩන නිලමේ නෙරංජන් විජයරත්න මහතා පවසයි.තායි රාජා ඇතු 1986 පෙබරවාරි 24 වැනිදා ශ්‍රී ලංකාවට රැගෙන ආ අතර 25 වැනිදා දළදා මාළිගයට පූජා කළ බවත් එතැන් සිට මේ දක්වා පශු වෛද්‍ය ක්ෂේත්‍රයේ විද්වතුන් වන විජිත කුරුවිට, නෙවිල් සිල්වා සහ අශෝක දංගොල්ල යන මහාචාර්යවරුන් යටතේ නිරෝගී සතෙකු ලෙස රැක බලා ගත් බවත් හිටපු නිලමේවරයා කියා සිටියි. විවිධ පුද්ගලයින්ගේ මති මතාන්තර අනුව වැරදි ප්‍රකාශ පතුරුවා පසුගිය දිනවල වූ සිද්ධියට සම්බන්ධ කරමින් තායි රාජා ඇතු තායිලන්තයට ගෙන යෑමට උත්සාහ කළහොත් ශ්‍රී ලංකාවාසීන් ලෙස ජනතාව ඊට එරෙහිව නැගී සිටිය යුතු යැයි ද හෙතෙම කියයි.ඉකුත් සතියේ තායිලන්තයේ පරිසර ඇමැතිවරයාගේ නැගණිය ශ්‍රී දළදා මාලිගාවට පැමිණ තායි රාජා ඇතු පිළිබඳව විමසන අවස්ථාවේ ඇතා මාලිගා පරිශ්‍රයේ නොසිටීම හේතුවෙන් මෙම ප්‍රශ්නය පැන නැගී තිබිණි. තායි රාජා හෙවත් විජේරාජ ඉකුත් දිනවල මඳ කිපීම හේතුවෙන් සුදුහුම්පොළ රාජමහා විහාරයේ නිදහස් පරිසරයක ලැගුම් ගැනීමට සලසා ඇති බව ද නෙරංජන් විජයරත්න මහතා පවසයි.නමුත් ඒ සම්බන්ධයෙන් සත්ව හිමිකම් ක්‍රියාධරයන් පවසා සිටිනුයේ එම ඇතාට අගතියක් සිදු ව නැතිනම් තායිලන්තය යළි ඒ ඇතා ඉල්ලා නොසිටින බව ය.එමෙන්ම තායිලන්තයෙන් ශ්‍රී ලංකාවට තිළිණ කොට දැනට කතරගම සිද්ධස්ථානයක හිඳින ඇතු ගේ තත්වය පිළිබඳව තායිලන්ත නියෝජිත පිරිස සෑහීමකට පත් ව ඇති බව ද ඔව්හු කියා සිටිති.

කාලීන පුවත්