කවිය යනු හුදු රසාස්වාදන මාධ්‍යයක් සේම ජනතාවගේ ජීවිත පරිඥානය මුවහත් කරන බුද්ධිමය ආමන්ත්‍රණයක් ද වන බවට නිදසුන් වශයෙන් ගත හැකි කාව්‍ය නිර්මාණ බොහොමයකි.දෙවියන් විසින් මිනිසුන් මැවීම නම් වන කල්පිතය කෙසේ වෙතත් මිනිසුන් විසින් දෙවියන් මැවූ බවත් ඔවුන් විසින් එසේ මවන ලද දෙවියන් කාලීන සමාජ ආර්ථික සංස්කෘතික සාධක මත මිනිසුන් විසින්ම නසා දමන බවත් ඒ සම්බන්ධ යථාර්ථය වී තිබේ.”කදිර දිව්‍ය රාජ වළප” නම් වන මෙම පද්‍ය රචනය වත්මන් සමාජ සාධක පදනම් ව සාම්ප්‍රදායික ජන විශ්වාසයනට මරු පහර වැදීමක් සම්බන්ධ තියුණු විමසුමකට මුල පුරන්නකි.මෙම පද්‍ය රචනය අප හමුවට ගෙනා කවියා විපුල හේවා වලිමුනි මෙරට කාව්‍ය රසිකයනට අමුත්තෙක් නොවේ.මාතර දිස්ත්‍රික්කයේ හක්මන,නරවැල්පිට නම් පිටිසර ග්‍රාමයේ උපන් විපුල හේවා වලිමුනි ,තම මූලික අධ්‍යාපනය ගමේ පාසලෙන් ලබාගැනීමෙන් අනතුරුව උසස් අධ්‍යාපනය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් විය.විශ්වවිද්‍යාලයීය සමයේ දී දිවයිනේ බොහෝ පුවත්පත් ,සඟරා ,වාර ප්‍රකාශන ආදියට විවිධ නිර්මාණ ඉදිරිපත් කරමින් ද,විශ්වවිද්‍යාලය තුළ සාහිත්‍ය කලා ප්රබෝධයක් ඇතිකිරීමේ පෙරගමන් කරුවකු වෙමින් ද පද්‍ය නිර්මාණ පත්‍රිකා සංස්කරණය කරමින් ද කටයුතු කළේය. පද්‍ය නිර්මාණ කෘති පහක් සහ කෙටිකතා සංග්‍රහයක් ප්‍රකාශයට පත්කර ඇති අතර සම්මාන ලාභී සාහිත්‍යවේදියෙකු ලෙස නමක් දිනාගෙන ඇත.දැන් අපි .”කදිර දිව්‍ය රාජ වළප” පැදි පෙළෙහි රසය සේම හරය ද විමසා බලමු.
කදිර දිව්‍යරාජ වළප
කුඩු විකුණාලා කාසි සොයඤ්ඤයි
කාසි පුදා රන් තලි අරගඤ්ඤයි
එරන්තලිය දෙවොලට ගෙන එඤ්ඤයි
පිරිපත නැසුමට මට පුද දෙඤ්ඤයි.
දෙවියා මැවූයේ කපුවා විසින් කියා
කපුවා රන් තලිය හොරකම් කරන් ගියා
මහ තෙද බලැයි කීවද මට තෙදක් තියා
විලිලැජ්ජාව වත් මට නැතිවෙලා ගියා.
රජ ගෙයි ධනය රජු සොරකම් කළ සන්දා
මගෙ රන් තලිය ගෙන මට ගෙනදුන් නින්දා
සොරකම රටේ රජකම වීඇති සන්දා
මෙහෙව් රටක දෙවියෙක් වූයේ මන්දා.
අනේ මිනිසුනේ මට වන් වියෝයා
මගේ තලිය කපුවා ගෙන ගියෝයා
බොරු දෙවියා ඒ මොහොතෙම මළෝයා
හරක් ඇවිත් තාමත් මට පුදායා
විපුල හේවා වලිමුනි