වර්තමාන සමාජය නවීන සිතුම් පැතුම් වලින් පොහොසත් යැයි බොහෝ දෙනකු සිතති.එහෙත් එය පූර්ණ සත්‍යයක් නොවේ.අපේ සමාජයේ බොහෝ දෙනෙක් තාමත් අන්ධානුකරණයෙන් ගතානුගතික බවේ එල්බ ගෙන සිටිති.මේ ඒ සඳහා වන කෙටි නිදසුනකි. සුබ නැකැත් සාදවා ගැනීමට ජ්‍යොතීර්වේදීන් වෙතට පැමිණෙන පිරිස් අතරින් තරුණ සහ මැදිවියේ අඹු සැමියන් සැලකිය යුතු පිරිසක් පැමිණෙනුයේ තම බිළිඳු දරුවන්ගේ ඉඳුල් කටගෑම සඳහා සුබ නැකතක් සාදවා ගැනීම පිණිස ය. එහිදී ඔව්හු ඒ නැකත සාදවා ගැනීමට අමතරව එම අවස්ථාවේ දී අනුගමනය කළ යුතු වත්පිළිවෙත්, ක්‍රියාමාර්ග ආදිය පිළිබඳව ද ජ්‍යොතීර්වේදීන් ගෙන් විමසා සිටිති. එහි දී ඔවුන්ගේ පවුල්, සමාජ, ආර්ථික, සංස්කෘතික ආදී පසුබිම් කරුණු සලකා බලා ඒ සඳහා වන නිවැරදි උපදෙස් ලබා දීම ද ජ්‍යොතීර්වේදීන් වෙතින් නොවැරදීම ඉටු විය යුතු වගකීමක් හා යුතුකමකි.එහෙත්, එසේ පැමිණෙන පිරිස් හමුවේ සෘජුවම කියා පෑමෙන් ඔවුන්ගේ මානසික පසුබෑමකට හේතු විය හැකි ‘අමිහිරි සත්‍යයක්’ මෙලෙස ඔබ හමුවේ ගෙන හැර දැක්වීමට මම අදහස් කරමි. එය නම් කුඩා දරුවන් සම්බන්ධ මංගලමය අවස්ථාවක් ලෙස සැලකෙන මෙය ‘ඉඳුල් කැටගෑම’ යන අමිහිරි වදනින් හැඳින්වීමේ ඇති අයෝග්‍යතාවයි.
අප කවුරුත් දන්නා පරිදි ඉඳුල් යනු ආහාරවලින් ඉවත ලන කොටස් සඳහා යෙදෙන වදනකි. ‘උජුල්’ යනුවෙන් ද හැඳින්වෙන මෙය දොළොස් වැනි සියවසේ රචිත ජාතක කතා ගැටපදයේ පවා සඳහන් වෙයි. ආහාරවලින් ඉතිරි වන කොටස් හැඳින්වීම පිණිස මෙන්ම යම් පුද්ගලයකු හෝ පිරිසක් විසින් භාවිත කරන ලද දෙය හැඳින්වීම පිණිස ද ‘ඉඳුල් ’ යන වදන යෙදේ. එය වඩාත් පැහැදිව පෙනෙනුයේ යමක ඇති නැවුම් බව නිර්මල බව කියා පෑමේ දී ඊට ‘නොඉඳුල්’ යන වචන බහුලවම යෙදෙන බැවිනි.
මේ කරුණු අනුව සලකා බලන විට කුඩා දරුවන්ට ජීවිතයේ මුල් වරට බත් කැවීමේ අවස්ථාව ‘ඉඳුල් කට ගෑම’ ලෙස නම් කිරීම කෙතරම් දුරට සුදුසු ද යන්න සොයා බැලීම ඔබටම භාර කරමි. ඒ අනුව මෙය ‘බත් කැවීමේ මඟුල’ යනුවෙන් සෘජුවම හැඳින්වීම වඩාත් සුදුසු බව අපගේ පෞද්ගලික වැටහීමයි.
