නත්තල සඳහා සතුන් ඝාතනය කිතු දහමට පිටුපෑමකි

නත්තල් කෑම සහ මස් මාංශ පරිභෝජනය අතර ඇත්තේ නොබිඳිය හැකි සබැඳියාවකි.

ඒ අනුව සෑම නත්තල් උත්සවයක් මුල් කර ගනිමින්ම සතුන් අති විශාල සංඛ්‍යාවක් ඝාතනයට ලක් වෙයි. නමුත් දෙවියන් වහන්සේ ගේ කැමැත්ත හා ස්වභාවික යුක්ති ධර්මය එකක් සේ සළකන බුද්ධිමත් කිතුනුවෝ නත්තල වෙනුවෙන් සිදු කෙරෙන මේ සත්ව ඝාතන කෙසේවත් අනුමත නොකරති.

ඒ නිසාම අද වන විට නිර්මාංශ නත්තල් (vegan) ආහාර සංස්කෘතියක් ලොව පුරා වේගවත් ව පිබිදෙමින් තිබේ. මෙය මානව බුද්ධි පරිනාමයේ තවත් විශිෂ්ට අදියරක් බව ඒ සම්බන්ධයෙන් අදහස් පළකරන සමාජ සහ මානව විද්‍යාඥයන් ගේ පොදු මතය වී තිබේ.

බයිබල් ඉගැන්වීම් වලට අනුව ආත්මය සහ මාංශය යනුවෙන් කොටස් දෙකක් දක්වා ඇත. එය සරළව දැක්වුවහොත් ආත්මය යනු ජීවිතයක ආධ්‍යාත්මික ස්වරූපය වන අතර මාංශය යනු ලෞකික ස්වරූපයයි.

දෙවියන් වහන්සේ ගේ පුත්‍රයා වන ජේසු තුමන් ගේ උපත මාංශගත වීමක් ලෙස බයිබලයේ සඳහන් වනුයේ එතුමන් මෙලොවට පිවිසීම පිළිබඳව ය.

මාංශය යන පදය හඟවන ග්‍රීක් වචනය අලුත් ගිවිසුමට අනුව ‘සාක්ස්’ ය. ග්‍රීක් ඉංග්‍රීසි ශබ්ද කෝෂයට අනුව ‘සාක්ස්’ යන්න විස්තර වනුයේ මෙලෙසිනි.

“:ශරීර ඉන්ද්‍රියන් කෙතරම් දුරට පාපය විසින් පාලනය කරන්නේ ද මාංශය කොතැනක ද එහි පාපයම ප්‍රවර්ධනය වන්නේ ය”, මගේ වැටහීම අනුව බුදු දහමේ ක්ලේශ හෙවත් කෙලෙස් යනුවෙන් හඳුන්වන්නේ ද මෙම තත්වයම ය.

බයිබලයේ සඳහන් අන්දමට ආත්මය සහ මාංශය යන අංග දෙකින් ආත්මය හිමි මිනිසුන්ට පමණි. සතුන්ට ආත්මය අහිමි අතර ඔවුනට ඇත්තේ මාංශයක් පමණි. බුදු දහමේ එන මිනිසුන්ට මිස සතුන්ට කුසල් වැඩිය නොහැකිය යන ඉගැන්වීම ද මීට අතිශය සමාන ය.

එහෙත්, සතුන්ට මිනිසුන්ට මෙන් ආත්මයක් නොමැති අතර ඔවුන්ට හිමි මාංශයක් පමණක් ය යන නිර්වචනය පසුකාලීනව වැරදි ලෙස අර්ථ කථනය වීමෙන් සතුන් මෙලොවට බිහිව ඇත්තේ මිනිසුන්ට මරා මස් කෑමට ය යන කිතුනු දහමට විරෝධී අදහස පසුකාලීන කිතුනු සංස්කෘතිය තුළට පිවිස තිබේ.

