දකුණු පලාත ජාතික විදුලි පද්ධතියට එකතු කිරීම ප්‍රමාද වී ඇත්තේ පෞද්ගලික ඉඩමකින් අධිබල රැහැන් ඇදීමට එහි හිමිකරු ඉඩ නොදෙන නිසා බවට සති අන්ත පුවත්පතක වාර්තා පළකර තිබුණි.නමුදු මේ අන්දමින් පෞද්ගලික ඉඩම් හිමියෙකුට තම ඉඩම මතින් විදුලි රැහැන් ඇදීමට ඉඩ නොදී සිටීමට නීත්‍යානුකූල හැකියාවක් ඇත්නම් ඒ පුද්ගලයා රාජ්‍යටත් වඩා බලය ඇති අයෙකු විය යුතු ය.ඒ අනුව මේ රට රාජ්‍යයටත් වඩා බලවත් පුද්ගලයෙකු ජීවත්වන ලොව එකම රට ලෙස ද ඉතිහාස ගත වනු ඇත.
ඉහත වාර්තාව දකින මහජනතාව සිතන්නේ රාජ්‍යයේ මහජන සේවා කටයුතු නතර කිරීමට තරම් බලය ඇති පුරවැසියන් සිටින බව ය.වෙනත් ලෙසකින් කිව්වොත් සමස්ත රාජ්‍ය ව්‍යුහයම අල්ලේ නැටවීමට හැකියාවක් ඇතැම් බලවතුන්ට ඇති බව ය.එහෙත්, මේ සම්බන්ධ සත්‍යය නම් මේ අන්දමින් රාජ්‍ය ව්‍යුහය තමාගේ ශක්තියෙන් නතර කිරීමට හැකියාව ඇතමුන් ලබාගෙන ඇත්තේ නීති විරෝධී ව බවයි.රාජ්‍යයේ නීති පද්ධතිය මේ සියලුම චණ්ඩිකම් අභිබවා ක්‍රියා කිරීමට ශක්තිය සහිත බවත් ඒ නීතිය ක්‍රියාත්මක කළ යුතු වගකීම දරණ පුද්ගලයින්ගේ නිවට නියාලූ හීන දීන ස්වභාවය මෙබඳු අවාසනාවන්ත තත්වයන්ට හේතුවී ඇති බවත් සාමාන්‍ය ජනතාව නොදනිති.
රටේ විදුලිබල නිෂ්පාදනයට බෙදා හැරීමට හා සැපයුම් කිරීමට අදාලව දැනට පවතින නීතිය 2009 අංක 20 දරණ ශ්‍රී ලංකා විදුලි පණත වේ.මේ පණත සම්මත කර වසර හතරක් තුළ දී ප්‍රධාන සංශෝධනයක් සිදු කරන ලද්දේ ද ඔය විදුලි බලය බෙදාහැරීමේ මාර්ග අයිතිය පිළිබඳව ඇති වූ ගැටලුවක් මුල් කර ගනිමිනි.ඒ අනුව 2013 අංක 31දරණ සංශෝධන පණත සම්මත කෙරිණි.මෙසේ වත්මනේ ක්‍රියාත්මක වන නීතිය විකාශය වූයේ 1950අංක 19දරණ විදුලි පණතිනි.මේ පැරණි විදුලි පණතේ 15 වන වගන්තිය අනුව විදුලි බෙදාහරින බලපත්‍ර කරුවෙකුට (ලංකා විදුලිබල මණ්ඩලයට )ඉඩමකට ඇතුලු වී විදුලි මාර්ග ස්ථාපිත කිරීමට බලය ලබාදී තිබුණි.ඒ අනුව ඊට දින30කට පොරාතුව අයිතිකරුට හෝ පදිංචිකරුට ඒ සම්බන්ධ නිල දැනුම් දීමක් කර ඉඩමට ඇතුළුව අදාල විදුලි මාර්ග ස්ථාපිත කිරීමේ හිමිකම,හැකියාව විදුලි බලමණ්ඩලයට ලබාදී තිබුණි. මෙසේ දැනුම් දීමක් ලද ඉඩම් හිමියෙකු තම ඉඩමෙන් විදුලි මාර්ග ඇදීමට විරුද්ධ නම් ඔහු ඒ ගැන විරෝධයක් දිස්ත්‍රික්කයේ ආණ්ඩුවේ ඒජන්ත වරයා /දිසාපතිවරයා වෙත ඉදිරිපත් කළ යුතුව තිබුණි.ආණ්ඩුවේ ඒජන්තවරයා/දිසාපතිවරයා තමන් වෙත ඉදිරිපත් වූ විරෝධතාව පිළිබඳව දෙපාර්ශවය කැඳවා විමර්ශනයක් කර කොන්දේසි සහිතව හෝ කොන්දේසි රහිතව විදුලි මාර්ග අවසරය ලබාදීම කළ යුතු විය. දිසාපතිවරයාට අවශ්‍යයැයි හැඟෙන්නේ නම් විදුලි මාර්ගය අත්පත්කර ගැනීමට නියමයක් ලංකා විදුලිබල මණ්ඩලයට කිරීමට ද මේ යටතේ හැකි විය. මගේ රාජකාරි දිවියේ ආරම්භයේදීම අම්පාර කච්චේරියේ උප දිසාපතිවරයා ලෙස වැඩ ආරම්භ කරන අවදියේ එහි ආණ්ඩුවේ ඒජන්ත වෙනුවෙන් මේ පරීක්ෂණ සිදු කළේ මූලස්ථාන උප දිසාපති සිරිවර්ධන මහතා ය.