මිහිපිට සිටින සෑම කෙනෙකුටම පෝෂණය කිරීම සඳහා අවශ්‍ය ආහාර වලට වඩා වැඩි ප්‍රමාණයක් ලෝකයේ නිෂ්පාදනය කෙරේ.එහෙත්, ලොකයේ මිලියන 828 ක ජනතාවක් තවමත් නිරතුරු කුසගින්නේ සිටිති.මේ සම්බන්ධයෙන් සිතා බැලීමේ දී “මේවා දෙවියන්ට වත් පේන්නෙ නැති හැටි” යනුවෙන් යමකුට සිතෙන්නට පුලුවන.නමුදු ලෝකයේ “මැවුම් කාර” දෙවියකු තබා “කලමණාකාර” දෙවියකු වත් වී නම් මෙම දරුණු අසාධාරණය පිටු දැක ඒ ආහාර නිසි පරිදි බෙදන්නට පෙළඹෙනු ඇත.මේ අතර එම පරම යුතුකම වගකීම සාහසික ලෙස පැහැර හැර ඇති දෙවියන් තම සැමියාට ක්‍රිකට් ජයග්‍රහණ ලබා දුන් බව පසුගිය දිනයෙක එක් ප්‍රසිද්ධ තැනැත්තියක කියා සිටියා ය.ඒ අනුව දෙවියන් පැත්තකට දමා ඊට ඉඳුරාම ප්‍රතිවිරුද්ධ කොට්ඨාශය වන භූතයන් ගැන අවධානය යොමු කළ යුතුයැයි මට සිතිණ.
භූත සහ භූතයා නැතහොත් භූතයන් යන වදන අපට කොතෙකුත් ඇසී තිබේ. එහෙත් මෙම භූත යන්නෙන් හැඳින්වෙන දෙය හෝ දේවල් නිවැරදි ලෙස අර්ථ දැක්විය හැකි පිරිස් අප සමාජයෙන් සොයා ගැනීම අසීරු ය. ඊට පළමු හේතුව මෙම භූත යන වදන බහු අර්ථ ගෙනෙන්නක් වීමය. පසළොස් වැනි සියවසේ ලියැවුණු සද්ධර්ම රත්නාකරයෙහි මෙම භූත යන වදන ඉදිරිපත් කොට ඇත්තේ හටගත්, උපන් යන අරුතිනි. අද ද සිංහල භාෂාවෙහි එන ‘හේතු භූත’ යන වදන යෙදෙනුයේ ද මේ අරුතින්ම ය. මෙම සමස්ත පෘථිවි තලයම පංච මහා භූතයන්ගෙන් සුසැඳී ඇති බව පෙරදිග ධර්ම සාහිත්‍යයන්හි පිළිගැනෙන මතයකි. පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ යනු එම පංච මහා භූතයන් ය. පඨවි හෙවත් ප්‍රථිවි යනු තද ගතියයි. ආපෝ යනු ජලය හෙවත් වැගිරෙනසුලු ගතියයි. තේජෝ යනු උණුසුම සහ ගින්දර හඳුන්වන නමකි. වායෝ යනුවෙන් හැඳින්වෙනුයේ වාතය හෙවත් සුළඟ ය. මෙම පංච මහා භූතයන්ගෙන් පස්වැන්න ආකාශ වන අතර සරලම අරුතට අනුව එහි අදහස වනුයේ හිස් බව ය.