මෙම බත් කැවීමේ මඟුල වන ගෘහ චාරිත්‍රය අපට උරුම වූයේ භාරතීය වෛදික ග්‍රහ චාරිත්‍ර ඇසුරිනි එම ගෘහ චාරිත්‍රවල පළමුවැන්න නාමකරණ හෙවත් නම් තැබීමේ මඟුල වන අතර නිෂ්ක්‍රාමණය නම් වන දෙවැනි චාරිත්‍රය දරුවා දොරට වැඩුම හා සම්බන්ධ වන්නකි. දරුවන්ගේ කන් විදීම හෙවත් කර්ණ වේධනය භාරතීය වෛදික ගෘහ චාරිත්‍රවල තුන්වැනි මංගල්‍යය සේ සැලකේ. අප රටේ කන් විදීම සිදු කරනුයේ ගැහැනු දරුවන්ගේ පමණක් වන නමුත් භාරතීය වෛදික ධර්ම ශාස්ත්‍රවලට අනුව ගැහැනු පිරිමි භේදයකින් තොරව සෑම දරුවකුගේම කන් විදීම මංගල්‍යයක ආකාරයෙන් සිදු කෙරේ.
එහෙත් භාරතීය ආභාෂයෙන් පැමිණ ඉහත සඳහන් ගෘහ චාරිත්‍ර පිළිබඳ අප ජන සමාජය තුළ එතරම් තැකීමක් නොමැති වුව ද හින්දුන් අන්න ප්‍රයාසය නමින් හඳුන්වන දරුවන්ට බත් කැවීමේ මඟුල සම්බන්ධයෙන් අප සමාජයේ බොහෝ දෙනෙක් විශේෂ උනන්දුවක් දක්වති. මා මෙහි ඇරඹුමේදීම සඳහන් කළ බොහෝ තරුණ සහ මැදිවියේ මාපියන් තම බිළිදුන් හට ඉඳුල් කට ගෑමට සුදුසු නැකතක් සොයා ජ්‍යොතීර්වේදීන් පැමිණෙනුයේ ඒ අනුව ය.
තම ජීවිතවල සෑම වැදගත් කටයුත්තක්ම සුබ නැකතක්, මුහුර්තයක් මුල් කොට සිදුකිරීම කෙරෙහි බොහෝ දෙනෙක් උනන්දු වෙති. විශේෂයෙන්ම කුඩා දරුවකුට බත් කැවීම සම්බන්ධ කටයුත්තක් සඳහා සුබ නැකතක් යොදා ගැනීමෙන්ම එය තම ජීවිතවල ඉතා වැදගත් කටයුත්තක් බව එම මාපියෝ මනාව පසක් කරති.
දරුවකුට බත් කැවිය යුත්තේ කුමන වයසේදී ද යන්න මෙහි දී පැන නගින මූලිකම පැනයයි. එහෙත් එය ජ්‍යොතිර්වේදියකුගෙන් අසා දැන ගැනීමට වඩා දරුවා පරික්ෂා කරන වෛද්‍යවරයාගෙන්, අඩුම තරමින් දරුවා බැලීමට එන පවුල් සෞඛ්‍ය නිලධාරිනියගෙන් අසා දැන ගැනීම වඩාත් ප්‍රඥාවන්ත වනු ඇත. ඊට හේතුව දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය, පෝෂණ මට්ටම සහ වැඩීම සම්බන්ධයෙන් විද්‍යාත්මක තොරතුරු දැන හිඳිනුයේ ඔවුන් බැවිනි. නමුත් අප සමාජයේ බොහෝ දෙනෙකු තවමත් නවීන විද්‍යාවට භාර කළ යුතු දේ පැරණි විද්‍යා ශාස්ත්‍රවලත්, පැරණි විද්‍යා ශාස්ත්‍රවලට භාර කළ යුතු නවීන විද්‍යාවටත් භාර කිරීමට තරම් අවිචාරවත්ව කටයුතු කරන බව පෙනෙයි.
