බුදුසමයට අපහාස වන අන්දමට ප්‍රසිද්ධ ප්‍රකාශයක් කිරීමේ වරදට නතාෂා එදිරිසූරිය නම් තිස් දෙහැවිරිදි කාන්තාවක් මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කොට තිබේ. ඇය එලෙස අධිකරණය හමුවට පත්ව ඇත්තේ 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) ප්‍රකාරව ය. එය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් නිසි පරිදි තහවුරු වී නොමැති මානව හිමිකම් තහවුරු කෙරෙන ප්‍රකාශයකි.
ඒ අතර එම කාන්තාව කළ ප්‍රකාශය සහ ඇය අත්අඩංගුවට ගැනීම පිළිබඳ නොයෙකුත් මතවාද සමාජය පුරා පැතිර යමින් තිබේ. ඇය සිදු කොට ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වන වගන්තියට අනුව බුදු සමය සම්බන්ධ තම නිදහස් අදහස් ප්‍රකාශ කිරීමක් ලෙස ද සමහරු අර්ථ දක්වති. එහෙත්, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 14 වගන්තියට පසු 15 වන වගන්තියක් ද ඇති අතර එසේ අදහස් දැක්වීමේ සීමාවන් පිළිබඳව එහි දක්වා තිබේ. ඒ කෙසේ හෝ එම කාන්තාව සිදු කළ අවිචාරවත් ප්‍රකාශයෙන් අප රටේ ජනතාවගෙන් සැලකිය යුතු කොටසක් දරුණු සිත් පීඩාවකට පත්ව සිටිති; ඒ අතරේ කුපිත වූවෝ ද වෙති. ඇගේ බුද්ධි මට්ටම සහ අරමුණ කුමක් වුවත් මේවා ජාතික සමගියට සමාජ සමානාත්මතාවට බාධාකාරී සිදුවීම් බව ඒකාන්ත වශයෙන්ම කිව යුතු ය.
ඇගේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වන ඇතැමුන් පවසනුයේ එය හුදෙක් ඇගේ කවට කතාවක් පමණක් බව ය. එහෙත් විහිළුවටවත් අනුන්ගේ සිත් නොරිදවිය යුතු බව අපි කුඩා කාලයේ සිටම අසා ඇත්තෙමු. ඒවා හැඳින්වෙන ලද්දේ “ඇස් රතු වන විහිළු” යනුවෙනි.
ඇගේ එම කවට කතාව නූතන වර්ගීකරණයට අනුව ස්ටැන්ඩ් අප් කොමඩි (Stand-up comedy) යන වර්ගීකරණයට ගැනෙන බව පැවසෙයි. එහි ස්ටැන්ඩ් අප් යන්නෙහි සරල සිංහල අරුත “හිටිවන” ලෙස ගැනීමේ වරදක් නැත.
නූතන ලෝකයට මෙම “හිටිවන කොමඩි කලාව” එක්ව ඇත්තේ දහ නව වන සියවසත් විසි වන සියවසත් අතර කාලයේ බව පැවසෙයි. එමෙන්ම එහි පුරෝගාමීත්වය සටහන් වනුයේ 1911 වසරේ නෙලී පෙරියර් නම් කාන්තාවකගේ ඉදිරිපත් කිරීමත් ද සමගිනි. එය සමකාලීන එංගලන්තයෙන් ඉස්මතු වූ වික්ටෝරියානු සුචරිතවාදයට එරෙහි සමාජ රැල්ලක් වශයෙන් ද ඇතැම්හු හඳුන්වති.
එහෙත් අප රටේ මෙම හිටිවන කොමඩි කලාවේ පුරෝගාමීත්වය; නැතහොත් නෙලී පෙරියර් ගේ තැන මෙම තනාෂා එදිරිසූරිය නම් කාන්තාවට ලබා දීමට අප ඉක්මන් විය යුතු නැත. ඒ එවිට එය “වෙනම කොමඩියක්” වන බැවිනි.
මෙම “හිටිවන” යන වදන අප සමාජයේ වැඩිපුරම අප අසා ඇත්තේ කවි මඩු සම්බන්ධයෙනි. ඒවා ද බොහෝ විට මේ හිටිවන කොමඩි ගණයට වැටේ. මීට අමතරව බලි තොවිල් ශාන්ති කර්ම තුළින් ද මේ හිටිවන කොමඩි රසය දෝරේ ගලා යයි. මේ අවස්ථා දෙකේදීම ලිංගිකත්වය සදාචාරයේ වැට පැන අවුත් අප රසවත් කරනු මම කොතෙකුත් අත්දැක ඇත්තෙමි. පිරිමින් හා එක්ව එම බලි තොවිල් නරඹන කාන්තාවෝ යකාගේ මුවින් ලිංගිකත්වය මුල් කර ගත් හොඳ හොඳ කතා කියැවෙන විට පැස්බරුන් වැල්ලේ මුහුණු සඟවා ගන්නාක් මෙන් පිරිමින් වෙතින් තම මුහුණු වසන් කර ගනිති.
