තුවක්කුවට සිත් පිත් නැති බව පාලකයන් ද තේරුම් ගත යුතුයි – ජ්‍යෙෂ්ඨ සමාජ විද්‍යා මහාචාර්ය දයා අමරසේකර

වර්තමානයේ අප රට මුහුණ පා ඇති අතිශය ඛේදනීය තත්වය හමුවේ සමාජයේ වැඩි පිරිසකගේ පිළිකුල අප්‍රසාදය මෙන්ම වෛරය ද වත්මන් රජය වෙත එල්ල වෙමින් තිබේ. රට මෙවන් ඛේදනීය තත්වයකට ඇද වැටීම සම්බන්ධ පූර්ණ වගකීම වත්මන් රජය භාර ගත යුතුද? එදා මෙදා බලයට පත් සියලුම රජයන් මීට යම් යම් ප්‍රමාණයන් ගෙන් හෝ වගකිව යුතු නොවේද? රාජ්‍ය නායකයන් මෙලෙස නොමඟ යැවීම සම්බන්ධ චෝදනා වලින් උසස් රාජ්‍ය නිලධාරීන් ඇතුළු තවත් පාර්ශවයන් නිදහස් කළ හැකිද? ආදී වශයෙන් වන
විශ්ලේෂණාත්මක විග්‍රහයන්ට වඩා වර්තමානයේ රට ඇද වැටී ඇති දරුණු ශෝචනීය තත්වයන් සම්බන්ධ ආසන්නතම සහ ද්‍රෘශ්‍යමාන හේතු සාධක කෙරෙහි පිළිකුල, අප්‍රසාදය මෙන්ම වෛරය මුදා හැරීම සාමාන්‍ය මිනිස් ස්වභාවයක් මත පදනම් වන්නකි..

පවත්නා රජය හෝ පාලකයන් කෙරෙහි එල්ල වන සමාජමය ප්‍රතිරෝධය මෙහි ප්‍රධාන ලක්ෂණයක් වුව ද මෙවන් සංසිද්ධියක් තුළ පවත්නා ඊට සංකීර්ණතා රාශියක් සමාජ විද්‍යාව මගින් අනාවරණය කර ගත හැක. තමන් ගේ මූලික සහ සෙසු අවශ්‍යතා සංතෘප්ත කරගැනීමේ අවකාශය අහිමි වීමෙන් පැන නඟින මානසික පීඩනය මුලුමනින් සිත් තුළ දරා ගැනීමේ හැකියාව අප සමාජයේ කිසිවකු තුළ නැත. එහෙත්,එය යම් යම් පුද්ගලයන් ගේ පෞරුෂය, සමාජ, ආර්ථික පසුතලය සහ සංස්කෘතික පසුබිම ආදී හේතූන් මත වෙනස් වෙයි.

අතීත සරල කෘෂිකාර්මික සමාජයේ ගොවියාට මාස ගණනක් තිස්සේ දැඩි වෙහෙස මහන්සියෙන් යුතුව තමන් විසින් සකසා ගත් බව බෝග සම්පත් එක් රැයක හෝ දින දෙක තුනක් තුළ වන සත්ව හෝ ස්වභාවික හානියකින් මුලුමනින් වැනසී යනු බලා හිත හදා ගැනීමේ යම් හැකියාවක් තිබිණ. නමුදු පසුකාලීන සමාජ, ආර්ථික පරිනාමයට සමගාමීව ඇති වූ චින්තන පරිනාමයේ දී ඒ හැකියාවන් මිනිසා තුළින් අවප්‍රමාණ විය. ඒ නූතන සමාජ ලක්ෂණ සහ සමාජ පුරුෂාර්ථ සමඟ පැරණි සරල සිතුම් පැතුම් ආකල්ප මුලුමනින්ම පාහේ බිඳ වැටී ඇති බැවිනි. මෙය වඩාත් පැහැදිලි ලෙස විස්තර කළහොත් අතීත සරල ගැමි සමාජයන් තුළ බොහෝ විට දක්නට ලැබුණු සහනශීලී බව, උපේක්ෂා සහගත බව නවීන විද්‍යා තාක්ෂණ සහ නාගරිකත්වය සමඟ විවිධාකාරයෙන් සුසංයෝග වූ වත්මන් සමාජයේ දක්නට නැත.

