” මේ කාලෙ දරුවන්ගෙ හැසිරීම් හරිම නරකයි. හිතුවක්කාරයි, ආවේගශීලීයි. නිතරම දෙමාපියන් එක්ක ගැටුම් ඇති කර ගන්නවා ”
මෙය දෙමාපියන් නිතර නගන චෝදනාවකි.
” අපි පොඩි කාලෙ දෙමාපියන්ට මෙහෙම අකීකරු වෙලා හිටියෙ නෑ. අපි ගොඩක් ලොකු වෙනකල් දෙමාපියන් අපට ගහලා බැනලා හැදුවා. දැන් ළමයින්ට අපි ගහන්න ගියොත් ඊට කලින් එයාල අපට ගහයි”
එවැනි මැසිවිලි ද දෙමාපියන් වෙතින් නිතර නැගේ.ඒ අතර දරුවන් ගේ මෙම හිතුවක්කාර කම් මානසික රෝග ලක්ෂණ වශයෙන් සළකන මා පියෝ ද වෙති.එනිසාම නව යොවුන් සහ තරුණ දරුවන් ගේ මෙවැනි ගැටලු සමග මනෝ වෛද්‍යවරුන් හමුවන දෙමාපියන් බොහෝ ය.
අතීතයට වඩා වර්තමාන දරුවන් ගේ මේ පවතින වෙනසට වැරදිකරුවන් වන්නේ දරුවන් ද? දෙමාපියන් දරුවන් පිට මෙහි වරද පැවරුවද මෙහි වරද දරුවන් ගේ නොවේ. මෙවැනි තත්ත්වයක් ඇති වී තිබෙන්නේ මාපියකරණයෙහි ( Parenting ) අඩුපාඩුවක් නිසාය. ඒ අනුව දරුවන් ගේ මේ තත්ත්වයට වගකිව යුතු වන්නේ දෙමාපියන් වන අපම ය.
මීට හේතු වන කරුණු අපි එකින් එක විමසා බලමු.
දරුවා රොබෝ කෙනෙක් බවට පත් කිරීම
දරුවන් කළ යුතු දේ, කෑ යුතු දේ, ඇඳිය යුතු දේ, පාඩම් කළ යුතු දේ, ඉගෙන ගත යුතු දේ, යා යුතු නොයා යුතු තැන්, ඇසුරු කළ යුතු නොකළ යුතු අය මේ සියල්ල කරන්නේ තීරණය කරන්නේ දෙමාපියන් ය. මේ නිසා දරුවන්ගේ ජීවිත ගත වෙන්නේ තමන්ට ඕනෑ හැටියට කිසිවක් කළ නොහැකි, දෙමාපියන් ගේ අවශ්‍යතාවයන් මතම කටයුතු කරන රොබෝ කෙනෙකු ලෙසිනි. ඒ අනුව දරුවන් දැන් කෘත්‍රිම ජීවිත ගත කරන්නන් බවට පත් වී ඇත.
ළමයින් යනු මුළු දවස පුරාම පොත පතේ වැඩ වල නියැලෙමින්, පාඩම් කරමින්ම සිටිය යුතු පිරිසක් නොවේ. ළමයා ද මෙම සොබාදහමේ කොටසකි. එනිසා ළමයෙකුගේ වර්ධනයට පරිසරය සමග ගැටීම ඉතා වැදගත් ය. ඒ අනුව වටපිටාවේ ළමයින් සමග එකතු වී සෙල්ලම් කිරීම, අඩුම තරමේ පාසැලේ සම වයසේ ළමයින් සමග හෝ එකතු වී සෙල්ලම් කිරීම ළමයෙකුගේ කායික මානසික සහ පෞරුෂ වර්ධනයට ඉතා අවශ්‍ය ය. නමුත් වර්තමානය වන විට ළමයින්ට සම වයසේ දරුවන් සමග එකතු වී සිටීමට දෙමාපියන් ඉඩ දෙන්නේ නැත.ඊට ඔවුහු විවිධ හේතු දක්වති.
