දෙවන එලිසබෙත් රැජින අවසන් නිදි සුවයට

elisabath

බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් රැජින ස්කොට්ලන්තයේ පිහිටි බැල්මෝරාල් මාලිගයේදී අභාවප්‍රාප්ත වූ බව බව බකිංහැම් මාලිගාව නිවේදනය කොට ඇත.96 හැවිරිදි වියේ පසුවූ දෙවන එලිසබෙත් රැජින ගේ පුත් බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරු සහ ඔහුගේ ආර්යාව වන කැමිලා පාකර් ඇතුළු රාජකීය පවුලේ සමීපතයින් ඊයේ දහවල් බ්‍රිතාන්‍යයේ සිට ස්කොට්ලන්තයේ පිහිටි බැල්මෝරාල් මාලිගය වෙත ගුවන් මගින් පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සාමාන්‍ය අවමඟුලක නොමැති චිරාගත රාජකීය සම්ප්‍රදායන් රැසක් මෙහි දී අනුගමනය කෙරෙන අතර ඒ සියල්ල මෙම රාජකීය අවමංගල්‍යෝත්සවයේ දී අනුගමනය කෙරෙනු ඇත.එනිසා මෙය ලෝක ඉතිහාසයේ වැඩිම අවධානයට ලක් වන අවමඟුලක් ද වනු ඇත.මේ අතර දෙවන එලිසබෙත් රැජින ගේ අභාවයෙන් පසුව බ්‍රිතාන්‍යයේ රජු ලෙස චාල්ස් කුමරු අභිෂේක ගැන්වෙනු ඇත.එක්සත් රාජධානි ඉතිහාසයේ දීර්ඝතම කාලයක් කිරුළු දැරූ රාජකීයයා ලෙස ද දෙවන එලිසබෙත් රැජින වාර්තා ගත වී තිබේ.පසුගිය බ්‍රහස්පතින්දා උදෑසන ඇගේ සෞඛ්‍ය තත්ත්වය ගැන විමසිලිමත් වීමත් සමග ඇගේ පවුලේ සාමාජිකයෝ ස්කොට්ලන්ත වතුයායේ වූ මාලිගයෙහි රැස් වූහ. 1926 අප්‍රියෙල් 21 වන දා උපත ලැබ වයස අවුරුදු විසි හයේ දී 1952 දී සිංහාසනයට පැමිණි රැජින, ඇයගේ ධුර කාලය තුළ පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍යයන් තුළ සුවිසල් වෙනසක් ඇති වූ බව ලෝක දේශපාලනමය නිරීක්ෂණ මඟින් තහවුරු වී තිබේ.

රැජිනගේ අභාවය පිළිබඳව බකිංහැම් මාලිගය නිල වශයෙන් ප්‍රකාශ කොට සිටියේ, “රැජින අද පස්වරුවේ බැල්මොරල්හිදී ශාන්ත ලේ මිය ගියාය” යනුවෙනි.”රජු සහ බිසව අද සවස බැල්මොරල් හි රැඳී සිටින අතර හෙට නැවත ලන්ඩනයට පැමිණෙනු ඇත.”යනුවෙන් ද එහි දැක්වෙයි. දෙවන එළිසබෙත් රැජින පොදුරාජ්‍ය මණ්ඩලීය ජනපද දහසයක ද, මුහුදෙන් එතෙර යටත් විජිතයන් වලද සාම්ප්‍රදායික රාජ්‍ය නායිකාවයි. නමුදු ඇය වාසය කරනුයේ එක්සත් රාජධානිය තුළයි.එය ‘හිරු නොබසින අධිරාජ්‍යය’ ලෙස සඳහන් වනුයේ ඊට අයත් කිනම් හෝ රටකට හිරු පායා ඇති බැවිනි.ඇය සතුව තිබූ පැරණි රාජධානිය ඇයගේ මුතුන් මිත්තන් විසින් පාලනය කරන ලද, දේශයන් වලින් සමන්විත විය. සිංහාසනයේ වසර 70ක පාලන සමයක් සනිටුහන් කරමින් ප්ලැටිනම් ජුබිලියක් සැමරූ පළමු බ්‍රිතාන්‍ය රාජකීයයා බවට පත්විය.ඒ මෙම වසරේ පෙබරවාරි මාසයේ දීය.

