‘ගෙවලයා’ ‘ගෙවලයා වගේ’ යන වදන් නවීකරණයට ලක් වූ නූතන සමාජයේ ද නිතර ව්‍යවහාර වෙයි. වරක් කිසියම් පිරිමියකු සම්බන්ධයෙන් මෙම ගෙවලයා යන වදන භාවිතා කළ කාර්යාල සේවිකාවක ගෙන් එම වදනේ අරුත දන්නේ දැයි මම අසා සිටියෙමි. එවිට ඇය ගත් කටට ම කියා සිටියේ ගෙවලයා යනු කාන්තාවන් කෙරෙහි දැඩි ලෙස ඇළුම් කිරීම මුල් කොට ජන වහරෙහි එන ‘සෙවල හැලීම’ යන වදන මුල් කොට ගත් ‘සෙවලයා’ යන වදනින් බිඳී පැමිණි ව්‍යවහාරයක් විය හැකි බවයි.
කාන්තාවන් පිළිබඳ ලොල් වැඩීම කෙරෙහි නම් දරන යක්කු කීප දෙනෙක් මෙරට ජන විඥානය තුළ හිඳිති. ‘අබිමානා’ සහ ‘කළු කුමාරයා’ ඒ අතරින් වඩාත් ප්‍රසිද්ධියට පත්ව තිබේ. එහෙත්, මෙහි සඳහන් ගෙවලයා, ගෙවල යකා හෝ ගෙවල ප්‍රේතයා යනුවෙන් හැඳින්වෙන අමනුෂ්‍යයා සහ මනමාල කම් අතරේ කිසිදු සම්බන්ධයක් නැත.
අපගේ ජන විඥානයට අනුව ‘ගෙවලයා’ යනු තම පවුලේ ඥාති මිත්‍රාදීන්, ගේ දොර, ඉඩකම්, යාන වාහන ආදිය කෙරෙහි අසීමාන්තික ඇල්මක් දක්වමින් සිට මිය පරලොව ගිය පුද්ගලයකු ගේ පුනරාගමනයකි. එමෙන්ම මෙලෙස ගෙවලයකු ලෙස ඉපදීමට බලපාන තවත් ප්‍රධාන හේතුවක් තිබේ. එනම් ඒ පුද්ගලයා ජීවත්ව හිඳින කාලය තුළ පාපී දිවි පෙවෙතක් ගත කිරීම ය.
බෞද්ධ ත්‍රිපිටකයට අයත් ඛුද්දක නිකායේ තිරෝකුඩ්ඩ සූත්‍රය, මළවුන් ප්‍රේතයන් ලෙසින් යළි තමන් පෙර ජීවත්ව සිටි වාසස්ථාන වලට පැමිණිය හැකි බව පැවසෙන සූත්රයකි. එම සූත්‍රයේ නිදාන කතාවට අනුව බිම්බිසාර රජු විසින්ම මහා ධනස්කන්ධයක් වැය කොට තැන වූ වේළුවනාරාමය බුදුන්ට පූජා කළ අවස්ථාවේ තම මිය ගිය ඥාතීන්ට පින් පැමිණ වීමට රජතුමන් හට අමතක වෙයි.
එහෙත්, එදින රාත්‍රියේ ඔහු සිහිනයෙන් දකිනුයේ ඒ වන විට අතිශය දුක්ඛිත තත්වයක පසුවන තම මිය ගිය ඥාතීන් තමන් හමුවට පැමිණ විලාප නඟමින් හඬන අයුරකි. මෙම සිහිනයෙන් මහත් බියට පත් වන රජු පසු දා බුදුන් හමුවට ගොස් මෙම සිහිනය පිළිබඳව පවසා සිටිනුයේ එමගින් තමන්ට යම් විපතක්, කරදරයක් සිදු වෙතැයි යන අනියත බිය පෙරදැරි කර ගනිමිනි.