ළමා විය උදුරා ගැනීම
ළමයින් යනු මුළු දවස පුරාම පොත පතේ වැඩ වල නියැලෙමින්, පාඩම් කරමින්ම සිටිය යුතු පිරිසක් නොවේ. ළමයා ද මෙම සොබාදහමේ කොටසකි. එනිසා ළමයෙකුගේ වර්ධනයට පරිසරය සමග ගැටීම ඉතා වැදගත් ය. ඒ අනුව වටපිටාවේ ළමයින් සමග එකතු වී සෙල්ලම් කිරීම, අඩුම තරමේ පාසැලේ සම වයසේ ළමයින් සමග හෝ එකතු වී සෙල්ලම් කිරීම ළමයෙකුගේ කායික මානසික සහ පෞරුෂ වර්ධනයට ඉතා අවශ්‍ය ය. නමුත් වර්තමානය වන විට ළමයින්ට සම වයසේ දරුවන් සමග එකතු වී සිටීමට දෙමාපියන් ඉඩ දෙන්නේ නැත.ඊට ඔවුහු විවිධ හේතු දක්වති. ළමයින් අතරේ අතර ඇතිවන ගැටුම් නිසා අසල්වැසියන් සමඟ අමනාප වන්නට සිදුවීම, ඇතැම් විට අසල්වැසි ළමයින් නරක ළමයින් ලෙස ආකල්ප තිබීම, මත්ද්‍රව්‍යවලට ළමයින් හුරු වීමට තිබෙන හැකියාව ආදී බොහෝ කරුණු හේතු කොටගෙන සම්පූර්ණයෙන්ම අසල්වැසියන්ගෙන් වෙන්කර ළමයින් ඇති දැඩි කිරීම මේ කාලයේ සිදු වෙයි. එසේම පාසලේ වුවද ළමයින්ට අනෙකුත් සම වයසේ දරුවන් සමග එකතු වී කටයුතු කරන්නට, සෙල්ලම් කරන්නට කාලයක් ලැබෙන්නේ නැත. ළමයින් පාසල්වලට යන්නේ එන්නේ ද බොහෝ විට පාසල් වෑන් රථ වලිනි. බස් වල නැගී සමාජයේ අනෙක් අය හා මුහු වන්නට, එසේ මුහුවී අත්දැකීම් ලබන්නට දැන් බොහොමයක් ළමයින්ට අවකාශ නැත.
දෙමාපියන් නොදැන සිටියාට, ළමයින්ට ළමා කාලයේ ලොකු කායික ශක්තියක් වැය කිරීමට අවශ්‍යය. ඒ වැඩෙන දරුවන්ගේ ශරීරයට දැනෙන අවශ්‍යතාවයකි. මෙම ශක්තිය වැය කිරීම සඳහා ළමයාට අවස්ථාව නොලැබුණහොත් එය පිට වන්නේ ආවේග හරහා ය. ළමා කාලයේ දුව පැන ඇවිද සෙල්ලම් කිරීම කායික වර්ධනයට අවශ්‍යය. දැන් බොහොමයක් ගෙවල්වල මිදුල් ඇත්තේ නැත. ළමයින්ට සම වයසේ මිතුරු මිතුරියන් සමග එකතු වීමට අවස්ථාව ඇත්තේ ද නැත. අවසානයේ සිදු වන්නේ ළමයාගේ ආවේග තම සහෝදර සහෝදරියන් වෙතින් සහ දෙමාපියන් වෙතින් පිට කර හැරීම ය.
සමාජය සමඟ ගැටෙන්නට තිබෙන අවස්ථා අහිමි වීම
ඉහත ද සඳහන් කළ මෙම තත්ත්වය තුළින් සිදුවන්නේ ළමයින්ට සමාජය පිළිබඳ අත්දැකීම් ලබා ගැනීමට තිබෙන අවස්ථා අහිමි වී යාමයි. ඒ අනුව හොඳ පුද්ගලයන් කවුද, නරක පුද්ගලයන් කවුද යන්න හඳුනා ගැනීමේ හැකියාව ළමයින්ට නොමැති වී යයි. අත්දැකීම් නැතිකම නිසා කුඩා දෙයකදී පවා සැලෙන, දරාගැනීමේ හැකියාව නැති, තැනකට ගොස් හැසිරීමට නොදන්නා දරුවකු බවට පත් වීමද තවත් අහිතකර ප්රතිඵලයකි.
