බ්‍රිතාන්‍ය රජ පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවක වන ඈන් කුමරිය තෙදින සංචාරයක් සඳහා ලංකාවට පැමිණියාය. 10 වැනි දින මෙහි සම්ප්‍රාප්ත වූ ඇය 13 වැනි දින දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටියි. ඈන් කුමරිය පැමිණියේ තනිවම නොව ඇයගේ සැමියා වන උප අද්මිරාල් ශ්‍රීමත් තිමති ලෝරන්ස් ද සමග යි. ඔවුන් ලංකාවට පැමිණියේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ යානයකින් වීම ද විශේෂත්වයක් විය.
ඇයගේ මෙම සංචාරය සිදු වන්නේ ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ වී වසර 75 ක් ගත වීම නිමිත්තෙනි. මෙය ඈන් කුමරිය මෙරට සංචාරය කරන පළමු අවස්ථාව නොවේ. 1995 වසරේ ද ඇය මෙහි පැමිණියාය. එවර ඇය පැමිණියේ සේව් ද චිල්ඩ්රන් ආයතනයේ වැඩසටහනක් වෙනුවෙනි. ඇය වසර 50 කට කිට්ටු කාලයක සිට එම ආයතනයේ බොහෝ වැඩසටහන්වලට සහභාගි වන කෙනෙකි.
රජ පවුලේ කෙනෙකු මෙම වසර තුළ සහභාගි වන පළමු විදේශ සංචාරය ද ඈන් කුමරියගේ ශ්‍රී ලංකා සංචාරය යි. මෙම සංචාරය තුළ ඇය කොළඹ දී මෙන්ම මහනුවර සහ යාපනයේ දී ද විවිධ අවස්ථාවන්ට සහභාගි වීමට නියමිත ය. ඒ අතර ඈන් කුමරිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද හමු වෙයි. මෙවරත් ඇය සේව් ද චිල්ඩ්රන් ආයතනයේ වැඩසටහන්වලට සහභාගි වීමට නියමිතව තිබේ. එමෙන්ම ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ප්‍රජාව ද සමාජ සේවා සහ පුණ්‍ය ආයතනවල නියෝජිතයන් ද හමු වීමට නියමිතය. මෙම සංචාරය අතරතුර ආගමික ස්ථාන නැරඹීමට යාමට ද ඇය බලාපොරොත්තු වේ. එමෙන්ම ඇය සහ සිවිල් සංවිධාන නියෝජිතයන් අතර හමුවක් ද පැවැත්වෙනු ඇත.
මේ වනවිට 73 වැනි වියෙහි පසුවන ඈන් කුමරිය දෙවැනි එළිසබෙත් රැජිනගේ දෙවැනි දරුවායි. එම පවුලේ එකම දියණිය වන්නේ ද ඇය යි. චාල්ස් රජු ඇයගේ වැඩිමල් සොහොයුරා වන අතර ඇන්ඩෲ සහ එඩ්වඩ් කුමරුවන් බාල සහෝදරයන් ය.
මේ වනවිට ඇය විවාහ වී සිටින්නේ උප අද්මිරාල් ශ්‍රීමත් තිමති ලෝරන්ස් සමග ය. මේ ඇයගේ දෙවැනි විවාහය යි. ඈන් කුමරියගේ පළමු සැමියා වූයේ කපිතාන් මාර්ක් පිලිප්ස් ය. ඔවුන්ගේ විවාහය සිදු වූයේ 1973 වසරේ යි. නමුත් 1992 වසරේ ඔවුහු එකිනෙකාගෙන් දික්කසාද වූහ. එයින් පසු ඇය තිමති ලෝරන්ස් සමග විවාහ වූයේ ද එම වසරේම ය. ඔවුන් මුලින්ම හමු වී තිබුණේ ලෝරන්ස් එළිසබෙත් රැජිනගේ අශ්වයින් භාර නිලධාරියා ලෙස කටයුතු කරමින් සිටියදී ය.
ඈන් කුමරියට මාර්ක් පිලිප්ස් සමග විවාහයෙන් දරුවෝ දෙදෙනෙක් සිටිති. ඒ පීටර් පිලිප්ස් සහ සාරා ටින්ඩ්ල් ය.
කැමිලා බිසව චාල්ස් කුමරු සමග විවාහ වීමට පෙර විවාහ වී සිටියේ ඇන්ඩෲ පාකර් බෝව්ල්ස් සමගයි. ඔවුන්ගේ විවාහයට කලින් ඇන්ඩෲ සහ ඈන් කුමරිය අතර සම්බන්ධයක් තිබූ බව ද සඳහන් වේ.