රැජිනගේ රාජ්‍ය සමය 1952 පෙබරවාරි 06 වන දායින් ඇරඹෙන අතර නිල අභිෂේකය 1953 ජුනි 2 සිදු කරන ලදී.චාල්ස් කුමාරයා, (වේල්සයේ කුමරු),ඈන්,ඇන්ඩෲ,එඩ්වඩ් යන දූ පුතුන්ගේ මව වන ඇගේ සම්පූර්ණ නාමය එළිසබෙත් ඇලෙක්සැන්ඩ්‍රා මේරි යනුවෙනි.වර්තමානය වනවිට මෙම දෙපළට දාව මුණුපුරන් අටදෙනෙක් ඇත. අටවැන්නාවූ ජේම්ස්, සෙවර්න් හි විස්කවුන්ට් වරයා උපත ලැබුවේ 2007 දෙසැම්බර් 17, එඩ්වඩ් කුමරු සහ සොෆී කුමරියට දාවය.

එක්සත් රාජධානියට අමතරව ඇය කැනඩාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ජැ‍මෙයිකාව, බර්බඩෝසය, ග්‍රෙනාඩාව, පැපුවා නිව්ගිනියාව, සොලමන් දූපත්, තුවාලූ, ශාන්ත ලුසියා, ශාන්ත වින්ස්ටන් සහ ‍ග්‍රෙනඩ්න්ස්, ඇන්විගුවා සහ බාබුවා, බෙලිසය සහ ශාන්ත කෙට්ස් සහ හෙවිස් යන රටවලද රැජින ලෙස කටයුතු කළාය. එම සෑම රටකම අග්‍රාණ්ඩුකාර තනතුර දරනු ලබන්නේ ඇයගේ නියෝජිතයෙකු විසිනි.මෙම රටවල් 16 පොදු රාජ්‍ය මණ්ඩලීය රාජධානි ලෙස හඳුන්වයි. ඔවුන් සමඟ සම්බන්ධ වූ අනෙකුත් රාජ්‍යවල ජනගහනය මිලියන 129 ඉක්මවයි.1972 මැයි 22 ශ්‍රී ලංකාව ජන රජයක් වන තුරු ඇගේ ආධිපත්‍යය යටතේ පැවතිණ.1954 වසරේ මුල් වරට තම සහකරු වන පිලිප් කුමරු ද සමඟ ශ්‍රී ලංකාවට පැමිණි ඇය1981 වසරේ ඔහු ද සමඟ දෙවන වරටත් ශ්‍රී ලංකාවට පැමිණියා ය.ඇගේ මෙම චාරිකා වල සමරු සටහන් වශයෙන් හැඳින්වෙන ස්ථාන ගණනක් අප රටේ තිබේ.

බ්‍රිතාන්‍ය රාජකීය සම්ප්‍රදායන් වලට අනුව න්‍යායාත්මකව ඇයගේ බලය අති විශාලය. නමුත් ප්‍රායෝගිකව ඇය දේශපාලනමය කටයුතු සඳහා මැදිහත් ව ඇත්තේ කලාතුරකිනි. එක්සත් රාජධානිය තුළදී නම් ඇය තම රජයේ අමාත්‍යවරුන් සමඟ විවිධ සම්බන්ධතා මඟින් රටෙහි අභ්‍යන්තර කටයුතු වලට දායක වී තිබේ.නමුත් නවීන දේශපාලන සංකල්ප මත ඇයගේ සුවිශාල රාජ්‍යයේ විශාල වෙනස්කම් අද වනවිට සිදුවෙමින් පවතී. බොහෝ රාජ්‍යයන් අද බ්‍රිතාන්‍ය පරිපාලනයෙන් අත්මිදී ස්වාධීනව කටයුතු කිරීමට උත්සාහ දරයි. පොදුරාජ්‍ය මණ්ඩලයේ ප්‍රධානියා, එංගලන්ත දේවස්ථානවල ප්‍රධානියා සේම නොමැන්ඩ් හි සිටුවර, මෑන්හි ප්‍රධානියා, ‍ ෆිජිහි ප්‍රධානියා යන තනතුරු ද රැජින දරා ඇත.බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් රැජිනගේ රාජකීය අවමංගල්‍ය පිළිබඳ වැදගත් තොරතුරු රැසක් අපි ඉදිරියේ දී ඔබ වෙත ගෙන එමු.

දමයන්ති ගමගේ

එතෙර - මෙතෙර