ඊටත් වඩා මේ හිටිවන කොමඩිවලට වඩාත් සමීප කියුම් ජාලයක් අප ගැමි සමාජයේ තිබේ. කවුරුත් දන්නා පරිදි ඒවා හැඳින්වෙනුයේ බේගල් නමිනි. එහෙත් එදා මෙදා තුර මෙම බේගලය අප සමාජය තුළ නිසි අගැයුමකට පිළිගැනීමකට තබා හැඳින්වීමකට වත් ලක් වී නොමැති බවට සහතික වීමට මට පුළුවන.
බොරු – බේගල් යනු සිංහල භාෂාවේ එන යුගළ පදයකි. එනිසා තවමත් අප සමාජයේ බොහෝ දෙනකු දකිනුයේ බොරුව සහ බේගලය නිවුන් සොයුරන් ලෙසිනි. එහෙත්, පොදුවේ ගත් කල බේගලය යනු සත්‍ය නොවූ ප්‍රකාශ වශයෙන් හැඳින්විය හැකි වුවද බොරුව සහ බේගලය අතරේ සමානතා අබිබවන වෙනස්කම් පරස්පරතා තිබේ. අසන්නවුන් රවටන වංචනික ලෙස කරනු ලබන ප්‍රකාශයන් බොරුව නමින් හැඳින්වෙන අතර බුදු දහමේ මෙය මෘෂාවාදය හෙවත් මුසාවාදය ලෙසින් හැඳින්වෙයි. බුදු දහමේ දැක්වෙන අන්දමට අකුසල කර්මයක් වන මුසාවාදය සම්පූර්ණ වීමට කරුණු හතරක් සම්පූර්ණ විය යුතු ය. පවසන කරුණ සත්‍යයෙන් තොර වීම, අන්‍යයන් රැවටීමේ අදහස, රැවටීමේ උත්සාහය, එසේ කී දෙය සත්‍යයක් වශයෙන් අනෙකා හෝ අන්‍යයන් වටහා ගැනීම යනු ඒ කරුණු සතර ය. එමෙන්ම ඉටු නොකිරීමේ අදහස පෙරදැරිව යම් බොරු පොරොන්දුවක් දීම ද මුසාවාද ගණයට අයත් වන බව පවසන බුදු දහමින් අනාවරණය කෙරේ. කුමන හේතුවක් මත හෝ පසුකලෙක ඒ එම පොරොන්දුව ඉටු කළ ද ඉහත සඳහන් කරුණු සතර මුල් කොට ඉහත පොරොන්දුව දුන් තැනැත්තාට මුසාවාද අකුශලය සිදු වන බව බුදු දහමේ සඳහන් ය. නමුදු බොරු යන යුගල පදයෙහි දෙවන කොටස වන බේගල් යන්නෙන් හැඳින්වෙනුයේ බොරු නොවේ. හුදෙක් අන්‍යයන් පිනවීමේ, රසවත් කිරීමේ අදහසින් ප්‍රකාශ කරනු ලබන අභව්‍යාත්මක ප්‍රකාශයන් ය. එහි දී එම බේගල් අසන්නෝ ද ඒවායේ ඇති රසය උකහා ගනු මිස ඒවා සත්‍ය වශයෙන් විශ්වාස නොකරති. එනිසා එය මෘෂාවාද හෙවත් මුසාවාද සීමාවෙන් ඔබ්බෙහි ඇති දෙයක් බව ඔබට වැටහෙනු ඇත.
අතීත ගැමි සමාජයේ බොරු කාරයන් පොදු ගර්හාවකට ලක් වුවද බේගල් කාරයන් සඳහා යම් පිළිගැනීමක් තිබිණ. මාර්ටින් වික්‍රමසිංහ සූරීන් ගේ ‘අපේ‘ ගම කෘතියෙහි එන අන්දො අයියා හෙවත් බේගල් ගේ චරිතය තමන් සැබැවින් ඇසූ දුටු අපූරු චරිතයක් බව වික්‍රමසිංහයන් පසුව කියා තිබිණ. දකුණු පළාතේ ගමක වාසය කළ දරුවකුගේ ද්‍රෂ්ඨි කෝණයෙන් ලියැවුණු ගත් අපේ ගම කෘතියෙන් දකුණේ පිටිසර ගමක ඇතුලාන්තය මනාව නිරීක්ෂණය කොට තිබීම පැසසුම් කටයුතු ය. 1940 වසරේදී පළමු වරට මුද්‍රණය වූ අපේ ගම සිංහල පාඨක ජනතාව අතර විශේෂයෙන් ළමා පරපුර අතර බෙහෙවින් ප්‍රචලිත වූ කතා සංග්‍රහයකි. මේ වන විට පිටපත් ලක්ෂ ගණනක් දරුවන් අතට පත්ව තිබේ.