මෙම සමාජමය කැළඹීම හුදෙක් දේශපාලනික මූලයක් මත පදනම් වුව ද සමාජය ඒ සඳහා ප්‍රතිරෝධතාව දක්වන සීමාව දේශපාලනමය ඉක්මවා පුළුල් පරාසයක් වෙත ගමන් කරනු ඇත. මෙය බොහෝ දෙනකු නොසිතන එහෙත්, විශේෂයෙන් සිතා බැලිය යුතු තත්වයකි. මෙවන් දුර්භාග්‍ය සම්පන්න කාල වකවානුවලදී මිනිසුන් ගේ සිතුවිලි විෂම වීම යුක්තිය ඉක්මවා අයුක්තියත් ධර්මය ඉක්මවා අධර්මයත් ඉස්මතු වීම පිළිබඳ මීට වසර දහස් ගණනකට ඉහත බිහි වූ වෛදික සේම බෞද්ධ දර්ශනයෙන් ද පැහැදිලි වෙයි.

බෞද්ධ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයට අයත් දීඝ නිකායේ සූත්‍ර වල දැක්වෙන අන්දමට මෙවන් දුර්භාග්‍ය සම්පන්න වකවානු වලදී මිනිසුන් කෙරෙන් තිරිසන් ගති (මිග සඤ්ඤා) පළවෙයි. ජනයා වන මගෘගයන් සේ හැසිරෙති. සමාජයේ පැන නගින ගැටලු අවි ආයුධ මගින් විසඳා ගැනීමේ නැඹුරුවක් පළ කරන යුගයක් (සත්තන්තර කප්ප) එළැඹේ.අවසානයේ අදැහැමි පාලකයන් නිසා සොබා දහම ද කම්පා වී ගම් දනව් සේම රාජ්‍යයන් පාළු වී විනාශ වී යන බවක් ද ඒ සූත්‍ර දේශනා මඟින් ප්‍රකාශ වෙයි. මේවා හුදෙක් පැරණි යල් පැන ගිය මතිමතාන්තර නොවන්නේ මෙවන් සමාජමය කැළඹීම් සහ ඒවා මඟින් හට ගන්නා අතිශය අහිතකර ප්‍රති විපාක පිළිබඳව මහාචාර්ය ස්ටැන්ලි කොහෙන් වැනි කීර්තිමත් සමාජ විද්‍යාඥයන් අනාවරණය කරගත් කරුණු මේ වන විට සමස්ත ලෝකයා ගේම පොදු පිළිගැනීමට ලක්ව ඇති බැවිනි.

වර්තමානයේ පවතින දැඩි ආර්ථික පීඩනය සමාජයේ අඩු ආදායම් ලාභීන්ට පමණක් බලපාන තත්වයක් නොවේ. තමන්ට ලැබෙන වේතනයෙන් ජීවිත සටනට මුහුණ දිය නොහැකි කම්කරුවා හාම්පුතුන් හා අරගල කරන විට ඒ කම්කරුවා ගේ සේම හාම්පුතා ගේ ද මනැස ව්‍යාකූල වෙයි. එය කාර්මික සමගිය අහිමි වීමේ සිට ඔවුන්ගේ එදිනෙදා පවුල් ප්‍රජා සහ සමාජමය ජීවිත වලට ද සෘජුව බලපානුයේ ලෞකික පැවැත්මක පරම අපේක්ෂාවක් වන පවුලේ සතුට සමාදානය පවා අහිමි කරමිනි.අප රටේ සමාජ යාන්ත්‍රණය තුළින් අද වන විට මේ තත්වය කෙතරම් බරපතල ලෙස ඉස්මතු වී තිබේද යත් වර්තමානයේ රටේ ජනතාව අත්විඳින බරපතල පීඩනය අවම කරන ලෙස රටේ මුල් පෙළේ ව්‍යාපාරික ප්‍රජාව ද රජයෙන් සාමූහික ව ඉල්ලා සිටිති.

මේ තත්වය එක් එක් පුද්ගලයා ගේ ප්‍රජා සහ සමාජ සම්බන්ධතා කෙරෙහි ද ඉතා අනර්ථකාරී අයුරින් බලපෑම කෙසේවත් වැළකිය නොහැක. මේ අතර දේශපාලනික වශයෙන් මනැස තුළ මුල් බැස ගත් දැඩි ස්ථාවරයන් ගෙන් යුතු පුද්ගලයෝ තමන් වෙත එල්ල වන මෙවන් විපත්තිකර තත්වයන් වෙනයම් ඉලක්කන් වෙත ප්‍රක්ෂේපණය කොට ඉන් අත් මිදීමේ උත්සාහයක් දරති.

