දේපල විනාශ කිරීමට වඩා නුවණට හුරු වැඩක් මෙන්න!

ගිනි තබා විනාශ කළ නිවාස රජයේ වියදමෙන් ඉදි කර දෙන්නැයි බලවත් ඉල්ලීමකි.සමහරු අඬති.දුක්ගැනවිලි කියති.මේ සෑම ඉදිකිරීමක් පිටුපස ම මහා ශ්‍රමයක් ඇත.ධනය ආයෝජනය කිරීමක් පවතී.ඇතැමුන් තම නිවාස ඉදිකරගෙන ඇත්තේ දුක සේ සාධාරණ ව උපයාගත් ධනයෙනි.

සමහරුන්ට එය පරම්පරාවෙන් ලද උරුමයකි.තවත් අයෙක් දූෂණයෙන් වංචාවෙන් උපයාගත් ධනයෙන් හිතන්නටත් බැරි තරම් මාලිගා තනති.හිඟන්නෙකු මෙන් ප්‍රාදේශීය සභාවට,නගර සභාවට,පළාත් සභාවට,පාර්ලිමේන්තුවට තේරී පත් වී කෙටි කලකින් සුවිසල් මන්දිර තනන්නෝ ද වෙත්.මේ වනාහී මහජනයාගෙන් සොරාගත් ධනයයි.නිවාස හා දේපල වැනසීම,ගිනි තැබීම අපරාධයකි.එයට අනුබල දිය යුතු නැත.එහෙත් අසාධාරණයට එරෙහි වන ජනතා සිත්හි සාධාරණ තරහක් පවතී.

“මුන් අපෙන් හොරා කාපු සල්ලිවලින් හදපු මන්දිර”
ඒ තමයි හැඟීම.ඒ නිසා ලද අවසරයෙන් පහර දෙති.කොල්ල කති.ඒ නාටකය අපි දුටුවෙමු.මෙහිදී සිහි නුවණින් ඇත්ත ඇති සැටියෙන් දකිමු.
වත්කම් හා බැරකම් නීතිය මහජන නියෝජිතයන් ඇතුළු පාර්ශ්ව ගණනාවකට අදාල ය.පූර්ණකාලීන ජනමාධ්‍යවේදියකු හැටියට කටයුතු කළ සමයෙහි මම ද වත්කම් බැරකම් පෝරමය පුරවා බාර දී ඇත්තෙමි.

වත්කම් බැරකම් නීතිය නොසලකා කටයුතු කරන ඇතැම්හු ද මහජන නියෝජිතයන්ගේ දේපල සංහාරය අනුමත කරති.එය උත්ප්‍රාස ජනක ය.

ගිනිතැබීම හා එය අනුමත කිරීමට පෙර කළ යුතු වගකීමක් ඇත.එනම් වත්කම් හා බැරකම් ප්‍රකාශ කළ යුතු අය ඒ වගකීම ඉටු කිරීම ය.නොකරන අයට බල කිරීම ය.

දෙවැන්න අතිශයින් වැදගත් ය.එනම් අයථා අයුරින් දේපල උපයා ඇති බව හැඟේ නම් සෑහීමකට පත් විය හැකි ආකාරයෙන් තොරතුරු සපයාගෙන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කිරීම ය.

පළාත් පාලන ආයතනය හෝ පාර්ලිමේන්තුව මගින් ලබන වැටුපෙන් කළ නොහැකි විස්මකර්ම ඉදිකිරීමක් හෝ දේපල මිලදී ගැනීමක් සම්බන්ධ ව තමාට සැකයක් තිබේ නම් අසවල් කාලය තුළ අසවල් වැටුපක් ලැබූ පුද්ගලයා මේසා ධනයක් උපයා ගත්තේ කෙසේ දැයි පරීක්ෂණයක් කරන මෙන් ඉල්ලා සිටිය හැකි ය.

දේපල විනාශ කිරීමට වඩා එය ප්‍රඥාගෝචර ය.අපි එතනින් පටන් ගමු.

විනාශ කළ නිවාස රජයෙන් ඉදිකර දීම යනු මහජන මුදලින් නැවත ඉදිකිරීම ය.ඒ වනාහී දෙවතාවක් ම මහජන මුදල් කොල්ලකෑමකි.එය අපරාධයකි.සාධාරණ සැකයක් ඇති තැන් විමසා බලා පැමිණිලි කිරීම අරඹමු.එය තමන්ගේ ගම්පළාතෙන් ම ආරම්භ කරමු!

තිඹිරියාගම බණ්ඩාර

එතෙර - මෙතෙර