නිර්මාණශීලිත්වය අඩාල වීම
අතීතයේ සිටි ළමයි සොබාදහම සමඟ ජීවත් වූහ. සෙල්ලම් ගෙවල් , කුරුම්බැට්ටි මැෂින්, මැටි අනා සාදා ගන්නා විවිධ සෙල්ලම් බඩු නිර්මාණය කරගත්තේ තමන්මය. නමුත් දැන් මේ සියලු දේවල් මීට වඩා අගනා ලෙස නිමවා කිසිදු අපහසුවකින් තොරව මිලදී ගන්නට හැකියාව තිබේ. එසේම අන්තර්ජාලය හරහා ඕනෑම දෙයක් ලබා ගැනීමට ද පහසුකම් පවතී. අතීතයේ විවිධ විෂය කරුණු සඳහා පුස්තකාලයට ගොස් පොත් පෙරළ පෙරළා බලන්නට ළමයින්ට සිදුවිය. එයින් දරුවන්ට අගනා අත්දැකීම් සම්භාරයක් හිමි වෙයි. නමුත් දැන් ඒ සියල්ල අන්තර්ජාලයෙන් ඉතා කෙටි වේලාවක් තුළ සොයා ගත හැකිය.
ළමයෙකුගේ පෞරුෂත්ව වර්ධනයට ඉතාමත් වැදගත් වන දෙයක් වන්නේ ළමයාව අගය කිරීමයි. බොහෝ දෙමාපියන් තුළ තිබෙන මතයක් නම් ළමයෙකුට හොඳක් කී කල ළමයා නරක්වීමට අවකාශයක් තිබෙන බවයි. ඒ නිසා හැම විටම දරුවකුව අගය කිරීම වෙනුවට කරන්නේ දරුවා තුළ තිබෙන වැරදි ම ඉස්මතු කර පෙන්වමින් දරුවාට දොස් පැවරීමයි.
ළමයා තවත් ළමයකු සමඟ සංසන්දනය කිරීම දෙමාපියන් විසින් කරනු ලබන තවත් වරදකි. එය ඇතැම් විට එකම පවුලේ සහෝදරයන් අතර කරන සංසන්දනය කිරීමක් වීමටද පුළුවන. කෙසේ වුවද ළමයෙකු ගේ පෞරුෂ වර්ධනයට විශාල පහරක් මෙම සංසන්දනය තුළින් එල්ල වෙන බව දෙමව්පියන්ට නොදැනීම කනගාටුවට කරුණකි.
ළමයා අගය නොකිරීම
ළමයෙකුගේ පෞරුෂත්ව වර්ධනයට ඉතාමත් වැදගත් වන දෙයක් වන්නේ ළමයාව අගය කිරීමයි. බොහෝ දෙමාපියන් තුළ තිබෙන මතයක් නම් ළමයෙකුට හොඳක් කී කල ළමයා නරක්වීමට අවකාශයක් තිබෙන බවයි. ඒ නිසා හැම විටම දරුවකුව අගය කිරීම වෙනුවට කරන්නේ දරුවා තුළ තිබෙන වැරදි ම ඉස්මතු කර පෙන්වමින් දරුවාට දොස් පැවරීමයි.
ළමයා තවත් ළමයකු සමඟ සංසන්දනය කිරීම දෙමාපියන් විසින් කරනු ලබන තවත් වරදකි. එය ඇතැම් විට එකම පවුලේ සහෝදරයන් අතර කරන සංසන්දනය කිරීමක් වීමටද පුළුවන. කෙසේ වුවද ළමයෙකු ගේ පෞරුෂ වර්ධනයට විශාල පහරක් මෙම සංසන්දනය තුළින් එල්ල වෙන බව දෙමව්පියන්ට නොදැනීම කනගාටුවට කරුණකි. එකම පවුලේ දරුවන් දෙදෙනකු අතර වුවත් දක්ෂතා සහ අදක්ෂතා පවතිනු ඇත. ඒ, එකම මව්පියන්ගේ දරුවන් වුණත් එම දරුවන් දෙදෙනා පුද්ගලයන් දෙදෙනකු වන නිසාය. එබැවින් දරුවන් එකිනෙකාව සංසන්දනය කිරීම කෙසේවත් නොකළ යුත්තකි.
තමාට ඉටු කර ගත නොහැකිවූ අභිමතාර්ථයන් දරුවන් තුළින් ඉටුකර ගැනීමට අපේක්ෂා කිරීම
මෙවැනි තත්වයකදී ළමයින්ගේ සිත් තුළ ඇති වන්නේ මහත් බරකි.එය ඔවුන්ගේ සිතට ඉමහත් පීඩනයක් වනු ඇත. මෙහිදී ළමයාගේ හැකියාවට ඉඩක් ලැබෙන්නේ නැත. ඔවුන්ට යොමු වීමට සිදු වන විෂය ක්ෂේත්රය ඇතැම් විට ළමයා කෙසේවත් කැමැත්තක් නොදක්වන දෙමාපියන්ගේ කැමැත්ත මතම තීරණය කළ ක්ෂේත්රයක් විය හැකිය. අවසානයේ ළමයා වැඩි උනන්දුවකින් පාඩම් නොකිරීම, විභාගය අසමත් වීම වැනි බොහෝ කරුණු මත දෙමාපියන්ගේ ගර්හාවට ලක් වෙයි. ඒ අතර දෙමාපියන්ගේ බලාපොරොත්තු ඉටු කිරීමට නොහැකි කමින් මහත් අසහනයකට දරුවා ද පත්විය හැකිය.