එහි දී බුදුන් වහන්සේ විසින් දේශනා කරනු ලැබූ තිරෝකුඩ්ඩ සූත්‍රය නවීන මනෝ විද්‍යාත්මක වදන් වලින් කිවහොත් ඥානක චර්යාත්මක චිකිත්සාවකි. (Cognitive behavioral therapy) එමගින් බුදුන් වහන්සේ රජු හට අවධාරණය කරනුයේ තම මිය ගිය ඥාතීන් සඳහා වුව කෘතවේදීත්වය පළ කිරීම නම් වන සදාචාරාත්මක චර්යාවන් පුරුදු පුහුණු කළ යුතු බව ය.
ඒ වන විට ඉන්දීය සමාජයේ ඒ උදෙසා අනේක විධ පුද පූජා පැවැති අතර බුදුන් අවධාරණය කළ පරිදි ඔවුන් උදෙසා විශිෂ්ටතම කළගුණ සැලකීම වනුයේ පින් පෙත් පැමිණීම ය. මිය ගිය පුද්ගලයන් යළි ජීවත් වන්නවුන් හමුවට පැමිණෙන හා ඔවුන් වාස භවනය කර ගන්නා ස්ථාන ආදිය පිළිබඳව පවා තිරෝකුඩ්ඩ සූත්‍රය මගින් පැහැදිලිව විස්තර කොට තිබේ. එහෙත්, අප ජන සමාජයේ පවත්නා ගෙවලයන්, ගෙවල යකුන් සහ ගෙවල ප්‍රේතයන් පිළිබඳ විශ්වාසයට අනුව ඔවුන් තිරෝකුඩ්ඩ සූත්‍රයෙන් පැවසෙන ඥාති ප්‍රේතයන් ගෙන් යම් කොටසක් පමණක් බව ද කිව යුතු ය.
අප ගේ ජන විශ්වාසයට අනුව ගෙවලයෝ සෙසු අමනුෂ්‍යයන් මෙන් නිශ්චිත රූපකායක් මගින් ජීවත් වන්නවුන් හමුවේ පෙනී නොසිටිති. ඔවුන් තම නිවසට පැමිණ අරක් ගෙන ඇති බව ගෙහිමියන් දැන ගනුයේ යම් යම් සංඥා මගිනි. ඇතැම් දිනවල සන්ධ්‍යා සමයන් හිදී ‘පෙරේත ගඳ’ යනුවෙන් ජන වහරේ එන ගන්ධයක් දැනීම, නිවසේ සාමය කඩවීම, නිවැසියන් නිතර රෝගී වීම, අනතුරු ආදියට මුහුණ පෑම, උපයා ගන්නා ආදායම නිසි සේ නඩත්තු කර ගැනීමට නොහැකි වීම, යම් යම් පාඩු සහ අලාභයන්ට මුහුණ දීමට සිදුවීම ඒ අතුරින් මූලික වටයේ ලක්ෂණ ලෙස හඳුනා ගත හැකි ය. මෙහි දෙවන වටයේ ලක්ෂණ ලෙස නිවසේ විවිධ ස්ථානවලින් ආගන්තුක ශබ්ද මතුවීම ආහාර පාන ආදියට අළු, වැලි ඇතැම් විට අශූචි පවා මිශ්‍ර කරවීම, නිවසේ ඇති යමකුට අතින් පරිහරණය කළ හැකි පීරිසි, කෝප්ප, හැලි වළං ආදිය පොළොවේ ගසා කඩා බිඳ දැමීම නිවසට ගල් මුල් වැදීම ආදිය නම් කළ හැකි ය.
බටහිර සංස්කෘතිය තුළ මෙම ගෙවලයන් පිළිබඳව සඳහන් නොවුණ ද මීට සමාන ලෙස හැසිරෙන ගෘහාශ්‍රිත ඝෝෂාකාරී භූත විශේෂයන් පිළිබඳව පැතිර ගත් විශ්වාසයක් ලොව පුරා පවතී. ඉංග්‍රීසි බසින් ඔවුන් හැඳින්වෙනුයේ Poltergeist යනුවෙනි. මේ නමින් යුතු ඉංග්‍රීසි චිත්‍රපට මාලාවක් ද තිරගත වී ඇති අතර ඒවා ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් වීමෙන් මෙම භූත විශේෂය පිළිබඳ විශ්වාසය ලොව කෙතරම් ප්‍රචලිතව තිබේ දැයි සිතා ගැනීමට පුළුවන.
