යුවළක් විවාහ වී ටික කලක් ගතවන විට “තවම මොකුත් වෙනසක් නැද්දැ” යි බොහෝ දෙනෙක්, විශේෂයෙන් වැඩිහිටි කාන්තාවන් විමසන්නේ එම බිරිඳගෙනි. දරුවා බිහි කරන්නේ කාන්තාව වුවද, දරුවකු ලැබීම යන කාරණාවෙහිදී සැමියා සහ බිරිඳ යන දෙදෙනාටම සම වගකීමක් තිබෙන බව තවමත් අප සමාජයේ ගතානුගතික ලෙස සිතන බොහෝ දෙනෙක් පිළිගන්නට සූදානම් නැත.
දරු සම්පතක් නොලද අඹු සැමියන් ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන් වෙත ගියවිට ඔවුන්ගේ රෝග ඉතිහාසය වීමසීම වෛද්‍යවරයා විසින් අනිවාර්යයෙන් සිදු කරන්නකි. ඉන්පසු මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සහ ප්‍රතිකාර ආරම්භ කරන්නට පෙර සැමියාගේ ශුක්‍රාණු පරීක්ෂණයක් සිදු කෙරේ. දරුවකු නොලැබීමට බලපාන හේතුව සොයාගැනීම වෙනුවෙන් කරනු ලබන මූලික පරීක්ෂණයක් ලෙස මෙම පරීක්ෂාව හඳුන්වන්නට පුළුවන.
සාමාන්‍යයෙන් කාන්තාවකට මසක් පාසා නිසි පරිදි ඔසප් වෙනවා නම් ගැබ් ගැනීමක් සිදුවිය යුතුය. ඔසප් වූ පළමු දිනයේ සිට දින 12 – 14 දක්වා කාලය කාන්තාවකගේ සරු කාලය ලෙස සැලකේ. එය සාමාන්‍යයෙන් බොහෝ දෙනෙක් දන්නා කාරණාවකි. ඒ කාලය තුළ සැමියා සහ බිරිඳ කායිකව එකතු වීමෙන් දරුවෙකු පිළිසිඳ ගැනීමට බොහෝ දුරටම හැකියාව තිබේ.
සාමාන්‍යයෙන් කාන්තාවකට මසක් පාසා නිසි පරිදි ඔසප් වෙනවා නම් ගැබ් ගැනීමක් සිදුවිය යුතුය. ඔසප් වූ පළමු දිනයේ සිට දින 12 – 14 දක්වා කාලය කාන්තාවකගේ සරු කාලය ලෙස සැලකේ. එය සාමාන්‍යයෙන් බොහෝ දෙනෙක් දන්නා කාරණාවකි. ඒ කාලය තුළ සැමියා සහ බිරිඳ කායිකව එකතු වීමෙන් දරුවෙකු පිළිසිඳ ගැනීමට බොහෝ දුරටම හැකියාව තිබේ.
නමුත් කොහෙත්ම දරුවකු පිළිසිඳෙන්නේ නැත්නම් එය අඹුසැමි දෙදෙනාගෙන් කාගේ හෝ අඩුපාඩුවකි. මඳ සරු භාවය සහ නිසරු භාවය කාන්තාවන්ට මෙන්ම පිරිමින්ටත් පැවතිය හැක්කකි. මේ කතා කරන්නට යන්නේ පිරිමින් හට පැවතිය හැකි එම තත්ත්වයට අදාළ හේතු පිළිබඳවයි.
සාමාන්‍යයෙන් පිරිමියකුගේ ශුක්‍රාණු මිලිලීටරයක මිලියන 20කට වඩා ශුක්‍රාණු සෛල තිබිය යුතුය. ඊට වඩා අඩු නම් මඳ සරු හෝ නිසරු වීමට තිබෙන හැකියාව වැඩි ය. කලාතුරකින් එකම ශුක්‍රාණු සෛලයක්වත් නැති පිරිමිනුත් නැතුවා නොවේ. මේ අනුව ශුක්‍රාණු මිලිලීටරයක සෛල මිලියන 10 – 20 ත් අතර පවතින්නේ නම් ඔවුන් මඳ සරු පිරිමින් ලෙසිනුත්, 10 ට අඩු අය මඳ සරු හෝ නිසරු පිරිමින් ලෙසිනුත් දක්වන්නට පුළුවන.
