දරුවන් නිතර පැමිණිලි කරන රෝග අතර හිසරදය ප්‍රධාන තැනක් ගනී. බොහෝ විටම කිසියම් රෝගයක ලක්ෂණයක් ලෙස ඇතිවන හිසරදය අප කෙසේවත් තැකීමකට ලක් නොකරන රෝග තත්ත්වයකි. එනිසා හිසරදයක් ඇති වූ සෑම අවස්ථාවකම වේදනානාශක පෙත්තක් දී ඒ හිසරදය සමනය කිරීම බොහෝ විටම වැඩිහිටියන්ගේ සිරිත ය. ඉන් එහාට ඒ කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්නේ නොනැවතීම පවතින මිග්රේන් හෝ එවැනි දීර්ඝ හිසරදයක දී පමණි.
අප මෙහිදී කතා කරන්නේ දරුවන්ට වැළඳෙන හිසරදය පිළිබඳවයි.
පාසල් යන දරුවකුට නිතර හිසරදය වැළඳීම තුළින් දරුවාගේ අධ්‍යාපන කටයුතුවලට බොහෝ සෙයින් බාධා ඇතිවී ඇතැම් විට පාසල් ගමන අඩපණ කරන්නට පවා එය හේතු වනු ඇත.එසේම හිසරදය නිසා මතකයට ද බාධා පැමිණෙයි. වඩාත්ම අවදානම වන්නේ මේ නිතර වැළඳෙන හිසරදය දරුවා තුළ සැඟව තිබෙන දරුණු රෝග තත්ත්වයක් පිළිබඳ සංඥාවක් වීමට ද ඉඩකඩක් තිබෙන නිසා ය.
දරුවා නිතර නිතර හිසරදයක් ගැන පැමිණිලි කරන්නේ නම් ඒ ගැන විශේෂ අවධානයක් යොමු කළ යුතුය. හිසරදය හට ගන්නා වාර ගණන, එය කොතෙක් වේලාවක් පවතින්නේ ද වැනි කරුණු පිළිබඳව සටහනක් තබා ගෙන වෛද්‍ය උපදෙස් කරා යොමුවීම අතිශයින් වැදගත් ය.
දරුවන් අතර හිසරදය වාර්තා වීම ඉහළ අගයක පවතින නිසාම මෙය විශේෂ අවධානයක් යොමු කළ යුතු සෞඛ්‍ය ප්‍රශ්නයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය හඳුනාගෙන තිබේ.
සමහර දරුවන්, එම දරුවාටම විශේෂ වූ නොයෙකුත් හේතු මත පාසල් යාම ප්‍රතික්ෂේප කරන විට ද හිසරදය හට ගන්නා අවස්ථා තිබේ. මෙහිදී බොහෝ විට ම සිදුවන්නේ දරුවා තුළ මානසිකව බලපාන පාසල් යාමේ අකමැත්ත හිසරදයක් ලෙසින් කායිකව ප්‍රකාශ වීම ය. එනිසා කුඩා දරුවකු පාසැල් යාම එකහෙළා දැඩිවම ප්‍රතික්ෂේප කරන්නේ නම් , ඊට හේතුව සොයා බලා විසඳුමක් දීමත් අපහසු නම් දරුවා වෛද්‍යවරයකුට පෙන්වීම සුදුසු වේ.
දරුවන් වතුර පානය කිරීම අඩු වන විට ද හිසරදයට ගොදුරු වන අවස්ථා තිබේ. මෙවැනි හිසරදයක් නම් හොඳින් වතුර පානය කරන්නට යොමු වූ පසු ඉබේම අඩුවී යනු ඇත.
අව්වේ වෙහෙස වී ක්‍රීඩා කරන දරුවන්ට හිසරදය වැළඳීම සුලබ තත්ත්වයකි. එවැනි දරුවකු අව්වේ ක්‍රීඩා කටයුතුවල යෙදීමෙන් ඈත් වී සිටීම තුළින් හිසරදය වළක්වා ගත හැකි වෙයි.
