අප රටේ පවත්නා දේව ඇදහීම් සම්බන්ධ ප්‍රධානතම අභිචාර විධි දෙකක් වන්නේ පොල් ගැසීම සහ ගිනි පෑගීමය.එහෙත් මෙම අභිචාර විධි අප සමාජයට උරුම වූයේ කෙසේද යන්න බොහෝ දෙනෙක් නොදනිති.මේ ඒ සම්බන්ධ සැඟවුණු පුරාවෘත්තයයි.
මිනිසුන් අතර සේම දෙවිවරුන් අතරේ ද උස් පහත් භේද දක්නට ලැබේ. මූලික වශයෙන් අල්පේශාක්‍ය, මහේශාක්‍ය ලෙස දෙවිවරුන් කොටස් දෙකකට බෙදා වෙන් කළ හැකි වුව ද දේව ගණයටම අයත් ඊටත් වඩා පහත් යැයි සැලකෙන දේව සමූහයන් පිළිබඳව ද නොයෙකුත් තොරතුරු සඳහන්ය. ‘කුරුම්බර’ යනු එසේ දේව ගණයටම අයත් වුව ද දෙවිවරුන්ගේ සේවක කාරකාදීන් වශයෙන් සැලකිය හැකි අමනුෂ්‍ය කොට්ඨාසයකි.
අපගේ ජන සම්මතයට අනුව කුරුම්බරයන් දොළොස් කොටසකි. ඒ කළු හෙවත් අලුත් කුරුම්බර, චන්දන කුරුම්බර, එර්දි කුරුම්බර, රීරි කුරුම්බර, මල් කුරුම්බර, වඩිග කුරුම්බර, ගොපළු කුරුම්බර, දෙවොල් කුරුම්බර, දළ කුරුම්බර, ගිනි කුරුම්බර, සැඩ කුරුම්බර යනුවෙනි. ඉහත සඳහන් නම් අනුව අපට ඉතා හොඳින් පැහැදිලි වන කරුණක් තිබේ. එනම් මෙම කුරුම්බරයන් එක් එක් දෙවිවරුන් සමීපයේ ඉටු කරන ලද රාජකාරිවල ස්වභාවය අනුව ඔවුන්ට ඒ නම් ලැබී ඇති බව ය.
මෙම කුරුම්බර නාමය හා සබැඳි ප්‍රධාන දෙවි කෙනෙක් අප රටේ වැඩ සිටී. ඒ හික්කඩුවේ සීනිගම දේවාලය ප්‍රධාන කොටගත් දේවාල රැසකට අධිගෘහිත දෙවොල් දෙවියෝ ය. දෙවොල් පටුන ආදී ජන කාව්‍යයන්හි සඳහන් අන්දමට මෙම දෙවොල් දෙවියන්ගේ ශ්‍රී ලංකා සම්ප්‍රාප්තිය සිදු වනුයේ නැවකින් මුහුදේ ගමන් කරමින් සිටිය දී ඒ නැව කුණාටුවකට හසු වී අනතුරට පත් වීමත් සමගිනි. පසුව දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් අප රට තුළට පිවිසීමට වෙර දැරූ උත්සාහයන් ව්‍යර්ථ වූ පසුව එතුමන් තම ‘කුරුම්බර’ සෙනග ද සමග සීනිගම් වෙරළට ගොඩබට බව පැරණි මූලාශ්‍ර රාශියකම සඳහන් ය. එමෙන්ම එම ජන කාව්‍යයන්හි සඳහන් වන අන්දමට මොවුන් දෙවොල් දෙවියන්ගේ කුලී හේවායන් පිරිසක් බව ද පෙනේ.
දේව ගණයේම කොටසක් වුව ද මෙම කුරුම්බරයන් සම්බන්ධ විශේෂිත ලක්ෂණ ද තිබේ. එනම් මොවුන් ගීත ගායනයට, වාදනය සහ සංගීතයට ප්‍රිය කරන විනෝදකාමී දේව කොටසක් වීම ය. ඇදුම් ආයිත්තම් වලින් සංකර බවක් පළ කරන මොවුන් ලිංගික හැසිරීම් ප්‍රිය කරන බව ද පැවසෙයි.
දෙවොල් මඩු ශාන්තිකර්මයේ දී මෙම කුරුම්බරයන් සම්බන්ධ නොයෙකුත් ආචාර විධි සිදු කෙරෙන අතර ඔවුනට ‘දොළ පිදේනි’ මිස පූජා වට්ටි නොතැබීම ද විශේෂත්වයකි. මේ කුරුම්බර සෙනඟ අතුරින් ගිනි කුරුම්බරයන් ප්‍රධාන තැනට පත් වන අතර දෙවොල් දෙවියන් සම්බන්ධයෙන් ආරම්භ වූ ගිනි පෑගීමේ චාරිත්‍රයේ දී මුලින්ම ගිනි පාගන ලද්දේ මෙම කුරුම්බරයන් විසින් බවට තොරතුරු තිබේ. දෙවොල් දෙවියන්ගේ ලංකාගමනය පිළිබඳ මූලාශ්‍ර කිහිපයකම සඳහන් වන අන්දමට ඒ වන විට අප රටේ බලය තහවුරු කරගෙන සිටි පත්තිනි දේවිය ඉන්දියාවේ චේර දේශයෙන් පැමිණි මේ ආගන්තුකයන් පිරිසට අප රටට ගොඩ බැසීමට ඉඩ දී නැත.
