නොයෙකුත් විවේචන මධ්‍යයේ වුවද වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නවීනත්වය කෙරෙහි නැඹුරු මනැසකින් යුතු රාජ්‍ය නායකයකු බව සිතීමට තුඩු දෙන සිදුවීම් එකි`නෙක පෙළ ගැසෙමින් තිබේ.ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය STEAM ජාත්‍යන්තර ප්‍රමිතියට ගැනීම, කෘත්‍රිම බුද්ධිය භාවිතයට ගැනීම සහ ඉංග්‍රීසි රාජ්‍ය භාෂාවක් බවට පත් කරවීම ඒ අතුරින් ප්‍රධාන ය .මේවා සෘජුවම මානව සංවර්ධනයට ඉවහල් වන කරුණු බව පෙනේ.එහෙත්, එහි මූලික පදනම වන මේ මිහිතලය මිනිසුන්ගේත් සතුන් ගේත් පොදු උරුමයක් මිස මිනිසුන් ගේ තනි උරුමයක් නොවේ ය යන ස්වාභාවික යුක්ති ධර්මය මත පදනම් වන සත්ව හිමිකම් රැකදීම කෙරෙහි මෙතෙක් බලයේ සිටි අන් සෑම රාජ්‍ය පාලකයකු මෙන්ම ඔහු ද ප්‍රමාණවත් අවධානයක් යොමු නොකරන බවක් පෙනෙයි.මෙය නූතන ලෝකයේ මානව සංවර්ධනය පිළිබඳ යටිතල පහසුකම් බරපතල ලෙස නොතකා හැරීමකි.
ජනාධිපති වරයා පසෙක සිටිය දී සතුන් ගේ ජීවත් වීමේ මූලික හිමිකම තහවුරු කෙරෙන දැනටත් කෙටුම් පත් කොට ඇති සත්ව හිංසන පනත් කෙටුම්පත ගෙන ඒමට ආණ්ඩුවේ අවධානය යොමු වී නොතිබීම සැමගේ අවධානයට යොමු විය යුත්තකි.ඊට හේතුව මහා පරිමාන මාංශ අලෙවි කරුවන් ඊට විරුද්ධ වීම නිසා යැයි කියනු ලැබේ.නමුත් ලොව ප්‍රධානතම මාංශ අපනයනය කෙරෙන රට වල ද සත්ව හිමිකම් පනත් නීතිගත කොට එම සත්ව ඝාතනයන් පවා ප්‍රමිතිගත කොට තිබේ.අප රටේ දැනට ක්‍රියාත්මක සත්ව ආඥා පනත, සත්ව හිංසා ආඥා පනත හා ගෝ ඝාතක පනත යටතේ විශේෂිත වූ වැරදි හා සම්බන්ධයෙන් පොලිසියට වගකීමක් හා කාර්ය භාරයක් තිබුණ ද ප්‍රමාණවත් ලෙස සත්ව හිංසනය පාලනය හෝ වැළැක්වීමට ඔවුනට හැකි වී නොමැතිවීම ද බරපතළ සංසිද්ධියකි.එමෙන්ම 2024/2007 දරන පොලිස්පති චක්‍ර ලේඛ සහ 15/2007 දරන අපරාධ චක්‍ර ලේඛ මඟින් සත්ව හිංසනයට එරෙහි වැරදි සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් විසින් ගත යුතු නීතිමය ක්‍රියා මාර්ග පැහැදිලිව දක්වා තිබේ.නමුත් අදටත් බලාත්මක ඒ චක්‍රලේඛ මේ වන විට ශ්‍රී ලංකා පොලීසියේ”කුණු මුල්ලට”දමා ඇති බවක් පෙනෙයි.ඒ අතර එම සත්ව හිංසාවන් වැලකීම වෙනුවෙන් නීතිය අකුරරටම ක්‍රියාත්මක කළ නිලධාරියකු දෙදෙනකු ගැන පමණක් අහඹු ලෙස අසන්නට ලැබේ.