ශුක්‍රාණු හැදීම සඳහා වැදගත් වන වර්ණදේහ :
පිරිමියාගේ ශුක්‍රාණු හැදීම සඳහා ඔවුන්ගේ වර්ණදේහත් වැදගත් වේ. පිරිමින් සහ ගැහැනුන්ගේ වර්ණදේහ යුගල 23 ක් පවතී. මෙයින් පිරිමින්ගේ වර්ණදේහ xy වන අතර කාන්තාවන්ගේ එය xx ලෙස හඳුන්වයි. දරුවකු පිළිසිඳීම සඳහා මේ දෙපාර්ශවයේම වර්ණදේහ හොඳම මට්ටමක පැවතිය යුතුය. පිරිමින්ගේ xy වර්ණදේහවල විකෘතිතා ඇති විට ශුක්‍රාණු හැදීමේ දුර්වලතා ඇතිවේ.
සාමාන්‍යයෙන් ශුක්‍රාණු දහසක් කාන්තාවකගේ යෝනි මාර්ගයට ඇතුල් වුණත් කළලයක් ලෙස තැන්පත් වන්නේ එයින් එකක් පමණි. ශුක්‍රාණුවල ශක්තිය හැඩරුව සංඛ්‍යාව යන තුනම කළලයක් හට ගැනීම සඳහා බලපායි.
කම්මුල්ගාය :
පිරිමින්ට කම්මුල්ගාය වැළඳුණු විට එම වෛරසය නිසා වෘෂණ කෝෂවලට බලපෑම් ඇතිවන්නට පුළුවන. එසේ බලපෑම් ඇති වුණහොත් වෘෂණ කෝෂ දෙකම ඉදිමීම, රතු වීම, තදබල වේදනාවක් ඇතිවීම වැනි ලක්ෂණ හටගත හැකිය. මෙය හඳුන්වන්නේ epididymo – orchitis යනුවෙනි. මේ තත්ත්වය මුත්‍රාවලට විෂබීජයක් ගියවිටත්, සමහර ලිංගාශ්‍රිත රෝගවලදීත්, දියවැඩියා රෝගය ඇති විටත්, පුරස්ථි ග්‍රන්ථියෙහි ආසාදන නිසා සිදුවනු ඇත.
කෙසේ වුවද කම්මුල්ගාය වෛරසයේ බලපෑම් නිසාත් පිරිමියකු මඳ සරු හෝ නිසරුභාවයට පත් වන්නට පුළුවන. නමුත් විශේෂයෙන් කිව යුතු දෙයක් නම් වයස අවුරුදු 12 න් පහළ කුඩා පිරිමි දරුවන්ට කම්මුල්ගාය වැළඳුනහොත් එවැනි තත්ත්වයක් හටගැනීමට අවකාශයක් නැති බව ය.
දියවැඩියාව :
දියවැඩියා රෝගයද පිරිමියකු මඳ සරු වීමට හෝ නිසරු වීමට බලපෑ හැකිය. දියවැඩියා රෝගය නිසි ලෙස පාලනය කර ගතහොත් ඒ තත්ත්වය ඇතිවීමට තිබෙන හැකියාව අඩු වෙයි.
