දේශපාලඥයන් බොර දියේ මාලු බා ගෝටාගෝගම අරගලයේ ප්‍රතිඵල රටට අහිමි නොකළ යුතු ය

අප රට තුළ මතුව තිබෙන ආර්ථික අර්බුදය මේ වන විට දේශපාලන අර්බුදයක් දක්වා ව්‍යාප්ත වී ඇත. තරුණ පිරිස් වැඩි කොට ආණ්ඩුව ඇමති මණ්ඩලය පවා “පිරිපහදු” කරනු ලැබුවේ ආර්ථික අර්බුදය හමුවේ ජනතාව පාරට බැස්ස නිසා ය. අගමැතිවරයා ඉවත් කර නව අගමැතිවරයෙකුගෙන් යුත් අන්තර්කාලීන ආණ්ඩුවක් සම්බන්ධයෙන් ද මේ වන විට සාකච්ඡා ආරම්භ වී තිබේ.ඒ අනුව අගමැති වරයා කියන අන්දමට ගෝටාගෝගම තරුණ අරගලය හුදු හඬ නැඟීමක් පමණක් නොවේ.මේ වන විටත් ප්‍රතිලාභ හිමි කර ගැනීමට සමත් ව ඇති සමාජ ක්‍රියාන්විතයකි.

නව කැබිනට් මණ්ඩලය ප්‍රථම වතාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් 25 දා පස්වරුවේ රැස්වූ අතර ඊට අගමැති මහින්ද රාජපක්ෂ විසින් ජනාධිපති බලතල අඩු කිරීමේ ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරිපත් කර තිබුණි. කැබිනට් මණ්ඩල අනුමැතිය ඊට හිමි විය. ඊට අමතරව 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ හා 20 වන ව්‍යවස්ථා සංශෝධනයේ සාධනීය කරුණු ඇතුළත් කොට නව ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට අනුකමිටුවක් ද පත් කර තිබේ.

19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් විවේචන තිබුණ ද බහුතරයගේ පිළිගැනීම වූයේ එය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම වෙනුවෙන් ගෙන එනු ලැබූවක් බව ය. මන්ද ජනාධිපතිවරයාගේ අසීමාන්තික බලතල අඩු කොට එම බලය පාර්ලිමේන්තුවට දී තිබුණි. අගමැති රනිල් වික්‍රමසිංහ ගෙන ආ මෙම සංශෝධනයේ අවුල එවක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට දැනුණේ දෙදෙනා අතර මත ගැටුම් හට ගැනීමත් සමඟ ය.

එම නිසා ජනාධිපති බලය කප්පාදු කිරීම වැරදි බව ඔහු කියන්නට වූයේ ඔහු ද පාර්ශවකරුවෙකු වූ 19 වෙනි ව්‍යවස්ථාවට දොස් කියමිනි. අවසානයේ ඔහු අගමැති ධූරය වෙනස් කිරීමට ගත් උත්සාහයත්, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් උත්සාහයත් අධිකරණය නතර කළේ ජනාධිපතිවරයා ව්‍යවස්ථාව උල්ලංඝනය කළ බවට ප්‍රකාශ කරමිනි.

පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වූ මෙම ඓතිහාසික නඩු තීන්දුවෙන් පසු ජනාධිපතිවරයාගේ බලය 19 න් කප්පාදු කිරීම ගැන සමහරු විවේචන එල්ල කරන්නට වූහ. ඒ බොහොමයක් එවක විපක්ෂයේ ක්‍රියාකාරීන් ය. මේ අතර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයට පත්වූ පසුව ඔහුගේ පළමු රාජකාරිය වූයේ විධායක ජනාධිපතිධූරයේ බලතල වැඩි කර ගැනීම ය.එය බොහෝ විට ඔහුගේ සමීපතමයන්ගේ අදහසක් විය යුතු ය.

ඒ අනුව ඔහු 20 වන ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කළ අතර එයින් ජනාධිපතිධූරයේ බලතල 100% කින් ඉහළ නංවා ගත්තේය. 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ද්විත්ව පුරවැසියන්ට මැතිවරණයට ඉදිරිපත් විය නොහැකි බවට වූ වගන්තිය පවා 20 වන සංශෝධනයෙන් ඉවත් කෙරිණ. අගමැතිවරයා ජනපතිගේ”පියන් කෙනෙකු” කරන 20 වන ව්‍යවස්ථා සංශෝධනය අගමැති මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ සිය කනිටු සහෝදරයා විශ්වාස කරමිනි.