සත්ව හිංසාවන් වළකන මෙන්ම නිදහසේ ජීවත් වීම සඳහා සතුන් සතු ස්වභාවික අයිතිය තහවුරු කිරීම පිළිබඳ පැරණි නීති වර්තමානයේ ද බලාත්මක ය. එනම්, 1893 අංක 9 දරන ගෝ ඝාතන ආඥා පනත, 1907 අංක 13 දරන සත්ව හිංසා ආඥා පනත, 1958 අංක 29 දරන සත්ව ආඥා පනත ඒ සඳහා වන නිදසුන් ය.මෙහි පවත්නා බරපතළ ගැටලුව වන්නේ එකී පනත් වරින් වර සංශෝධනය වුව ද ඒවා මඟින් සත්ව හිමිකම් තහවුරු නොවීම ය.
1907 අංක 13 දරන සත්ව හිංසා ආඥා පනත අනුව සත්ව ඝාතනයන් සම්බන්ධයෙන් අධිකරණයක් මගින් පැනවිය හැකි උපරිම දඩ මුදල රුපියල් 100 කි.1907 වර්ෂයට අදාළව එය විශාල මුදලක් ලෙස අර්ථ දැක්විය හැකි වුවද වර්තමානයේ ඉතා සුළු මුදලකි.පසුගිය කාලයේ අහිංසා ශ්‍රී ලංකා සංවිධානය මඟින් අනුරාධපුරයේ සංවිධානය කළ වැඩමුළුවක් ඇමතූ අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නා හිමියන් පවසා සිටියේ ඔය කියන කාලයේ රුපියල් සියයකට අනුරාධපුරයෙන් අක්කර හත අටක ඉඩමක් සින්නක්කරයටම ලියා ගැත හැකි වූ බැවින් වර්තමානයේ එහි වටිනාකම රුපියල් මිලියන ගණනක් බව ය.ඒ අනුව සත්ව හිංසාවන් සම්බන්ධ දඩ මුදල ද කාලානුරූපී ලෙස වෙනස් විය යුතු බවත් සත්ව ඝාතනයන් සම්බන්ධයෙන් අධිකරණයක් මගින් පැනවිය හැකි උපරිම දඩ මුදල රුපියල් ලක්ෂ ගණනක් දක්වා ඉහළ නැංවෙන අන්දමට පනත සංශෝධනය නොවීම බරපතල ගැටළුවක් බවත් උන් වහන්සේ කීහ.
1907 අංක 13 දරන සත්ව හිංසා ආඥා පනතේ දෙවැනි වගන්තිය ප්‍රකාරව කුරුල්ලන්, මත්ස්‍යයන්, උරග වර්ගයේ සතුන් ඇතුළු සියලුම ගෘහස්ථ හා අල්ලාගත් සතුන්ට හිංසාකිරීම තහනම් ය. මෙහිදී සතුන් නිරාහාරව තැබීම, ඔවුන්ව තුවාල වන අයුරින් සිරකර තැබීම, වද හිංසා පැමිණවීම, නොසැලකිලිමත්කම හේතුකොටගෙන සතුන් වේදනාවට පත් කිරීම යනාදිය මෙන්ම අනවශ්‍ය පරිදි වේදනා විඳීමට අවස්ථා සලසා දෙමින් යම් වාහනයකින් රැගෙන යෑම පවා නීතිමය වරදක් වේ.නමුත් මෙම වැරදි සම්බන්ධ නඩු කීයක් මෑත භාගයේ අධිකරණය හමුවේ ගොනු වී තිබේ ද?ඊට අමතරව වර්තමානයේ ව්‍යාපාරයක් මෙන්ම විලාසිතාවක් ලෙස මිල අධික වර්ගයේ සුනඛයන්ගේ වලිගය කපා දැමීම ද 1907 අංක 13 දරන සත්ව හිංසා ආඥා පනත අනුව නීතිමය වරදකි.සතකුගේ වලියය සොබා දහමට වූ “වැරදීමකින්” ඔවුනට ප්‍රදානය කරන ලද්දක් නොවේ.විශේෂයෙන් සුනඛයකුට තම වලිගය ආත්මාරක්ෂාව තහවුරු කරනන ඉන්ද්‍රියක් සේම සන්නිවේදන උපකරණයක් ද වේ.ඊටත් අමතරව යම් යම් භාර කරුවන් විසින් සුනඛාදී සතුන් දින ගණනන් සති ගණන් කොටු කර තැබීම් ආදී සත්ව හිංසනයන් සම්බන්ධ පැමිණිලි ඉදිරිපත් කළ හැකි කෙටි දුරකථන අංක ලොව බොහෝ රට වල දවසේ පැය විසිහතර මුළුල්ලේම ක්‍රියාතමක වන පසුබිමක ඒ රටවල සතුන් වුව අප රටේ සතුනට සාපේක්ෂව කෙතරම් වාසනාවන්ත දැයි අපට සිතෙයි.නමුත් සතුන් සම්බන්ධ හිංසනයන් විවිධාංගීකණය වෙමින් ප්‍රවර්ධනයට ලක් වන වර්තමානයේ අප දියුණු වශයෙන් සළකන නූතන සමාජය ඊට එරෙහි හඬක් නොනඟනුයේ තමන්ට සිදුවන අසාධාරණයන් පිළිබඳව හඬ ගා කීමට සතුන්ටම ප්‍රජාතන්ත්‍රීය ලෙස ඉඩ දෙනු පිණිස දැයි අපි නොදනිමු.