කුමරිය ජීවිතයේ එක් අවස්ථාවක ඉතා බිහිසුණු අත්දැකීමකට ද මුහුණ දුන්නාය. ඒ 1974 මාර්තු 20 වැනි දින යි. එදින ඇය කිසියම් සමාජ සේවා කටයුත්තකට සහභාගි වී නැවත බකිංහැම් මාලිගය වෙත පැමිණෙමින් සිටිය දී එක්තරා පුද්ගලයෙක් ඇය පැහැර ගැනීමට උත්සාහ කළේය. ඉයන් බෝල් නැමැති මෙම පුද්ගලයා ඈන් කුමරිය ගමන් ගත් වාහනය අවහිර කරමින් සිය මෝටර් රිය නතර කර එයින් බැස කුමරියගේ රථය වෙත වෙඩි තබන්නට පටන් ගත්තේය. එම අවස්ථාවේ කුමරියගේ ආරක්ෂක නිලධාරියා වූ ජේම්ස් බීට්න් රථයෙන් බැස කුමරිය ආවරණය කරමින් බෝල් වෙත ළඟා වීමට උත්සාහ කළත් බෝල්ගේ වෙඩි පහරට ලක් විය. කුමරියගේ රියදුරා වූ ඇලෙක්ස් කැලෙන්ඩර්ට ද වෙඩි වැදිණි.
පසුව ඈන් කුමරිය වෙත පැමිණි බෝල් කියා සිටියේ ඇය පැහැරගෙන ගොස් කප්පම් මුදලක් ලබා ගැනීමට තමා අදහස් කරන බවයි. ඇතැම් මාධ්‍ය වාර්තාවලින් පැවසුණේ එම කප්පම් මුදල ස්ටර්ලිං පවුම් මිලියන 2 ක් වූ බවයි. එම මුදල් තමා ලබා ගන්නේ පුද්ගලික පරිහරණයට නොව එක්සත් රාජධානියේ ජාතික සෞඛ්‍ය සේවයට ලබා දීමට බවක් ද ඔහු පැවසුවේය. රියෙන් බසින ලෙස බෝල් ඈන් කුමරියට පැවසුවත් කුමරිය මුලින් ඊට එකඟ වූයේ නැත. එම අවස්ථාවේ ඔහුට පහර දීමේ අදහසක් පවා ඇය තුළ පහළ වී තිබූ බවක් ද සඳහන් වේ. කෙසේ හෝ වේවා. පසුව කුමරිය රියෙහි අනෙක් පැත්තේ දොරෙන් එළියට බැස තිබිණි. එම අවස්ථාවේ පාරේ යමින් සිටි රොන් රසල් නැමැති බොක්සිං ක්‍රීඩකයෙක් බෝල්ට පහර දී ඈන් කුමරිය එතැනින් ඉවතට රැගෙන ගියේය. මෙම සිදුවීම් සිදුවෙද්දී පොලිස් කණ්ඩායමක් එතැනට ළඟා වී තිබූ අතර ඒ වනවිට පලා යමින් සිටි බෝල්ගේ රිය ලුහුබැඳ ගොස් ඔහු අත්අඩංගුවට ගැනීමට පියවර ගත්තෝය.
මෙම සිදුවීම ඇසුරෙන් පසුව රූපවාහිනී වාර්තා චිත්‍රපටයක් පවා නිර්මාණය විය.
ඈන් කුමරිය ඉතා දක්ෂ අශ්වාරෝහකයකු ලෙස ද ප්‍රසිද්ධියක් උසුළයි. අශ්ව තරගවලින් පවා ඇය ඉහළ ජයග්‍රහණ හිමි කරගෙන තිබේ. බ්‍රිතාන්‍ය රාජකීය පවුලෙන් ඔලිම්පික් තරගයකට සහභාගි වූ මුල්ම සාමාජිකාව ද ඇය යි. ඒ 1976 වසරේ පැවැති ඔලිම්පික් තරගාවලියට යි.
ඈන් කුමරිය සමාජ සේවා කටයුතුවලට ද විශාල උනන්දුවක් දක්වන්නියකි. එවැනි සංවිධාන 300 ක පමණ ඇය අනුශාසක හෝ සභාපති ධුර දරණ බව සඳහන් වේ.
නිහාල් පීරිස්