ඖෂධ :
ඊට අමතරව විවිධ රෝග සඳහා ගනු ලබන ඖෂධ මේ තත්ත්වයට බලපාන්නට පුළුවන. විශේෂයෙන්ම වකුගඩු වැනි අවයව බද්ධ කළ විට දෙන ඖෂධ නිසාත් ශුක්‍රාණු අඩුවිය හැකියි. එසේම මුත්‍රා ආසාදනවලදී දෙනු ලබන nitrofurantoin යන ප්‍රතිජීවක ඖෂධය කාලයක් එක දිගට ගන්නා විටත් ශුක්‍රාණු ප්‍රමාණය අඩුවීමට හැකියාව ඇත. බඩවැල් තුළ ගෙඩි සෑදී මල සමඟ ලේ පිටවන poliposis coli නම් රෝගයට ගන්නා sulpharsalazine ඖෂධයත් ශුක්‍රාණුවල ප්‍රමාණය අඩු කිරීමට හේතු විය හැකිය. කාය වර්ධන ව්‍යායාම කරන පිරිමින් ශරීරයේ ශක්තිය වැඩි කරගන්නට සහ මාංශ පේශි වර්ධනය වීම සඳහා ගන්නා හෝමෝන වර්ග (sex steroids , anabolic steroid, sex hormones) නිසාද ශුක්‍රාණුවල ප්‍රමාණය අඩුවීමට පුළුවන.
බ්‍රොයිලර් කුකුලන්ට ඉක්මනින් වර්ධනය වීම සඳහා විවිධ හෝමෝන වර්ග ලබා දෙන අතර එම කුකුල් මස් ආහාරයට ගන්නා අයටද ඒ හෝමෝන නිතැතින්ම ලැබේ. එහි එක ප්‍රතිඵලයක් වන්නේ ශරීරය තරබාරු වීම ය. මෙවැනි හෝමෝන ද ශුක්‍රාණු වල ප්‍රමාණය අඩු කරන බවට පිළිගත් මතයක් තිබේ.
පිළිකා රෝගයට දෙන ඖෂධ නිසා ශරීරයේ සෛල විභජනය වීම ඇනහිටියි. මේ තත්ත්වය ශුක්රාණුවලටත් බලපෑම නිසා ශුක්‍රාණු නිෂ්පාදනය අඩුවීම සිදුවේ. එසේම පිළිකා සඳහා දෙන විකිරණ ප්‍රතිකාර ශුක්‍ර නාල සහ වෘෂණ කෝෂවලට නිරාවරණය වුණොත් එයිනුත් වෘෂණ කෝෂවල ශුක්‍ර හදන නාලිකාවල සෛල විභජනය වීම නතර වේ.
රසායන ද්‍රව්‍ය ආඝ්‍රාණය වීම සහ ශරීරයේ තැවරීම :
මේ දෙආකාරයටම කෘමිනාශක වල්නාශක ආදී රසායන ද්‍රව්‍ය ශරීරයට උරා ගැනීම නිසා එයද ශුක්‍රාණු නිෂ්පාදනය අඩුවීමට හේතු විය හැකිය.
වෘෂණ කෝෂ තද උණුසුම සමග නිතර ගැටීම :
මඳසරුභාවයට පත්විය හැකි තවත් හේතුවක් වන්නේ තද යට ඇඳුම් ය. තදට සිටින සේ අඳින ඩෙනිම් කලිසම් නිසා වෘෂණ කෝෂවල උෂ්ණත්වය වැඩි වේ. එසේම පාන් පෝරණු වැනි උණුසුම් ස්ථානවල නිතර දෙවේලේ වැඩ කරන විට බරවාහන පැදවීම නිරන්තරයෙන් සිදුකිරීම වැනි දේවල්වලදීත් වෘෂණ කෝෂ සහිත ප්‍රදේශය නිතර තද උණුසුමට භාජනය වේ. වෘෂණ උණුසුමට වැඩි සංවේදීතාවයක් දක්වයි. එහි ප්‍රතිඵලය ලෙස ශුක්‍රාණු විනාශ විය හැකිය.