නිවාස අහිමි සුනඛයන්ට නිතිපතා එල්ල වන තාඩන පීඩන යම් ප්‍රමාණයකට අවම කෙරෙමින් 2004 දී නිදැල්ලේ හැසිරෙන සුනඛයින් දුරස්ථව එන්නත් කිරිමට හැකි ආරක්ෂාකාරි නව උපාකරණයක් (Auto vaccinator) හඳුන්වා දෙන ලදි. එමගින් අයාලේ යන සුනඛයින් සාර්ථකව එන්නත් කිරිමට හැකියාව ලැබිණි. මෙම ක්‍රමවේදයන්ගේ ප්‍රතිඵලයක් ලෙස වසර 2005 දී මානව ජලභීතිකා මරණ 55 දක්වා අඩු කර ගැනීමට හැකියාව ලැබිණි.2007 පටන් සුනඛයන් ඝාතනය ප්‍රතිපත්තිමය වශයෙන් රජය මඟින් අත්හිටුවීම ගැහැණු සතුන් සදහා, සැත්කම් කීරීම් මගින් සුනඛ ගහණය පාලනය කිරීමට හැකි විය.එය ප්‍රායෝගික වශයෙන් අත්හදා බලා සාර්ථක ප්‍රතිඵල ලත් දෙයකි.නමුත් අද දක්වාත් එය නිමාවකට පත් නොකරනුයේ අදාල බලධාරීන්ට එය සිඟන්නා ගේ තුවාලයක් වී ඇති නිසා බව ඇතැම්හු කියති.
එහෙත්, සත්ව අහිංසාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීම උදෙසා සිවිල් සමාජයේ නොයෙක් ඉල්ලීම් ඉදිරිපත් වන පසුබිමක අඩුම තරමින් විකල්ප දේශපාලන පක්ෂයක් හෝ කණ්ඩායමක් මඟින් වත් ඒ පිළිබඳ සංවාදයකට මුල පුරා නැත.ඉන් අනියමින් පැවසෙනුයේ මේ මිහිතලය මිනිසුන්ගේත් සතුන් ගේත් පොදු උරුමයක් මිස මිනිසුන් ගේ තනි උරුමයක් නොවේ ය යන ස්වාභාවික යුක්ති ධර්මය ඔවුන් ද නොපිළිගන්නා බවකි.
ඒ අනුව සතුන් ගේ ජීවත් වීම පිළිබඳ ස්වාභාවික අයිතිය පිළිබඳ ශ්‍රී ලංකා දේශපාලනය තුළින් හඬක් මතු කිරීමට නම් සතුන්ට ද ඡන්ද බලය හිමි කර දිය යුතුද? යන්න අපි ජනාධිපති වරයාගේ සිට වත්මන් දේශපාලනයේ නියුතු සෑම පාර්ශවයකින්ම වේදනාත්මකව අසා සිටිමු.
රේණුකා ගමගේ