සාමාන්‍ය වශයෙන් දරුවකුගේ බත් කැවීමේ මංගල්‍යය උපතින් සය මසක් ගත වූ පසුව සිදුකිරීම පිළිගත් සම්ප්‍රදායයි. එහෙත් මෙම කාල නිර්ණය යම් යම් ආකාරවලින් වෙනස් වන අවස්ථා ද එළැඹේ. එහිදී ජ්‍යොතිර්වේදය පිළිබඳව සැබෑ දැනුමක් සහිත ජ්‍යොතිර්වේදියකු වෙතට දරුවාගේ ජන්ම පත්‍රය ඉදිරිපත් කොට ඒ සඳහා සුදුසු සුබ නැකතක් සාදවා ගත හැක. මෙහි දී මෙම නැකැත් බොහෝ විට පෙරවරුවේ යොදා ගත හැකි අතර දරුවාට සේම දෙමාපියන් ඇතුළු පවුලේ සාමාජිකයන්ට අපහසුවක් වන අන්දමින් අලුයම් යාමයේ මෙබදු කටයුතු සඳහා නැකැත් සාදා දීමක් කිසිදු පිළිගත් ජ්‍යොතිර්වේදියකු විසින් නොකරන බව ඒකාන්ත වශයෙන්ම කිව යුතු ය.
නමුත් ජනතාව බිය ගැන්වීම් හා මුලා කිරීම් මගින් ජ්‍යොතිර්වේදය ‘ගණිකාවක්’ කර ගත් මෙම ක්ෂේත්‍රය තුළට පිවිස සිටින සටකපට පුද්ගලයන් ‘හැබැයි පාන්දර හතරයි විසි එකට නම් සුබ නැකතක් තියෙනවා. වැඩේ යොදා ගන්න පුළුවන් නම් හරියටම හරි තමයි’ආදී ප්‍රෝඩාකාරී ප්‍රකාශ කළ අවස්ථාවන් සැලකිය යුතු ප්‍රමාණයක් අප හට නිරීක්ෂණය කළහැකි වී තිබේ.
නමුත් සුබ නැකැත්, සුබ මුහුර්ත සකස් කිරීමේදී ඒ කටයුත්ත සඳහා ඇති යෝග්‍යතාව සේම එම නැකත භාවිතා කරන්නවුන් හට ඒ සඳහා ඇති අවකාශය ගැන ද වෙසෙසින් සොයා බැලිය යුතු බව මෑත භාගයේ විසූ ජ්‍යොතිර්වේද පඬිවරුන් පවා නිතර පවසා තිබේ.
මෙහි දී මෙම බත් කැවීමේ මඟුල සඳහා බාහිර පුද්ගලයන්, අමුත්තන් කිසිවකුත් සහභාගී කර ගත යුතු නැත. දරුවාට නිතර දකින්නට ලැබෙන පවුලේ සාමාජිකයන් කිහිප දෙනකු ඊට එක්වීම හොඳටම සෑහේ. මෙහිදී ඉතා පිරිසිදුවට දරුවාට පහසුවෙන් ජීර්ණය වන ආකාරයට පිසින ලද බත් පිඬක් ලුණු ස්වල්පයක් ද සමග දරුවාගේ මුව තැබීමෙන් එම බත් කැවීමේ මඟුල සම්පූර්ණ වන අතර එම බත් කට ගොඩබිමත්, ලුණු ස්වල්පය සාගරයක් සංකේතනය කරමින් එතැන් සිට දරුවා තම පරමායුෂ භුක්ති විඳින කාලය තෙක් මෙලොව සියලු මනුෂ්‍ය ආහාරවල හිමිකරුවකු බව කියා පානු ඇත. නමුත් සරල චාම් වුවත් මෙතරම් උතුම් මංගල්‍යය අවස්ථාවක් ‘ඉඳුල් කටගෑම’ යන පිළිකුල් සහගත වදනින් හැඳින්වීම තරම් දරුවකුට කළ තවත් අපරාධ ඇත්නම් එය ඉතා සුළු ප්‍රමාණයක් බව අපගේ වැටහීම ය.
හේම ශ්‍රී අමරසිංහ