නමුත් මෙවැනි සුළු හේතු කාරණාවලින් බැහැරව හට ගන්නා හිසරදයක් නම් ඒ ගැන අවධානය යොමු කළ යුතුය.
අවුරුදු පහට අඩු කුඩා දරුවන්ට හිසරදය වැළඳුණු විට එය නිවැරදිව සන්නිවේදනය කිරීමේ හැකියාව නැත. ඒ නිසා අධික ලෙස කේන්ති ගැනීම, හැඬීම වැනි ක්‍රියා හරහා ඔවුන් එය එළි දක්වනවා වන්නට පුළුවන.
දරුවන්ට හිසරදය සමග වැළඳෙන ඉතා ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර කරා යොමු විය යුතු රෝග ලක්ෂණ පිළිබඳව මෙලෙස දැක්විය හැකිය.
ඉතා තද හිසරදයක් සමග සමඟ වමනය යන්නේ නම් ඉක්මනින් දරුවා වෛද්‍යවරයකු වෙත යොමු කළ යුතුය. මෙවැනි අවස්ථාවල දරුවා හිස තදින් අල්ලාගෙන කෑ ගසන අවස්ථා තිබේ.
හිසරදය සමග උණක් , අධික නිදිමත ගතියක්, බෙල්ල ප්‍රදේශයේ මස් පිඩුවල වේදනාකාරී බවක් ගැන දරුවා පවසන්නේ නම් එයද ඉක්මන් ප්‍රතිකාර සඳහා යොමු විය යුතු අවස්ථාවකි.
විභාගයක් ළං වන විට සමහර දරුවන්ට අධික ආතතියක් ඇති වීම නිසා ද හිසරදය හට ගත හැකිය. මෙය නිතර නිතර පවතින්නේ නම් වෛද්‍යවරයකු වෙත යොමු කිරීම සුදුසුය.
හිස තදින් කොහේ හෝ ගැටුණු විට ද තදබල හිසරදයක් ඇතිවිය හැකි අතර එසේ වුවහොත් ඒ ගැන විමසිල්ලෙන් කටයුතු කළ යුතුය. එසේම එලෙස හිස වැදී දින කිහිපයක් ගත වූ පසුව වුවද හිසරදය වැළඳුනහොත් දරුවා ඉක්මන් ප්‍රතිකාර සඳහා යොමු කළ යුතු වෙයි.
තද හිසරදයක් නිසා රාත්‍රියේ නින්දෙන් එක්වරම අවදි වන තත්ත්වයක් ඇති වුවහොත් එය ද ප්‍රතිකාර කරා යොමු විය යුතු අවස්ථාවකි.
උදේ පාන්දර ඇහැරුණු විට හිසරදය සමග වමනය හට ගන්නේ නම් ඒ සඳහා ද ඉක්මන් ප්‍රතිකාරවලට යොමුවිය යුතුය. දරුවාට හිසරදය හැදෙන වාර ගණන වැඩි වූ විටෙකත්, හිසරදයේ ස්වභාවය වෙනස් වූ විටෙකත් ඒ ගැන නිවැරදි තොරතුරු වෛද්‍යවරයාට පවසා ප්‍රතිකාර ලබාදීම අත්‍යවශ්‍ය වේ.
එසේම දරුවකුගේ හිසරදය කනේ ආබාධයක් හෝ පෙනීමේ ආබාධයක් නිසා හටගත් දෙයක් වන්නටද බැරි නැත. එය මොළයේ ආවරණ පටලය ඉදිමීමක් නිසා ඇතිවූ දෙයක් වීමටද ඉඩ තිබේ. කලාතුරකින් මොළයේ ගැටිත්තක් ගැන ඉඟි කරන සංඥාවක රෝග ලක්ෂණයක් වීමට ද පුළුවන. එනිසා දරුවන්ගේ හිසරදය ගැන කල්පනාවෙන් කටයුතු කිරීම ඉතා වැදගත් වේ.
ළමා රෝග විශේෂඥ වෛද්‍ය චින්තක රාජපක්ෂ
සැකසුම – ඉන්දු පෙරේරා