වර්තමානයේ පවත්නා විදුලි බල අර්බුදයට හේතුව විදුලි බලාගාර ආශ්‍රිත ජලාශයන්ට වැසි නොලැබීම වශයෙන් හඳුන්වාදෙන ඔවුන් ගෙන් සමහරෙක් ඉන්ධන මිල ඉහළ යාම ලෝක වෙළඳ පළේ බොර තෙල් මිල ඉහළ යාමට සාපේක්ෂව සිදු වන්නක් බව කියති.එමෙන්ම වර්තමාන පාලනය ගැන ඔවුන් බොහෝ විට පවසනුයේ “කවුරු ආවත් මෙහෙම තමයි” ආදී වශයෙන් කිසිදු තර්කානුකූල පදනමක් නොමැති කතා ය.එසේම “මීට පස්සෙ එන එවුනුත් මීට හපන් වෙයි” ආදී වශයෙන් බොළඳ සාවද්‍ය උපකල්පන වල පිහිටන්නෝ ද මොවුන් අතර සිටිති.එවන් ආකල්පයමය විෂමතා හේතු කොට පොදු සමාජයීය චර්යාවන් හා එක් විය නොහැකි ඔවුන් තමන් තුළ පවත්නා මානසික අවශ්‍යතා සංතෘප්ත කරගැනීම පිණිස වෙනම කල්ලි හා කණ්ඩායම් හා එක්ව කටයුතු කිරීම ද මෙහි දී දක්නට ලැබේ. මෙසේ එකි’නෙකට ප්‍රතිවිරුද්ධ මත දරන කණ්ඩායම් බිහි වීම සමාජමය අරගල සඳහා ද තුඩු දෙන්නකි.

වර්තමාන සමාජ, ආර්ථික අවනතිය හමුවේ තම දිවි පැවැත්ම තව දුරටත් ඉදිරියට ගෙන යාමේ ක්‍රමෝපායන් අහිමි වන ජනතාව තමන්ට එරෙහි බලවේගවලට එරෙහිව ගැටුම් ඇති කර ගැනීම සේම එම පාර්ශව දෙකටම අයත් පිරිස් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීම ද මෙවන් සමාජමය ප්‍රපංචය දී දැකිය හැකි තත්වයකි. මිනිස් ජීවිත පොදු සහ පෞද්ගලික දේපල විනාශ කිරීම් ආදියේ සිට තමන්ට දරුණු පීඩන එල්ල කරන බලවේගයන් හා පවත්නා දැඩි වෛරය ද්වේෂය ආදිය හේතු කොට මරාගෙන මැරෙන පුද්ගලයන් බිහි වීම ද මෙවන් සමාජමය සංසිද්ධියක දී දැකිය හැකි ආන්තික ප්‍රතිඵලයකි.

අප මේ බව කල් ඇතිව දන්වා සිටිනුයේ වර්තමානයේ පවත්නා අතිශය දුෂ්කර කටුක යථාර්ථය පිටුදැකීම පිණිස හිසරදයට කොට්ටා මාරු කරන්නාක් බඳු පටු මුග්ධ විසඳුම් වලින් අත්මිදී සමස්ත රට වැසියන්ම මෙම දරුණු ව්‍යසනයෙන් මුදාගැනීමේ පරම වගකීම අප රටේ සෑම වගකිව යතු දේශපාලනඥයකු සතුවම පවතින බව කියා පෑම පිණිසය ඒ වෙනුවට රජය විසින් දැනට ගෙන යන “අත-යට මුදල් මත”දේශපාලනඥයන් එහා මෙහා කිරීමේ නිරුවත් දේශපාලන වැඩ සටහන් මෙම අර්බුදය අතිශය බිහිසුණු අවසානයක් දක්වා ගෙන යාමට සමත් වන බව ආණ්ඩු පක්ෂයේ මුල් පෙළේ දේශපාලනඥයකු වන ඩලස් අලහප්පෙරුම ද පෙන්වා දී තිබේ.

එවන් තත්වයන් නොසළකා හැර වගකිව යුත්තන් අද රටේ සාමාන්‍ය ජනතාව වෙතට ගිනි අවි කේන්ද්‍රීය ප්‍රචණ්ඩකාරී බලපෑම් එල්ල කළහොත් ඉතා නුදුරු දිනයක දී එය පෙරලා ඔවුන් වෙතටම එල්ල වන බවට සමාජමය වශයෙන් පුරෝකතනයක් ඉදිරිපත් කිරීමට අපට පුළුවන. මක් නිසා ද තුවක්කුව යනු සිත් පිත් නැති හිංසන අවියක් බැවිනි.එය වටහා ගැනීම මෙරට පාලකයන් කෙසේ වත් හෙටට කල් නොදැමිය යුතුය.

ජ්‍යෙෂ්ඨ සමාජ විද්‍යා මහාචාර්ය දයා අමරසේකර

 

 

එතෙර - මෙතෙර