අප කුඩා කාලයේ අප ගම් ප්‍රදේශයේ; එනම් ගණේමුල්ලේ අනුන්ගේ ගෙවතුවල පොල් ගෙඩි කඩා කුලියට ජීවත් වන පුද්ගලයෙක් සිටියේය. සිහින් උස් සිරුරකින් යුතු ඉතා අහිංසක ඇවතුම් පැවතුම් වලින් යුතු ඔහු ගමේ කාට වුව අතිශය ප්‍රිය මනාප පුද්ගලයෙක් විය.
දිනක් අප නිවසට අද්දර ඉඩමක උස පොල් ගසකට නැඟ පොල් කඩමින් සිටි ඔහු ගස මුදුනේ සිට “හාමිනේ හාමිනේ” යනුවෙන් කෑ ගසමින් ඒ ගස අද්දර සිටි එම නිවෙස් ගෘහනිය අමතනු මට ඇසිණ. එබැවින් මම ද ඊට මහත් උනන්දුවෙන් කන් දුනිමි “මොකද බං?” ඇය ද නොරිස්සුම් සහගත බවක් පළ කරමින් ඇසුවා ය.
“…. අනේ හාමිනේ හාමිනේට බොහොම පින් මට මේ කරපු උදව්වට අනේ සාදු සාදු” ඔහු දිගටම හඬ නඟන්නට විය. ඉන් මගේ සේම ඒ කාන්තාව ගේ කුතුහලය; විමතිය දෙගුණ තෙගුණ වූ බව රහසක් නොවේ.
“මොකක්ද බං; උඹ ඔය කියන්නේ; කියන කෙහෙම්මලක් තේරෙන්න කියපන්කෝ” ගස අද්දර සිටි ඒ කාන්තාව ද කෑගැසුවාය. “අනේ හාමිනේ; මෙතනට සිරීපාදේ අතේ දුරින් වගේ පේනවා. අනේ සාදු සාදු” ඔහු යළි හඬ නඟන්නට විය.
සැබැවින්ම එම පොල් ගස මතට නැඟුණු විට ශ්‍රී පාදස්ථානය දර්ශනය වන බව පැවසීම මුළුමනින්ම අසත්‍යයකි. එය සත්‍යයක් සේ පිළිගන්න කිසිවකුත් නැත. ඒ පොල් කඩන්නා තම විශිෂ්ටතම පරිකල්පන ශක්තිය මෙහෙයවා අනියමින් ප්‍රකාශ කොට සිටියේ තමන් නැඟි පොල් ගස ඉතා උස බැවින් තමන්ගේ “බැලය” සම්බන්ධ යම් විශේෂයක් කරන ලෙස ය. සැබැවින්ම එය කෙතරම් අපූරු සොඳුරු සන්නිවේදනයක්ද?
මීට වසර ගණනාවකට පෙර අප ගම් ප්‍රදේශයේ කුඩා තේ කඩයක් ඉදිරියේ දාම් අදිමින් සිටි කිහිප දෙනාගෙන් එක් අයකු “අන්න ජේමිස් අප්පු අපායේ ඉඳන් රෙජිස්ටර් තැපෑලෙන් ලියුමක් එවල ලු’ යනුවෙන් කීය. ජේමිස් අප්පු යනු ඊට මඳ කලෙකට පෙර මිය ගිය අප ගම් ප්‍රදේශයේ සිටි කුප්‍රකට පුද්ගලයෙකි.” ඔන්න අපේ නායක හාමුදුරුවොත් අපායේ ඉස්සරහ පේලියෙම වැඩ ඉන්නවා කියලා ජේමිස් අප්පු ලියලා එවලා” ”ඔහු කීයේ ඊට මාස ගණනකට පෙර අපවත් වූ ධනවත් කමින් දාහෙන් පංගුවක වත් සිල්වත් කමක් නොතිබූ නා හිමි නමක පිළිබඳව ය. එකෙනෙහිම එහි සිටි කිසිවකු එතැන සිටි තවත් අයකු නෙත් කොනින් පෙන්වා සිටියේ යම් අනතුරු සංඥාවක් ලෙසිනි. ඒ පෙන්වනු ලැබූ තැනැත්තා ඒ නා හිමියන්ගේ සමීපතමයෙකි. ඒ සංඥාව දුටු සැණින් දාම් අදින්නාගේ ගේ හඬ යළි අවදි විය. “අපායේ වැටුණු උන්ව වුණත් ගොඩ ගන්න