කෙටි කලකින්ම මේ පරීක්ෂණ ගැන මට කියා දුන් එතුමා ක්‍රමයෙන් විදුලි පරීක්ෂණ සඳහා මා හටත් බලය ලබාදුන්නේ ය.එදා අප විසින් සිදු කළ පරීක්ෂණ මත එවක ආණ්ඩුවේ ඒජන්ත ධුරන්දර ඩී. එම් නන්දිසේන මහතා ලබාදුන් නියෝග කිසිවක් අභියෝගයට ලක්වූ බවක් මට මතක නැත.ඒ නියෝගය නෛතිකව අවසානාත්මක නියෝගයක් වූ අතර රිට් ආඥාවකින් හැර ඊට අභියෝග කිර්‍රීමට කාටවත් කිසි ලෙසකින් ඉඩක් නොතිබුණි.
මේ අන්දමින් පැවති විදුලි මාර්ග අවසරය 2009 අංක 20දරණ පණතින් බලවත් සංශෝධනයකට ලක් කරන ලදී.ඒ අනුව විදුලි මාර්ග විරෝධතා සඳහා ක්‍රියාකිරීමේ බලය මහජන උපයෝගිතා කොමිෂන් සභාවට පැවරුණි.එදා මේ පණත සම්මත කර දිසාපති සමුළුවට ඉදිරිපත් කළ අවස්ථාවේ දී මේනිසා මතු විය හැකි ගැටළු මා ද ඇතුළු දිසාපතිවරුන් කීප දෙනෙකුම පෙන්වා දුන්න ද ඒවන විටත් “අශ්වයා පැන ගොස්” තිබුණි.අපිට සිදු වූයේ බලා සිටින්ට ය.අප පෙන්වා දුන් පරිදි නව විදුලි මාර්ගවලට එරෙහිව මතුවූ විරෝධතා රාශිය පරීක්ෂා කිරීමේ හැකියාව මහජන උපයෝගිතා කොමිසමට නොතිබුණි..අනික් අතට කොමිසමට විදුලි මාර්ග විරෝධය විභාග කර මාර්ග අවසරය ලබාදීමට අවශ්‍ය බලතල ද නව පණතින් ලබාදී නොතිබුණි.ඔවුන්ට ලබා දී තුබූ බලය වූයේ විදුලි මාර්ග අයිතිය අත්පත් කර ගැනීමට නිර්දේශ කිරීමට පමණි.මේ නිසා රට පුරාම නව විදුලි මාර්ග විරෝධතා වලදී කල හැකි දෙයක් නැතිව විදුලිබල මණ්ඩලය අසරණ විය.මේ නිසා 2013අංක 31පනතින් විදුලි මාර්ග පිළිබඳව විරෝධතා පරීක්ෂණ සිදු කර කොන්දේසි සහිතව හෝ රහිතව මාර්ග අවසරය ලබාදීමේ බලය ප්‍රාදේශීය ලේකම් වරුන් වෙත පවරා දුනි.අවශ්‍ය අවස්ථා වලදී මාර්ග අයිතිය අත්පත්කර ගැනීම නිර්දේශ කිරීමේ බලය ද ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත ලබාදෙන ලදී.රාජ්‍ය සේවාවේ දැරූ අවසානතම තනතුර ලෙස මා කොළඹ දිස්ත්‍රික්කය බාර ආණ්ඩුවේ ඒජන්ත /දිස්ත්‍රික් ලේකම් ලෙස සේවය කළ වකවානුවේ විදුලි විරෝධතා පරීක්ෂණ ඉතාමත් ස්වාධීනව සිදුකිරීමට ප්‍රාදේශීය ලේකම් වරුන්ට සහය දුන් අවස්ථා රැසකි.ප්‍රාදේශීය ලේකම් වරයෙකු විදුලි මාර්ග විරෝධතා පරීක්ෂණයේ දී තමන් ඉදිරිපත් කළ විරෝධය නොතකා ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලබාදුන්නේයැයි කියමින් කරන පැමිණිලි කරුවන්ට මම නීතිය පැහැදිලි කරදී ප්‍රාදේශීය ලේකම්වරයාගේ තීරණය අවසානාත්මක බවත් ඒ ගැන මැදිහත් වීමට නොහැකි බවත් එම තීරණයට අභියෝග කළ හැක්කේ රිට් ආඥා ඉල්ලීමකින් අභියාචනාධිකරණයේ දී පමණක් බවත් පැහැදිලි කරදුන්නා මිස අනීතිකව ප්‍රාදේශීය ලේකම් වරුන්ගේ රාජකාරියට මැදිහත් වීම නොකළෙමි.