බෞද්ධ සාහිත්‍යයේ ද මෙම භූත යන වදන විවිධ අරුත් පළවන සේ දක්වා තිබේ. බුදු දහමේ අහිංසාව පිළිබඳ විග්රහ කෙරෙන ඛන්ධ පිරිතේ සබ්බේ සත්තා, සබ්බේ පාණා, සබ්බේ භූතා යනුවෙන් කොටස් තුනක් ලෙස දක්වා තිබේ. ඉන් ප්‍රකාශ වනුයේ සියලු සතුන්, සියලු සතුන් සහ ඉපදීමට සිටින සත්වයන් යනුවෙනි. එමෙන්ම අප කවුරුත් දන්නා රතන සූත්‍රයේ ‘යානීධ භූතානි‘ යන්නෙන් මනුෂ්‍යයන් නොවන වෙනත් ජීවී පදාර්ථයක් පිළිබඳ දක්වා තිබේ. එහි ඔවුන් භූමියෙහි හෙවත් පොළොවෙහි සහ අන්තරීක්ෂයේ හෙවත් අහසෙහි වෙසෙන බව ද දක්වා තිබේ. නමුදු ඇතැම් සූත්‍රයක මෙම භූත ශබ්දය ‘පදාර්ථමය’ යන්න හැඟවීම පිණිස ද යොදා තිබේ. ඒ අනුව බුදු සමයට අනුව අපට වටහා ගත හැක්කේ මෙම භූත වදන බහු අර්ථවත් ස්වරූපයකින් දක්වා ඇති බවකි.
නමුදු බුදු දහම ලොව පහළ වීමට පෙරාතුව මෙලොව පහළ වූ බව පැවසෙන ආයුර්වේදය තුළ ඊට වඩා ඒකීය විග්‍රහයක් දක්නට තිබේ. සමස්ත ආයුර්වේදයම අෂ්ඨාංගය ලෙස කොටස් අටකට බෙදා වෙන් කොට ඇති අතර එහි සිව්වැන්න භූත විද්‍යාව ලෙස හැඳින්විය හැක.
පැරණි ආයුර්වේද ඉගැන්වීම් අනුව මිනිසාට වැළඳෙන රෝග පීඩා ඇතුළු වෙනයම් අහිතකර බලපෑම් ජෛවමය, පාරිසරික, චර්යාමය ආදී හේතූන් මත රඳා පවතී. එම රෝග පීඩා සඳහා ඒ කිසිදු හේතුවක් බල නොපවත්නා විට එය භූතමය පදාර්ථයක බලපෑමක් නිසා හට ගත් එකක් ද යන්න සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙස ආයුර්වේදය අවධාරණය කරයි.
අප බොහෝ දෙනකු භූත විද්‍යාව යනුවෙන් හඳුන්වනුයේ මිනිසුන්ට අමනුෂ්‍ය බලපෑම් එල්ල වීම පිළිබඳ තත්ත්වයන් පමණි. එහෙත් මිනිසුන් කෙරෙහි එල්ල වන යක්ෂ, ප්‍රේත, පිසාච, කුම්භාණ්ඩ ආදී අමනුෂ්‍ය ගණයා වෙතින් එල්ල වන දෝෂ තත්ත්වයන් සේම ඇස්වහ, කටවහ, හෝවහ, අණවින, හදි හූනියම් දෝෂ, රවි, සඳු, කුජ, බුධ, ගුරු, කිවි, ශනි, රාහු, කේතු ආදී නවග්‍රහයන්ගෙන් එල්ල වන අපල සේම කල් කර්ම සහ අකල් කර්ම නිසා හට ගන්නා රෝග සඳහා කරනු ලබන පිළියම් භූත චිකිත්සාව ලෙස සැලකෙයි. මේ සම්බන්ධ විවරණයක් සිරි ලියනගේ සූරීන් විසින් සම්පාදනය කරන ලද ජනශ්රැති ශබ්දකෝෂයේ ද දක්වා තිබේ.ඒ අනුව භූත චිකිත්සාව යනු එක්තරා මනෝ චිකිත්සක ක්‍රමයක් ද වෙයි.
මේ හැරුණු කොට අප ජන සම්මතයේ එන අමනුෂ්‍යයන් පොදුවේ හැඳින්වීම පිණිස ද ‘භූත’ යන නම යෙදෙයි. මොවුන් ‘අරෝධ’ නම් ප්‍රබල සෙන්පතියකු යටතේ පෙළගැසී සිටින සේනාවකැයි ද කියති. මේ යක්ෂ සේනාවේ ප්‍රධානියා වෛශ්‍රවණ හෙවත් වෙසමුණි ය. නමුදු භූත උපද්‍රව සම්බන්ධව සිදු කෙරෙන බලි, තොවිල්, ශාන්තිකර්මවල දී වෙසමුණිගේ නාමය පිළිබඳව මිස ‘අරෝධ’ ගේ නාමය සඳහන් නොවේ. ඊට හේතුව මම නොදනිමි.