නමුදු තම ශාස්තෘවරයා ගේ උපත සිහිකිරීම පිණිස සතුන් ඝාතනය කිරීමේ යුක්තායුක්ත භාවය පිළිබඳව අද බොහෝ කිතුනුවන් සිතන්නට පෙළඹී සිටින බවක් පෙනෙයි.

මේ ලෝකය මිනිසුන්ට සේම සතුන්ටත් මීට වඩා යහපත් දිනයක් විය යුතුය යන ප්‍රබුද්ධ අවිහිංසාවාදී චින්තනය පිළිගත් ලෝවැසියන් එක්ව සමරන ‘ලෝක සත්ව දිනය’ සෑම වසරකම ඔක්තෝබර් 04 දාට යෙදී තිබේ.

එහෙත්, ඒ සම්බන්ධයෙන් අදටත් අප රටේ බොහෝ දෙනා නොදන්නා වැදගත් රහසක් ද තිබේ. එනම් එම උදාර චින්තනයේ නියමුවා කිතුනු සාන්තුවරයෙකු වීම ය.

ක්‍රි.ව. 1181 හෝ 1182 වසරේ දී රෝම අධිරාජ්‍යයට අයත් අසිසියේ උපත ලත් මෙතුමා සාන්තවරයට පත්වූයේ අසීසියේ ශාන්ත ෆැන්සිස් තුමන් ලෙසිනි.

මිනිසුන් සේම සතුන් ද දෙවියන් වහන්සේ ගේ මැවීමක් වන බැවින් උන්ට ද මෙලොව ජීවත් වීමට සම අයිතියක් තිබිය යුතුය යන දර්ශනික මතවාදය මුල්වරට කතෝලික සභාව තුළට පිවිසුවන ලද උතුම් මිනිසා ලෙස ද මෙතුමන් පිළිගැනෙයි.

ඒ අනුව පූජක පදවියට පත්වීමෙන් පසුව සතුන් ගේ හිමිකම් අයිතිවාසිකම් සහ සුභසාධනය උදෙසා විප්ලවීය මෙහෙවරක් කරන ලද එතුමන් 1226 වසරේ ඔක්තෝබර් 03  දා ස්වර්ගස්ථ වන විට වයස අවුරුදු හතලිස් හතරකි.

පසුව එතුමන් ගේ ජීවන චරිතයේ සුවිශේෂත්වය සහ එතුමන් වෙතින් කිතුනු ආගමට සිදු වූ සුවිශිෂ්ට මෙහෙවර සලකා එතුමන් ගේ ස්වර්ගස්ථ වීම මුල් කොට ඔක්තෝබර් 04 දා ලෝක සත්ව දිනය නමින් ප්‍රකාශයට පත් කරන ලදී.

ශ්‍රී ලාංකික ජනගහනයෙන් වැඩිම පිරිසක් පිළිගන්නා බුදු දහමේ පරමාදර්ශයක් වන අවිහිංසාව සම්බන්ධයෙන් සාන්තුවරයට පත් පූජක තුමකු ගේ එම කැපවීම බෞද්ධයන් බෙහෙවින් අගය කළ යුතු අතරේම බුදු දහමෙහි  සහ බෞද්ධ සංස්කෘතියෙහි නෛසර්ගික උරුමයක් වන අවිහිංසාව සම්බන්ධයෙන් විශේෂිත දිනයක් වෙන් කරගැනීමට තමන්ට නොහැකි වීම පිළිබඳව ද බෞද්ධයන් විශේෂයෙන් සිතා බැලිය යුතුව තිබේ.

ඉතින්, එවන්  පසුබිමක් යටතේ සත්ව ඝාතනයෙන් තොර නත්තලක් සැමරුම තුළින් ජේසු ස්වාමි දරුවන් ගේ උපත සැමරීම උන්වහන්සේට සේම උන් වහන්සේ හඳුන්වා දුන් උතුම් මනුෂ්‍යත්වයට කරන සැබෑ ගෞරවාචාරයක් නොවන්නේ ද?

මේරි ජසින්තා ප්‍රනාන්දු

එතෙර - මෙතෙර