මේ පිළිබඳව නෛතික තත්වය පැහැදිලි කරගැනීමට ප්‍රාදේශීය ලේකම් වරුන් මගේ උපදෙස් පැතූ අවස්ථාවල නෛතිකතත්වය පැහැදිලි කරමින් උපදෙස් දී ස්වාධීනව පරීක්ෂණය පවත්වා තීන්දු දෙන ලෙසට උපදෙස් දීමත් කළෙමි. එක් අවස්ථාවක එවක කඩුවෙල ප්‍රාදේශීය ලේකම් යෂිකා ආනන්දනී මහත්මිය ඉදිරියට පැමිණි විදුලි මාර්ග පරීක්ෂණයක පැමිණිලිකරු වූයේ දිස්ත්‍රික් විනිසුරුවරයෙකුගේ පවුලේ සාමාජිකයෙකි. අවාසනාවට ඒ පැමිණිලිකරුගේ විරෝධතාව පිළිගැනීමට පරීක්ෂණයේ දී ඉඩක් නොවීය .එහි නීතිමය පසුබිම පිළිබඳව මා සමඟ ද සාකච්ඡාකර තියුණු විමර්ශනයක් කළ එතුමිය විරෝධතාවය ප්‍රතික්ෂේප කර ලංකා විදුලිබල මණ්ඩලයට මාර්ග අවසරය ලබාදෙන ලදී .පැමිණිලිකරු දිසා අධිකරණයේ ප්‍රාදේශීය ලේකම්ට හා ලංකා විදුලිබල මණ්ඩලය එරෙහිව සිවිල් නඩුවක් ගොනු කරන ලදී.සිවිල් නඩුව ආරම්භයේ දී එය විභාග කළ විනිසුරු වරයා ප්‍රාදේශීය ලේකම් වරියට දැක්වූ ප්‍රතිචාර දැඩිසේ අයහපත් ස්වභාවයක් ගත්තේය.ප්‍රාදේශීය ලේකම් වරිය වෙනුවෙන් පෙනී සිටි නිතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥ වරිය පවා මේ ප්‍රතිචාරයෙන් නොසන්සුන් වූ අතර ඇය පුද්ගලිකව ප්‍රාදේශීය ලේකම් වරියට දන්වා සිටියේ මේ සිද්ධිය සමථයකට පත්කර ගෙන විසඳා ගැනීම සුදුසු බවයි. . නමුදු තමන් ගත් තීරණයේ නිවැරදි බව පිළිබඳ මහත් විශ්වාසයෙන් නඩුවට මුහුණ දෙන බව ප්‍රකාශ කළ ප්‍රාදේශීය ලේකම් වරියගේ තීන්දුව බෙහෙවින් නිවැරදි බව අවසානයේ අධිකරණයේ දී තීරණය විය.විදුලි පණතේ මාර්ග අවසරය පිළිබඳව ක්‍රියා කළ හැකි නීතිමය හැකියාව මැනවින් හෙළි වන මේ උදාහරණය මා සටහන් කළේ මේ දකුණේ ගැටලුවට කළ හැකිව තිබූ දෙය පැහැදිලි කිරීමට ය.