එහෙත්, පසුව එතුමිය දෙවොල් දෙවියන් ඇතුළු පිරිසට දැවැන්ත අභියෝගයක් කොට තිබේ. එනම් තමන් දිවයින අවට වෙරළේ ගිනිමැළ හතක් අවුළුවන බවත් හැකි නම් ඒ ගිනිමැළ හතම තරණය කොට ගොඩබිමට පැමිණෙන ලෙසත් ය. මෙහි දී දෙවොල් දෙවියන් තම කුරුම්බර සේනාව ද සමග එම ගිනිමැළ හතම තරණය කොට සීනිගම වෙරළට සැපත් වීමත් සමග පත්තිනි දේවිය දෙවොල් දෙවියන්ගේ හාස්කම් බලය වටහා ගෙන එතෙක් තමන් වැඩ සිටි හික්කඩුවේ සීනිගම දෙවොල දෙවොල් දෙවියන් ඇතුළු කුරුම්බර සේනාවට භාර දී තම අභිනව වාසස්ථානය ලෙස නවගමුව තෝරා ගත් බව පැරණි මූලාශ්රවල සඳහන් ය.
මේ වන විට කතරගම මුල්කොට ගත් දේවාල රැසක සිදු කෙරෙන ගිනි පෑගීමේ චාරිත්‍රයේ ආරම්භය මෙම සංසිද්ධිය බව පොදු පිළිගැනීමකි. එමෙන්ම අප රටේ දේවාල බොහොමයක සිදු කෙරෙන පොල් ගැසීමේ චාරිත්‍රය ද මෙම කුරුම්බරයන් විසින් අරඹන ලද බවක් පැවසෙයි.
දෙවොල් දෙවියන් ඇතුළු මෙම කුරුම්බර සේනාව පැමිණෙන ලද චේර දේශය වත්මන් කේරළය බව හඳුනාගෙන තිබේ. සමස්ත ඉන්දියාවේම පොල් සඳහා වඩාත් ප්‍රසිද්ධියක් උසුලනුයේ කේරළයයි. ඉන්දියානු පොල් නිෂ්පාදනයෙන් වැඩිම කොටසක් සඳහා දායකත්වය දරන කේරළය ඉන්දියානු පොල් සංවර්ධන මණ්ඩලය පිහිටි රාජ්‍යය ද වෙයි. සංස්කෘත බසින් පොල් හැඳින්වීම පිණිස යෙදෙන නාලිකේර යන නමින්ම කේරළය හැඳින්වෙන අතර අද ද කේරළය ආධ්‍යාත්මික කටයුතු සඳහා පොල් යොදා ගන්නා රටවල් අතරින් ප්‍රධාන තැනක් ගනී.
අපගේ දේශීය සංස්කෘතිය හා සබැඳුණු පොල් ගැසීම, කිරි ඉතිරවීම යන බෞද්ධ චාරිත්‍ර සඳහා මෙන්ම බලි තොවිල් ශාන්තිකර්ම සඳහා පොල් ගෙඩි, පොල් මල් සහ ගොක්කොළ යොදා ගැනීම කේරළ ආභාෂයෙන් අපට හිමි වූ බවට සාක්ෂි බොහොමයකි.
දෙවොල් දෙවියන් ඇදහීමට අමතරව තවත් දේව විශ්වාස මුල්කොට ද මෙම කුරුම්බරයන් පිළිබඳ තොරතුරු අනාවරණය වෙයි. අප රටේ දේශීය වශයෙන් අදහනු ලබන බණ්ඩාරවලියේ දෙවි දේවතාවන් සමීපයේ ද මේ කුරුම්බරයෝ වෙසෙති. කිතගම හිටිබණ්ඩාර නම් ජන ප්‍රධානියාගේ මරණයෙන් කම්පාවට පත්ව ඔහුගේ දැවෙන සොහොනට පැන දිවි නසාගත් ‘තෙල්සිං අච්චිල’ නම් ඇතුන් බලන්නා ද පසුව හිටි බණ්ඩාරයන් සමගම දේවත්වයට පත් වූ බව ඒ සම්බන්ධ තෝල්මුර කවිවල සඳහන් වෙයි. ඒ සම්බන්ධ වැඩි විස්තර එන්.ටී. කරුණාතිලක සූරීන් ගේ ‘දැදුරුඔය බඩ ජන ඇදහිලි’ නම් කෘතියේ සඳහන් වෙයි.
මෙහි දී මෙම දේව කොට්ඨාසය හැඳින්වීම පිණිස යෙදෙන ‘කුරුම්බර’ නාමය ඇතුන් බැලීම මුල්කොට ඇති වූවක් ද යන්න විමසිය යුත්තේ ඇතා හැඳින්වීම පිණිස ද ‘කුරු’ යන නම යෙදෙන බැවිනි.
මේ සියලු තොරතුරු අනාවරණය වන අතරේ දකුණු ඉන්දියාවේ කර්නාටක, කේරළ සහ තමිල්නාඩු යන ප්‍රාන්තවල ජීවත් වන කුරුම්බර් නම් ගෝත්‍රික ජනතාවක් පිළිබඳව ද අසන්නට ලැබේ. කාලවර්ණ සමකින් යුතු ඔවුනටම ආවේණික බසක් කතා කරන මෙම කුරුම්බර් ගෝත්‍රිකයෝ අදටත් විවිධ ජන ප්‍රධානීන් යටතේ මෙහෙකාර සහ කම්කරු වෘත්තීන් හි යෙදෙති. ඒ අනුව පසුකාලීනව අප ජන සමාජයේ කිනම් හෝ ආකාරයකින් දේවත්වයට පත්ව ඇත්තේ පසුව දෙවොල් දෙවියන් ලෙසින් දේවත්වයට පත් වූ පැරණි කේරළ ජන ප්‍රධානියකුගේ කුරුම්බර නමින් හැඳින්වෙන අතවැසියන් පිරිසක් විය නොහැකිද?
තිලක් සේනාසිංහ