නගරාධිපතිවරයෙක් කිඹුලියක විවාහ කරගනියි

මනාලයකු සමග නොව තමා සමගම විවාහ වූ ක්‍ෂමා බින්දු නැමැති 24 හැවිරිදි තරුණියක ගැන කතාවක් මෙයට සති කිහිපයකට පෙර ඉන්දියාවෙන් වාර්තා වුණා. එවැනිම තවත් අපූරු විවාහයක් ගැන පුවතක් දින කිහිපයකට පෙර මෙක්සිකෝවෙනුත් වාර්තා වී තිබුණා. මේ අසාමාන්‍ය කතාවෙන් පැවසුණේ එරට එක්තරා නගරයක නගරාධිපතිවරයකු කිඹුලියක සමග විවාහ වී ඇති බවයි. මෙක්සිකෝවේ සැන් පෙද්රෝ හුවමෙලුලා නැමැති කුඩා නගරයක නගරාධිපතිවරයා වන වික්ටර් හියුගෝ සෝසා මේ ආකාරයෙන් විවාහ වී ඇත්තේ වයස අවුරුදු 7 ක කිඹුලියක සමග යි !

කිඹුල් මනාලිය ලස්සන මංගල සාරියකින් සහ තවත් ආයිත්තම්වලින් ද සැරසී සිටිනු දැකිය හැකි වූ අතර විවාහ උත්සවය නැටුම් ගැයුම් වැයුම්වලින් ද අලංකාර වූ බවයි මාධ්‍ය වාර්තා කර තිබුණේ. නගරාධිපති මනාලයා සිය කිඹුල් මනාලිය වෙත ආදරය ප්‍රකාශ කරමින් ඇයගේ මුහුණට හාද්දක් දෙන ආකාරය දැක්වෙන ඡායාරූපයක් මාධ්‍ය තුළ විශාල ජනප්‍රියත්වයක් දිනාගෙන තිබුණා. නමුත් මනාලයාගේ ආරක්‍ෂාව වෙනුවෙන් මනාලියගේ කට තදින් බැඳ තිබෙන ආකාරයත් මෙහි දැකිය හැකියි.

මෙම විවාහය සිදුව තිබුණේ මෙක්සිකෝවේ ඉපැරණි සම්ප්‍රදායකට අනුව යි. එරට වහාක නැමැති ප්‍රදේශයේ ජීවත් වන චොන්තාල් සහ හුවාවේ නැමැති ජන වර්ගයන් අතර සියවස් ගණනක සිට මෙම සම්ප්‍රදාය පැවතෙන බව සඳහන්. වහාකා ප්‍රාන්තය දිළිඳු ජනයා ජීවත්වන ප්‍රාන්තයක් වන නමුත් ඔවුන් සිය ස්වදේශීය භාෂා සහ සම්ප්‍රදායන් රැක ගැනීමට විශාල උනන්දුවක් දක්වන පිරිසක් ලෙස සැලකෙනවා. විවිධ ජනවර්ග රැසක් මෙහි වාසය කරන බවත් සඳහන්.

චොන්තාල් සහ හුවාවේ ජනයා මෙවැනි විවාහයන් සිදු කරන්නේ වර්ෂාව, ආහාර සහ මත්ස්‍ය සම්පත වැනි දේ ප්‍රාර්ථනා කරමිනුයි. ‘අපට ප්‍රමාණවත් තරම් වර්ෂාව, ආහාර සහ මත්ස්‍ය සම්පත ලබා දෙන ලෙස මේ හරහා අපි සොබා දහමෙන් ඉල්ලා සිටිනවා’ ධීවර කර්මාන්තය මත යැපෙන සැන් පෙද්රෝ හුවමෙලුලා නගරයේ නගරාධිපති සෝසා මාධ්‍ය සමග පවසා තිබුණා. මෙවැනි කිඹුල් මනාලියන් හැඳින්වෙන්නේ ‘පුංචි කුමාරියන්’ යන නමිනුයි. ඇය මිහිකත නියෝජනය කරන දේවතාවියක් හැටියටයි සැලකෙන්නේ. ප්‍රදේශයේ නායකයා සහ කිඹුලිය අතර විවාහය සැලකෙන්නේ මිනිස් වර්ගයා සහ දේවත්වය අතර එක්වීමක් හැටියට යි.

විවාහ උත්සවය අතරතුර ට්‍රම්පට් සහ බෙර වැයෙද්දී නගරවාසීන් කිඹුල් මනාලිය වඩාගෙන වීදි සංචාරය කර තිබුණා. පිරිමින් සිය හිස්වැසුම්වලින් ඇයට පවන් සලමින් ගිය බවත් පැවසෙනවා. ‘මට විශාල සතුටක් දැනෙනවා. මගේ ජනවර්ගයේ මූලයන් පිළිබඳව මට මහත් ආඩම්බරයක් දැනෙනවා’ එසේ පවසා තිබුණේ මෙම උත්සවය සංවිධානය කිරීම භාරව සිටි එලියා එඩිත් ඇගිලර් නැමැති කාන්තාවයි. ‘මෙය ඉතාම සුන්දර අපූරු සම්ප්‍රදායක්’ ඇය තවදුරටත් පවසා තිබුණා.

නගරාධිපති සෝසා සහ කිඹුලිය අතර විවාහය සිදු වුණේ සම්ප්‍රදායක් ඉටු කිරීමට වුවත් විවිධ දඬුවම් හැටියටත් මෙවැනි විවාහයන් සිදු කෙරුණු අවස්ථා ගැන පසුගිය කාලයේ වාර්තා වුණා. 2006 වසරේ සූඩානයේ පුද්ගලයකු සහ එළුදෙනක අතර වූ විවාහයක් මාධ්‍ය තුළ විශාල අවධානයක් දිනාගත්තා. එහිදී එය ක්‍රියාත්මක කෙරුණේ දඬුවමක් හැටියටයි. ඉහත කී පුද්ගලයා එළුදෙන සමග ලිංගික සංසර්ගයේ යෙදෙද්දී හසු වී තිබූ අතර ඊට දඬුවමක් ලෙස එළුදෙන ඔහුට විවාහ කර දීමට පියවර ගෙන තිබුණා. සුනඛයන්, බැළලියන් සමග පමණක් නොව ගෙම්බන්, ඩොල්ෆින් මත්සයන් සමග විවාහ වූ උදවිය ගැනත් මෙයට පෙර වාර්තා වී තිබෙනවා. 2010 වසරේ බාලි දූපත්වල 18 හැවිරිදි තරුණයකු ද එළදෙනකට විවාහ කර දී තිබුණේ ඔහු එළදෙන සමග ලිංගිකව හැසිරීම සම්බන්ධයෙන් දුන් දඬුවමක් හැටියට යි. තමා එළදෙන සමග ලිංගිකව හැසිරුණේ එළදෙන තමා සමග උකුළුමුකුළු කළ නිසා බවක් මෙම තරුණයා පවසා තිබුණා.

නිහාල් පීරිස්.

අරුමැසි පුවත්