දකුණට විදුලි ජාතික පද්ධතිය සම්බන්ධ කිරීමට අධි සැර විදුලි මාර්ගය ඇදීමට එක්තරා ඉඩම් හිමියෙකු ඉඩ නොදීම නිසා එම කාර්යය වසර ගණනාවක් තිස්සේ ප්‍රමාද වන බව වාර්තා වී ඇත .කිසියම් ඉඩම් හිමියෙකු සිය ඉඩමෙන් විදුලි මාර්ගය ගමන් කරවීමට ඉඩ නොදෙන්නේ නම් ලංකා විදුලිබල මණ්ඩලය අදාල ඉඩම පිහිටි කොට්ඨාශයේ ප්‍රාදේශීය ලේකම්ට ඒ බව දැන්විය යුතු ය. අදාල ප්‍රාදේශීය ලේකම් මේ පිළිබඳව දෙපාර්ශවයටම අවස්ථාව ලබාදී විමර්ශණයක් සිදු කර කොන්දේසි සහිතව හෝ රහිතව විදුලි මාර්ගය සඳහා ඉඩ දීම හෝ එසේ නැත්නම් බලපත්‍ර ලාභී ලංකා විදුලිබල මණ්ඩලය විමසා විකල්ප මාර්ගයක් සඳහා අවසර දීම කළ යුතුය. අවශ්‍යයැයි සිතන්නේ නම් විදුලි මාර්ග පරවශතාව අත්පත් කර ගැනීමට ද නිර්දේශ කළ හැකිය .යම් හෙයකින් විදුලි මාර්ග පරවශතාවය අත්කර ගැනීමට නිර්දේශය දුන්නේ නම් ලංකා විදුලිබල මණ්ඩලය කළ යුත්තේ අත්පත් කරගැනීමේ අයදුම්පතක් විදුලිබල අමාත්‍යංශය හරහා ඉඩම් අමාත්‍යංශයට යොමුකිරීම ය.ඉඩම් අමාත්‍යවරයා එම ඉල්ලීම අනුමත කර ප්‍රාදේශීය ලේකම් ට එවූ පසු අත්පත් කර ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ වේ. අත්පත් කර ගැනීමේ මුල්ම දැන්වීම වූ දෙවන වගන්තියේ දැන්වීම පළ කිරීමෙන් පසු අත්පත්කර ගැනීමේ පණතේ 38(ආ)යටතේ භුක්තිය භාර ගැනීමේ නියමය නිකුත් කරවා ගත හැකි වේ.භුක්තිය භාර ගැනීමේ නියමය ගැසට් කළ පසු භුක්තිය භාර නොදුන්නොත් මහේස්ත්‍රාත් උසාවිය මගින් භුක්තිය භාරගත හැකි වේ.මේ ක්‍රියාවලිය මාස හය හතකින් නිම කළ හැකි ය.වැඩිම වුනොත් අවුරුදකින් මේ ක්‍රියාවලිය නිමකළ හැකි ය.මේ නෛතික ක්‍රියාවලිය ඉතා පැහැදිලිව තිබියදී වන්දි මුදලට කේවල් කරමින් පුද්ගලයෙකුට ජාතික වැදගත් කමක් ඇති ව්‍යාපෘතියක් නතර කරවීමට ශක්තිය ලැබුණේ මීට අදාල කවර හෝ රාජ්‍ය ආයතනයක ඇති නොහැකියාව නිසා බව මනාව පැහැදිලි වේ.
ඉහත ක්‍රියාවලිය අනුව භුක්තිය භාරගත් පසු කිසිදු බාධාවකින් තොරව විදුලි මාර්ගය ඉදිකිරීම කළ හැකි අතර වන්දි ගෙවීම් ආදිය ඉන්පසුව සිදුවන්නකි.වන්දිය ප්‍රමාණවත් නොවේ නම් වන්දි සමාලෝචන කමිටුවට පැමිණිලි කිරීමට ඉඩම් ගිමියාට පුලුවන. එසේ නම් මේ ප්‍රමාදය වන්නේ අදාල ඉඩම් හිමියා ගේ බලපෑම මත හෝ ඔහුට සහායට යම් යම් බලවතුන් කරන බලපැම මත නීත්‍යානුකූල ක්‍රියා මාර්ග අනුගමනය කිරීමට රාජ්‍ය නිලධාරීන් දක්වන උදාසීනත්වය නිසා විය යුතු ය.ඒනිසා මේ ප්‍රමාදයට වගකිවයුත්තේ ඉඩම් හිමියා නොව නිසි පියවර නොගත් රාජ්‍ය ආයතනයයි. මේ ගැටලු වලට අදාල නිවැරදි ක්‍රියා මාර්ගය නොදන්නා නිසා දේශපාලන නායකත්වයට මේ ප්‍රමාදය වාර්තා වූ පසු කරන්නේ මේ ගැන සොයා බැලීමට කමිටුවක් පත්කිරීම ය. කමිටුව නීතිමය විසඳුම නොව දෙපැත්ත ෂේප් කිරීමේ විසඳුමක් යෝජනා කරනු ඇත එයටත් තවත් වසර කිපයක් ගතවනු ඇත.අපේ රාජ්‍ය පාලනය වන්නේ ඔය අන්දමට ය ඉතින් අපට ඇත්තේ එක අතකට බංකොලොත් වී හරි රට ඉතුරු වූනු එකත් ලොකු දෙයක් කියා සැනසීමට ය.රාජ්‍ය ව්‍යුහය ක්‍රියාත්මක වන්නේ මේ අන්දමින් නම් රට ගොඩ ගැනීමට කවර ජගතෙකුටවත් නොහැකි බව බලයට ඉව අල්ලන කවුරු කවුරුත් තේරුම් ගත යුතු ය.
සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති
24 sinhala news