යකුන් දුම්මල ගසා එළැවිය හැකි මුත් මෙම ගෙවලයන් දුම්මල ගසා වත් එළැවීමට නොහැකි බැවින් ඔවුන් ගේ උවදුරු වලින් අත්මිදීම සඳහා යක් තොවිල් ද ප්‍රමාණවත් නොවන බව අප හා කියා සිටියේ ශාන්තිකර්ම විෂය පිළිබඳව පාරම්පරික දැනුම් සම්භාරයකින් යුතු ගණේමුල්ලේ, තිබ්බටුගොඩ විසූ පියදාස විද්‍යාරත්න (විපුලසේන) මහතා ය. එමෙන්ම යක්ෂයන් මෙන් නොව ඇදුරන් හමුවේ බොරු කීම පුරුද්දක් වශයෙන් සිදුකරන මෙම ගෙවලයෝ තමන් අදාල නිවස හැර යන බවට පොරොන්දු වී ටික දිනකින් හීන් සීරුවේම යළි එම නිවසට රිංගා පැල පදියම් වීම සාමාන්‍ය තත්වයක් බව ද ඔහු කීය.
“හොඳම දේ තමයි මළයක් යාදින්න කියලා ඔය ප්‍රේත, පිසාච, කුම්භාණ්ඩයෝ ගෙන්නලා බුද්ධානුභාවයෙන් උන්ව දමනය කරන එක; මළ යක් යාදින්නෙන් කියැවෙන්නෙත් තිරෝකුඩ්ඩ සූත්‍රයේ තියන කාරණාම තමයි. නමුත් සමහරු යකදුරන් ගෙන්වලා ඔය ගෙවල යක්කුන්ව පන්ගන්න යක් තොවිල් කරනවා. ඒක හරියට පුවක් කපන ගිරයෙන් ගොයම් කපන්න යනවා වගේ වැඩක්” කී ඔහු ඒ සඳහා සිද්ධාර්ථ කුමරුන් ගේ පියුම් පිට වැඩීම සිහිගන්වන හත් අඩියේ දෙහි කැපීම වැනි බෞද්ධ ශාන්ති කර්ම ඕනෑ තරම් ඇති බව කීය.
අපගේ ජීවන රටාවන් අපට ආවේණික පෞරුෂයන් සහ ජීවත් වන සමාජ සංස්කෘතික පසුබිම අනුව විවිධ අයුරින් හැඩ ගැසීම සාමාන්‍ය තත්වයකි. ඒ අනුව ජීවිතයේ එදිනෙදා මුහුණ දෙන අනේක විධ ප්‍රශ්න, ගැටළු, කම්කටොළු හමුවේ ඒවාට යථාර්ථවාදී සේම ගුප්ත වාදී අර්ථ කථන ලබා දෙන්නෝ ද සමාජයේ දුලබ නොවෙති. ඒ අනුව ඉහත සඳහන් අයහපත් තත්වයන් හමුවේ ඇති වන මානසික පසුබෑම, ඉච්ඡා භංගත්වය ඇස්වහ කටවහ, ග්‍රහ අපල, හදි හූනියම් ආදියේ ප්‍රතිඵල ලෙස හඳුනා ගන්නා සමහරු තම ප්‍රශ්න, ගැටළු, අර්බුද කම්කටොළු සඳහා පාදක වූ යථාර්ථවාදී හේතුවලින් පිට පැන ඒවා සඳහා ගුප්තවාදී විසඳුම් සෙවීමට පෙළඹෙති.
තමන් මුහුණ දෙන ඇතැම් දරුණු කායික වේදනා හමුවේ ඒවා තමන් ජීවත් වන පරිසරය මුල් කොට ඇති වන බවක් වටහා ගන්නා සමහර තිරිසන් සතුන් එම වේදනාවලින් පිටු දැකීම පිණිස තමන් ජීවත් වන සුපුරුදු පරිසරයන් ගෙන් අත්මිදී බලන බව සත්ව විද්‍යාඥයෝ පවසති. එවිට ඔවුන් වෙනත් වන සතුන්ට ගොදුරු වන අවස්ථා ද බහුල ය. එම නිදසුන උපයෝගී කර ගන්නා මානව විද්‍යාඥයන් පවසනුයේ මිනිසුන් තමන් ජීවිතයේ මුහුණ දෙන විවිධ ප්‍රශ්න, ගැටළු, අර්බුද, කම්කටොළු වලදී යථාර්ථය අමතක කොට ගුප්තවාදී විසඳුම් සෙවීම ඊට ඉඳුරාම සමාන දෙයක් බව ය.
