තමිල්නාඩු ප්‍රාන්තයේ සාලෙම් දිස්ත්‍රික්කයේ පෙරියෙරි ගම්මානයේ පිහිටි තලෙයිවෙට්ටි මුනියප්පන් කෝවිලේ තබා ඇති ග්‍රාමීය දෙවියෙකු වූ තලවෙට්ටි මුනිඅප්පන් දෙවියන් ලෙස දක්වමින් වන්දනාමාන කරන ලද ප්‍රතිමාව දේව ප්‍රතිමාවක් නොවන බවටත් එය බුද්ධ ප්‍රතිමාවක් බවටත් අනාවරණය වීමත් සමඟ එහි පාලනය සියතට ගන්නා ලෙස මදුරාසි මහාධිකරණය විසින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.
මදුරාසි මහාධිකරණය, මෑත කාලීන නියෝගයකින් එහි පූජා සහ අනෙකුත් හින්දු චාරිත්‍ර වාරිත්‍ර තහනම් කර ඇති අතර, එකී දේවාල භූමිය තුළ බුද්ධ ප්‍ර තිමාව දැක්වෙන පුවරුවක් සවි කරන ලෙස හින්දු ආගමික සහ පුණ්‍යායතන දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ. මේ ආකාරයෙන් තරමක් අසාමාන්‍ය නියෝගයක් නිකුත් වූයේ අධිකරණය විසින් මෙහෙයවන ලද පුරාවිද්‍යා පරීක්ෂණයකින් පසු තලවෙට්ටි මුනිඅප්පන් දෙවියන්ගේ ප්‍රතිමාව යනු බුදු රජාණන් වහන්සේගේ ප්‍රතිමාවක් බව තහවුරු වීමත් සමගිනි.
තලවෙට්ටි මුනියප්පන් කෝවිල බෞද්ධ පුදබිමක් බව පවසමින් 2011 වසරේ සාලෙම් හි පිහිටි පී රංගනාදන් සහ බුද්ධ භාරය විසින් මෙම නඩුව පවරා තිබිණි.
ප්‍රතිමාවේ අනන්‍යව සහ පෞරාණිකත්වය සොයා බැලීම සඳහා ඉන්දීය පුරාවිද්‍යා සමීක්ෂණ ආයතනයට (ASI) යොමු කරන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා තිබුණි. එකී ආයතනවල සමීක්ෂණ කටයුතු අවසන් වීමෙන් පසු 2017 නොවැම්බර් 20 දින අධිකරණය තමිල්නාඩු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට නියෝග කළේ කෝවිල පරීක්ෂා කර අවසන් වාර්තාව ගොනු කර අධිකරණයට වාර්තා කරන ලෙසයි.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සිය වාර්තාවේ සඳහන් කර ඇත්තේ පවතින පුරාවිද්‍යාත්මක හා ඓතිහාසික සාක්ෂි පරීක්ෂා කිරීමෙන් අනතුරුව එම ප්‍රතිමාවේ බුදුන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණ කිහිපයක් නිරූපණය කර ඇති බවට සාක්ෂි සොයාගත් බවයි. “ප්‍රතිමාව තද ගලින් නිමවා තිබුණි. නෙළුම් පීඨයක් මත ‘අර්ධ පද්මාසන’ නමින් හැඳින්වෙන හිඳගත් ඉරියව්වෙන් එය නිරූපිත විය. ධ්‍යාන මුද්‍රාවෙන් දෑත් තබා ඇත. එම රූපය සගති විය. හිසෙහි බුදුන්ගේ ලක්ෂණ දක්වයි. රැලි සහිත හිසකෙස් සහ දිගටි කන් පෙති, නළලේ ඌර්ණය ආදිය දෘෂ්‍යමානය” යනුවෙන් අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් විය.
බුද්ධ ප්රතාමාවකට හින්දු යාඥාවන් දිගටම පැවැත්වීම බුදු දහමේ මූල ධර්මවලට පටහැනිය. මේ නිසාම එම වාර්තාව පදනම් කර ගනිමින් එම ප්‍රතිමාව බුදු රජාණන් වහන්සේගේ බවට තීන්දු කළ අධිකරණය එය තලෙයිවෙට්ටි මුනිඅප්පන්ගේ ප්‍රතිමාවක් ලෙස සැලකීම බුදු දහමට පටහැනි ක්‍රියාවක් බවද ප්‍රකාශ කළේය. “ප්‍රතිමාව බුදුන්වහන්සේගේ බවට නිගමනයකට පැමිණීමෙන් පසු වැරදි අනන්‍යතාවය දිගටම පැවතීමට ඉඩ දිය නොහැක. එය සලකා බැලීමේදී මුල් තත්ත්වය යථා තත්ත්වයට පත් කළ යුතු අතර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට මෙකී මූර්තිය තලෙයිවෙට්ටි ලෙස දිගටම සැලකීමට අවසර නොදිය යුතුය. එය බුද්ධාගමේ මූල ධර්මවලට පටහැනි වනු ඇත” අගෝස්තු පළමුවන දින නිකුත් කරන ලද ජූලි 19 දිනැති නියෝගයෙන් අධිකරණය ප්‍රකාශ කළේය.
ටයිම්ස් ඔෆ් ඉන්ඩියා හි වාර්තාවකට අනුව, මෙම ස්ථානය සැලකිය යුතු කාලයක් පූජනීය ස්ථානයක් වූ බැවින් අධිකරණය මහජනතාවට එම ස්ථානයට නොකඩවා පැමිණීමට අවසර දී ඇති අතර, හින්දු යාඥාවන් සහ චාරිත්‍ර වාරිත්‍ර එම ස්ථානයේ සිදු කිරීම සම්පූර්ණයෙන්ම නතර කරන ලෙසත්, බුදු දහමේ එන වත් පිළිවෙත් සහ පුද පූජා පමණක් එහි සිදු කරන ලෙසත් මහාධිකරණ විනිසුරු ආනන්ද් වෙන්කටේෂ් වැඩිදුරටත් නියෝග කොට තිබේ.
ගණනාවක් ග්‍රාමීය දෙවියෙකු ලෙස පුදපූජා ලැබූ දේව ප්‍රතිමාවක්, හදිසියේම ලැබුණු පැමිණිල්ලකට අනුව තවත් වසර 10 කට වැඩි කාලයක් ගැඹුරු සමීක්ෂණයකට භාජනය කරමින්, පූර්ණ දත්ත වාර්තාවක් ලබාගෙන, අවසානයේ දේව ප්‍රතිමාව බුදු රජාණන් වහන්සේගේ ප්‍රතිමාවක් බවට තහවුරු වී, දේව පුදපූජා සියල්ල බෞද්ධ බෝධිපූජා ලෙස වෙනස් වූ ලෝකයේ පළමු සහ එකම අවස්ථාව ලෙස මෙය ඉතිහාස ගත වේ. එමෙන්ම දේව ප්‍රතිමාවක් සම්බන්ධයෙන් මෙවන් ඓතිහාසික තීන්දුවක් ලබා දුන් ලොව එකම මහාධිකරණය ඉන්දීය මහාධිකරණය ලෙස ද, එකී තීන්දුව ලබා දුන් විනිසුරු ආනන්ද් වෙන්කටේෂ් ද ඉතිහාසගත වී තිබේ.
දුලංජලී මුතුවාඩිගේ