අපස්මාරය සහ මානසික රෝග :
මානසික රෝග තිබෙන විට කායිකව එකතු වීමේදී ගැටලු ඇති වේ. එසේම කායික එක්වීම් අඩුවන්නටද පුළුවන. ඒ නිසා දරුවකු පිළිසිඳිය නොහැකි සේම මානසික රෝග සඳහා ගන්නා සමහර ඖෂධ මගින් ද ශුක්‍රාණුවලට බලපෑම් ඇතිවන්නට ඉඩ ඇත. අපස්මාර රෝගය තිබෙන විටත් එහිදී ගන්නා ඖෂධ නිසා මේ තත්ත්වය හටගත හැකිය.
වෘෂණ කෝෂ තුළ වෘෂණ නොපිහිටීම :
පිරිමි දරුවකු මව්කුසේ සිටින විට එම කළල අවස්ථාවේදී දරුවාගේ වෘෂණ හැදෙන්නේ වකුගඩුවලට පහළින් පිහිටි ආමාශ කුහරයේ ය. කළලය වර්ධනය වන විට ක්‍රමයෙන් පහළට පැමිණෙන එය ප්‍රසූතිය ආසන්නයේදී කෝෂ දෙකට ඇතුල්වීම සිදුවෙයි.
මෙය සාමාන්‍ය තත්ත්වය වුවත් සමහර පිරිමි දරුවන්ගේ වෘෂණ එම කෝෂ තුළට නොපැමිණෙයි. ඉපදී වසරක් ඇතුලතදීත් එය නොපැමිණියහොත් ළමා රෝග හෝ ශල්‍ය වෛද්‍යවරයෙකුට පෙන්විය යුතුය. මෙය උදරයේම පැවතීම මතින් පිළිකා තත්ත්වයන් පවා පසුකාලීනව වර්ධනය විය හැකිය.
වෘෂණ කෝෂ තුළ වෘෂණ නැත්නම් ශුක්‍රාණු නිපදවෙන්නේ නැත. පිරිමි දරුවකු ලද පසු මව්වරුන් එම දරුවාගේ වෘෂණ කෝෂ තුළ වෘෂණ තිබේද යන්න අල්ලා බැලීම වැදගත් ය.
දරුවන් නැති යුවළක් මූලික වශයෙන් අනුගමනය කළ යුතු පියවර :
යම් යුවළක් විවාහ වී වසරක් ගත වූ පසුවත් ඔවුනට දරුවකු පිළිසිඳුනේ නැත්නම් මූලිකවම සරු කාලයේදී එක් වෙනවාද යන්න සොයා බැලිය යුතුය. එය නිසි ලෙස සිදුවන්නේ නම් කාන්තාවට ඔසප් නිසි ලෙස සිදුවෙනවාද, මානසික ආතතිය තිබේද ආදී වශයෙන් වූ මූලික කරුණු සොයා බැලීම අවශ්‍ය ය. ඒ සියල්ල සාමාන්‍ය නම් පිරිමියාගේ ශුක්‍රාණු පරීක්ෂණයක් කිරීම අවශ්‍ය ය. එම පරීක්ෂණය කිරීමේදී දින තුනක් කායිකව එක්වීමෙන් වැළකී හිඳ රසායනාගාරයට පැමිණ එහිදී ශුක්‍රාණු ලබාගෙන බාරදිය යුතුය. නිවසේ සිට ශුක්‍රාණු රැගෙන ඒම තුළින් පරීක්ෂණය අසාර්ථක වන්නට ඉඩ තිබේ.
මේ අනුව බලන විට දරුවකු නොලද කාන්තාවකට වඳ ගැහැනියක් ලෙස චෝදනා කිරීමට පෙර ඇගේ සැමියා වෛද්‍ය පරීක්ෂණවලට ලක් වීම ඉතා වැදගත් බව ඔබට පැහැදිලි ඇතැයි සිතමු. ඉන්පසු ඉහත කී අනෙකුත් හේතු නිවැරදි කළ හැකි නම් එයද නිවැරදි කරගන්නට හැකියාව ඇත.
ප්‍රසව හා නාරි වේද විශේෂඥ වෛද්‍ය එස්. බී. දසනායක
ඉන්දු පෙරේරා