පුළුවන් මහා පින් බලයක් නෙ අපේ නායක හාමුදුරුවන්ට තියෙන්නේ. මං හිතන්නේ උන්නාන්සේ ඒකටම තමයි අපායට වඩින්න ඇත්තෙ; දිවිය ලෝකෙ ඉඳලා” හෙතෙම පටස් ගා කියා දැම්මේය. සැබැවින්ම ඔහුගේ එම පරිකල්පන ශක්තිය හමුවේ මට මා පිළිබඳවම ලජ්ජාවක් ඇති විය. තමන්ට හෝ අසන්නාට කිසිදු වැදගැම්මකට නොමැති යමක් පැවසීම බුදු දහමට අනුව සම්ඵප්‍රලාප හෙවත් හිස් වදන් කීමට අයත් වන බව පෙනේ. එහෙත් මතුපිටින් සරල බවක් පැවැතිය ද ඇතුළතින් කිසියම් අරුතක් හරයක් පළ කරන බේගලය සම්ඵප්‍රලාප ගණයට ද අයත් වෙතැයි කිසිවකුටත් කිව නොහැක. සාමාන්‍ය ව්‍යවහාරයේ දී බේගල් වශයෙන් නම් කළ ද අසන්නවුන් තුළ කිනම් හෝ සාධනීය බලපෑමක් ඇති කරවීම පිණිස මවන ලද අතිශයෝක්තීන් ආගමික සාහිත්‍යාංගයන් තුළ ද දක්නට තිබේ. බේගල් වශයෙන් සඳහන් නොවුණ ද අප කවුරුත් දන්නා පන්සිය පනස් ජාතකයේ එන සතුන් කතා කිරීම ආදී අභව්‍යාත්මක පුවත් ඊට කදිම නිදසුනකි. ලොව නන් දෙසින් අසන්නට ලැබෙන උපමා කතා අතරේ ද මෙබඳු හරවත්, අරුත්බර කතා පුවත් ඕනෑ තරම් තිබේ. එහෙත්, ඒවා සමාජයට අතිශයින් වැදගත් වන්නේ ඉන් පැවසෙන කරුණු වලින් ඉස්මතු වන සුවිශිෂ්ට පුද්ගල සහ සමාජ යථාර්ථයන් නිසා ය. මේ සියලු තත්ත්වයන් යටතේ බේගල් දොඩන්නවුන් ගේ කතා මගින් රසයක් උත්ප්රාසයක් සේම යම් ජීවිතාදර්ශයක් ලබා ගැනීමට අතීත ගැමි සමාජය පුරුදුව සිටියහ. එයින් ඔව්හු තම ජීවිතවලට යම් යහපතක් උදා කර ගත්හ.
ඒ අතින් හුදෙක් නොදැනුවත්කමට කළ ද එසේත් නොමැති නම් මතුපිටට නොපෙනෙන ජාතික ඒකාබද්ධතාව සමාජ සමානාත්මතාව බිඳ දමන බලවේගයක ඉල්ලීම පිට කළ ද නතාෂා එදිරිසූරිය නමැත්තිය කළ ඒ හිටිවන කොමඩිය ඉහත සඳහන් බේගල් වලට අලගු තැබීමට වත් නොහැකි මට්ටමක පවතින බව නිසැක ලෙසම කිව හැකි ය. නමුත් එහි මවිතයට කරුණ එය නොවේ. ඇගේ එම බාල බොළඳ ප්‍රකාශය හමුවේ එය අසා සිටින්නවුන් කොක් හඬලා සිනාසෙනු ද ඒ වීඩියෝවේ දක්නය ලැබීම ය. හුදෙක් ජුගුප්සාවක් මිස කිසිදු හාස්‍ය රසයක් උද්වහනය වන ඇගේ එම ප්‍රකාශය හමුවේ ඔවුන් “බක බක” ගා සිනාසෙනුයේ ව්‍යවහාරික ලෙසින්ම කිව හොත් ඇයට “සපෝට් එකට” විය යුතු ය. නො එසේ නම් වත්මන් සමාජයේ මුඛ්‍ය ධාරාව ලෙස පිළිගැනෙන බෞද්ධ සංස්කෘතිය පිළිබඳව තම යටි සිත් වල ඇති ද්වේෂය එළි දැක්වීම සඳහා ද විය හැක.
තිලක් සේනාසිංහ
(2023 ජූනි 04 දිවයින ඉරිදා සංග්‍රහය)