20 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් “පියන් කෙනෙකු වූ” අගමැතිවරයා දැන් 19 ය යළි බලාත්මක කිරීමට සුදානම් වීම ද දෛවයේ සරදමකි. මාධ්‍ය වාර්තා කර තිබුණේ යහපාලන ආණ්ඩුවේ අගමැති හා ජනාධිපති අතර ඇතිවූ විරසකයම දැන් ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර ද ඇතිව තිබෙන බවකි. එසේම 19 සංශෝධනයට විරෝධය පළකරමින් සිටි මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට ද මේ වන විට 19 සංශෝධනයේ ගුණ වනන්නට සිදුව තිබේ.

අගමැතිවරයා විසින් යෝජනා කළ ව්‍යවස්ථා සංශෝධනයට කමිටුවක් පත් කිරීමම කල් මැරීමක් යැයි බොහෝ දෙනා අදහස් පළ කරති. ව්‍යවස්ථා සංශෝධන කතා බහ නිර්මාණය වෙද්දී රටේ පවතින ආර්ථික අර්බුදය විසඳීම වෙනුවෙන් අන්තර්වාර පාලනයක් පත් කිරීමට ගෙන යන සාකච්ඡා ද මේ වන විට අසාර්ථක වී තිබේ.

අන්තර්වාර ආණ්ඩුවක් වෙනුවෙන් සමගි ජනබලවේගයේ පාර්ශව හා ආණ්ඩුවේ ස්වාධීන මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම අතර සාකච්ඡාවක් 25 දා ටිරාන් අලස් මන්ත්‍රීවරයාගේ නිවසේදී පැවැත්විණි. එහිදී අන්තර්වාර ආණ්ඩුවේ අගමැති ලෙස ඩලස් අලහප්පෙරුමත්, මුදල් ඇමති ලෙස හර්ෂ ද සිල්වා හෝ ඉරාන් වික්‍රමරත්න පත් කිරීම ඇතුළු එකගතාවයන් රැසකට අවතීර්ණ විය. ස්වාධීන කණ්ඩායම වෙනුවෙන් විමල් වීරවංශ, උදය ගම්මන්පිල, දයාසිරි ජයසේකර යන මන්ත්‍රීවරුන් ඊට සහභාගී වූ අතර ස.ජ.බ වෙනුවෙන් රාජිත සේනාරත්න, රංජිත් මද්දුමබණ්ඩාර හා ඉරාන් වික්‍රමරත්න සහභාගී වී සිටියහ.

දෙපාර්ශවයේ එකඟතාවය මත ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරන බවට තීන්දු වීම නිසා උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා මාධ්‍යයට කීයේ විශ්වාස භංගයට සහායදීමට 120 ක් මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ සිටින බව ය. එම නිසා ආණ්ඩුවට බහුතරය අහිමිවී ඇතැයි ද ඔහු කීවේය. එසේම විශ්වාසභංගයෙන් පසු අන්තර්කාලීන ආණ්ඩුව පිහිටුවීම ගැන ද මන්ත්‍රීවරයා කියා සිටියේය.

එහෙත්, අවසානයේ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස කියා සිටියේ අන්තර්කාලීන ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙකු වීමට තමන් සුදානම් නැති බවය. එසේම අන්තර්වාර ආණ්ඩුවට එකතුවන ලෙස කව්රුන් හෝ බල කරන්නේ නම් තමන් දේශපාලනයෙන් විශ්‍රාම යන බව ද ඔහු කීවේය. ඒ අනුව විශ්වාස භංගය හා අන්තර්කාලීන ආණ්ඩු සාකච්ඡා ප්‍රතිඵල දිය වී ගියේය.

මේ අතර ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමේ සිටින ශ්‍රීලංකා නිදහස් පක්ෂ කණ්ඩායම සුදානම් වන්නේ ආණ්ඩුවට විරුද්ධ විශ්වාස භංගයක් ගෙන ඒමට ය. එම විශ්වාස භංගයට සහාය දෙන නොදෙන අය ගැන ඡන්ද විමසීමේ දී රටටම බලාගත හැකි බව ඔවුහු කියා සිටිති. විශ්වාසභංග යෝජනාවක් ගෙන එන්නේ නම් සජබ ට ද ඊට සහාය නොදී සිටිය නොහැකිවේ.

පවත්නා ආර්ථික අර්බුදය මඟින් පණ පිටින් අපා ගත වන රටේ ජනතාව ගැන නොසිතා දේශපාලකයන් තම තමන් ගේ පෞද්ගලික න්‍යාය පත්‍ර තුළ සිරවී බොරදියේ මාළු බෑමට යාම තුළ ගෝටාගෝගම නොනවතින තරුණ අරගලය කේන්ද්‍ර කර ගත් සකල විධ ජනතා හඬ නැඟීම් වල ප්‍රතිඵල අවප්‍රමාණ වී රට තව දුරටත් අස්ථාවර වීම වැළැක්විය නොහැකිය.

ලසන්ත වීරකුලසූරිය

එතෙර - මෙතෙර