අප සමාජයේ භූත නාමය මෙතරම් ප්‍රචලිත වීමට තවත් හේතුවක් තිබේ. එනම් හඳුනාගත නොහැකි අමනුෂ්‍යයන් සම්බන්ධයෙන් ද මෙම භූත නාමය ව්‍යවහාර වීම ය. කිසියම් පුද්ගලයකුට හෝ ස්ථානයකට යක්ෂ, ප්‍රේත, පිසාච, කුම්භාණඩ බලපෑමක් එල්ල වූ විට ඒ බලපෑම කුමක්ද? යන්න හරිහැටි අනාවරණය නොවීම මත එය භූත බලෑමක් කියා හඳුන්වයි. එහි ද එතරම් වරදක් ඇති බවක් නොහැඟෙයි.
යම් පුද්ගලයකු හට මෙම භූත විද්‍යාවේ පිහිට අවශ්‍ය ද යන්න තීරණය කිරීම ඉතා සීරු මාරුවට කළ යුතු යැයි ද කියනු ලැබේ. එහි දී ඒ තැනැත්තාගේ ජන්ම පත්‍ර පරීක්ෂාව ද සිදු කළ යුතු බව පැවසෙයි. ජන්ම පත්‍රවල සඳහන් දේව, මනුෂ්‍ය, රාක්ෂ යන ගණ අතරින් ඇතැම් ගණයන්ට අයත් වූවන්ට භූත චිකිත්සාව නොගැළපෙන බවට පාර්ශ්වීය මතයක් තිබේ.
එහෙත්, ඒ සඳහා ඉවහල් වන සිද්ධාන්ත සොයා ගැනීමට අපට නොහැකි විය. නමුත් ඉහත සඳහන් දේව, මනුෂ්‍ය, රාක්ෂ යන ගණවලට අයත් පිරිස් අතුරින් එක් එක් ගණය හිමි තැනැත්තා වෙත එල්ල වන භූත බලපෑම් විවිධාකාර බව ඇතැම් ජ්‍යොතිෂ ගුරුකුලයන් මගින් විස්තර කෙරේ.
මේ සියලුම තත්ත්වයන් විමසා බැලීමේ දී ඉතා පැහැදිලිවම කිව යුතු දෙයක් ද තිබේ. එනම් යමකු තුළ මනුෂ්‍යත්වය උත්තරීතර තලයට පැමිණීමට සාපේක්ෂව ඒ තැනැත්තා වෙත එල්ල වන භූත බලපෑම් අව ප්‍රමාණ වන බවයි. කාශ්‍යප බුදුන්ගේ කාලයටත් පෙර මෙලොව පහළ වූ දස ඍෂිවරුන් මතු බුදු වන බුදුවරුන් මේ සියලු බල ශක්තීන් ඉක්මවා මනුෂ්‍යත්වය ලොව ඉහළම තැනකට ඔසවා තබන බව ප්‍රකාශ කොට තිබේ. ඒ අනුව අදත් මෙම දස ඍෂීන් පෙරදිග මතය අනුව අනාගත වක්තෘවරුන් සේ පිළිගැනෙති. එහෙත් ඒ බුදුවරුන්ගේ දහම පසුව කෙමෙන් පිරිහී යාමත් සමග ලෝකයේ අමනුෂ්‍ය බලය මනුෂ්‍ය බලය ඉක්මවා ඉස්මතු වන බවත් එවිට සමස්ත ලෝකයම කයින් හා මනැසින් රෝගී වී එය ලෝක විනාශය තෙක්ම ඉදිරියට යන ක්‍රියාවලියක් බවත් එම දස ඍෂීන් අවධාරණය කොට ඇති බව ද මෙහි දී කිව යුතුමය.මගේ පෞද්ගලික මතය අනුව එය මනුෂ්‍යත්වයේ බිඳ වැටීමක් පිළිබඳ දාර්ශනික විග්රහයකි.
තිලක් සේනාසිංහ