වර්තමානයේ නව යොවුන් දරුවන් සහ තරුණ දරුවන්, අතීතයේ නොවූ අයුරින් ආවේගශීලී හැසිරීම් රටාවකට යොමු වීමට මේ සියලුම කරුණු බලපාන බව විශේෂයෙන් සඳහන් කළ යුතුය.
මේ සඳහා තිබෙන පිළියම් මොනවාද?
වර්තමානයේ සමාජයේ පවත්නා තත්ත්වය අනුව ඉහත දැක්වූ සියලුම ආකාරයට දරුවාට නිදහස දීමට දෙමාපියන්ට නොහැකි වීමට පුළුවන. නමුත් දරුවාට, දරුවාගේ ළමා කාලය විඳීමට ඉඩ දිය යුතුය. ඒ සඳහා මඟ පෙන්වීමක් ලබාදීම මිස සියලුම දේ ළමයා වෙනුවෙන් කරදීම සහ ළමයා වෙනුවෙන් ඔබම තීරණ ගැනීම නොකළ යුතු වේ. දරුවාටද ස්වාධීනත්වයක් දිය යුතුය. නමුත් දරුවා නොමඟ යාමට තිබෙන ඉඩකඩ අද සමාජය තුළ වැඩි නිසා හැම විටම දරුවන්ට ස්වාධීනත්වය සහ නිදහස දීම තුළ ඔබේ අධීක්ෂණය ද පැවතිය යුතුය. ළමයා කොටු කර තබා නොගෙන අනෙක් ළමයින් සමග ගැටීමට ඉඩ දෙන්න. මෙතුළින් දරුවන් හොඳ සහ නරක හඳුනා ගනියි. අනෙක් අය හා ජීවත් විය යුතු ආකාරය පිළිබඳව අත්දැකීම් ලබා ගනී. ජය පරාජය හඳුනා ගනී. ඒ දෙක තුළ නොසැලී හිඳින ආකාරය පිළිබඳව ඉගෙන ගනියි. මේ සියලු අත්දැකීම් දරුවා මුලින්ම ලබාගන්නේ සමවයසේ දරුවන් හා එකට කටයුතු කිරීම තුළිනි. ළමයින් සම්බන්ධයෙන් කටයුතු කළ යුත්තේ එක් අන්තයකට නොයා මැද මාවතක හිඳගෙනය.
පෙර කී ආකාරයට හදන දරුවකු යොවුන් වයසට පැමිණි පසු දෙමාපියන් සහ පවුලේ අය සමග ගැටුම් ඇති කර ගැනීම, ආවේගශීලීව හැසිරීම, දෙමාපියන්ව තමන්ට අවශ්‍ය ලෙස පාළනය කිරීම වැනි දේවල් කළහොත් පුදුම විය යුතු නැත. සමාජය තුළ ජීවත් වීමට නොදන්නා, ප්‍රශ්නයකට තනිව මුහුණ දී අත්දැකීමක් නැති, ජය පරාජය සම සිතින් විඳදරා ගැනීමේ හැකියාවක් නොමැති, සංවේදී නොවන, තෙත් ගතියක් නැති, දැඩි ආත්මාර්ථකාමී ඇවතුම් පැවතුම්වලින් යුතු කෙනකු බවට දරුවා පත්වීම සඳහා ඉහත සඳහන් කළ කරුණු ඒකාන්ත වශයෙන්ම බලපායි.
මේ අනුව දරුවන්ගේ ආවේගශීලී හැසිරීම්වල දී ඔවුන්ට ම දොස් පැවරීම කෙතරම් දුරට සාධාරණ දැයි සිතා බැලීම ඔබටම භාර කරමු.
විශේෂඥ මනෝ වෛද්‍ය ගිහාන් අබේවර්ධන
ඉන්දු පෙරේරා