මෙම ගෙවලයන්, ගෙවල යකුන් හෝ ගෙවල ප්‍රේතයන් විසින් සිදු කරතැයි පැවසෙන ක්‍රියාවන් පිළිබඳව ද ඉතා පැහැදිලි මනෝ විද්‍යාත්මක අර්ථ කථන එළි දැක්වී තිබේ. එනම් එවන් භූත ක්‍රියා ලෙස හඳුන්වන සියළුම ක්‍රියාකාරකම් යම් යම් පුද්ගලයන් ගේ දුබල පෞරුෂයන් මුල්කොට පිබිදෙන දිවිතීයික පෞරුෂයන් විසින් හැසිරවෙන හා අවිඥානකව සිදුවන ක්‍රියාවන් බව ය. ඒ අනුව ගෙවල යකුන් විසින් සිදුකරනු ලබන පිඟන් කෝප්ප, හට්ටි, මුට්ටි, හැලි ළං බිම හෙළීම ඇතුළු සෙසු සියළු භූත ක්‍රියා යම් යම් පුද්ගලයන් තුළ පවත්නා නොවිසඳුණු මානසික ගැටුම නම් වන සාධකය සහ එම පුද්ගල පෞරුෂය හා පදනම් වූ ඒවා බව අප රටේ රෝහල් වල මනෝ වෛද්‍ය විද්‍යා සායනවල දී ඔප්පු වූ අවස්ථා ද එමට ය. නමුදු ඒවා විවෘත සමාජය හමුවට නොපැමිණේ.
’‘අපේ මස්සිනා ගේ මාමණ්ඩි මස්සිනාත් එක්ක පුදුම තරහකින් හිටියේ. කොහොම හරි පහුගිය දවසක මාමණ්ඩි හදිසියේම මළා. මස්සිනා කියනවා දැන් තමන් කන්න ගන්න බත් එකේ අමුතුම සෙවල ගතියක් තියනවා කියලා; මිනිහා හිතන්නේ මිනිහගේ මාමණ්ඩි දැන් ගෙවල යකෙක් වෙලා ඒ ගෙදරට අරක් අරගෙන ඉන්නවා කියලා. ඒත් ඒ කතාව එයාගේ නෝනත් එක්ක කියන්න බයලු; තමන් ගේ තාත්තට අපහාස කළා කියලා නෝනට කේන්ති යාවි කියලා.
පසුගිය දිනයෙක මගේ විද්වත් මිතුරෙක් කී ය.
“ඒකට හොඳම වැඩේ තමයි; ඔය කෑමට ගන්න බත් පිඟාන ඔය ගැන කිසිම දෙයක් නොදන්න පිටස්තර කෙනෙකුට පරීක්ෂා කරන්න ඉඩ දෙන එක; එතකොට එයාත් ඔය සෙවල කතාව කිව්වොත් තමයි ඔය ගැන තව දුරටත් හොයන්න වෙන්නේ. එහෙම නැතුව ඔය කෑම එකේ සෙවල ගතියක් ඒ මනුස්සයට නොතේරුණොත් අපිට හිතන්න තියෙන්නේ ඒ සෙවල ගතිය තියෙන්නේ මස්සිනා ගේ හිතේ මිසක් කෑම එකේ නෙවෙයි කියලයි” මම කීවෙමි.
පොදුවේ අප රටේ ජනතාව තුළ පවත්නා මෙවන් විශ්වාසයන් අර්ථ කථනය කෙරෙන අගනා ගැමි වදනක් ද තිබේ. ඉන් පැවසෙන්නේ මේවා හුදෙක් මනෝ මූලික ක්‍රියාවන් ලෙස ය. එම වදන නම් ‘මනස් ගාත’ යන්න ය.
තිලක් සේනාසිංහ