තවත් නත්තලක් උදා වෙමින් තිබේ.කිතු සමිඳාණන් ගේ උපත සමරන ආධ්‍යාත්මික,හා සදාචාරය පදනම් කර ගත් උත්තරීතර සැමරුමක් වුව ද අද වන විට නත්තල වඩාත් ප්‍රසිද්ධව ඇත්තේ සතුට විනෝදය පදනම් කර ගත් ප්‍රීති උත්සවයක් ලෙසිනි.එමෙන්ම “නත්තල් කෑම” යන වදනින්ම එය ආහාර පරිභෝජනයට මුල් තැනක් හිමි වන උත්සවයක් බව හැඟවේ.
නත්තල මුල් කොට ගත් ආහාර සංස්කෘතියේ ප්‍රධානතම තැන මස්-මාංශ වලට හිමි වන බවක් පෙනෙයි.එනිසාම නත්තල මුල් කොට කුකුළන් ,ඌරන්,ගවයන් ආදී සතුන් විශාල සංඛ්‍යාවක් ඝාතනය වන බවට සත්ව අවිහිංසාවාදීන් සත්ව හිමිකම් ක්‍රියාධරයන් ඇතුළු තවත් පිරිස් සමාජ මාධ්‍ය ආදියෙන් හඬ නඟති.
ඒ අනුව මෙම සමාජමය අපවාදය කිතු සමිඳානන්ගේ සිට කිතුණු දහමේ හරය දක්වාම සෘජුවම එල්ල වන බවක් පෙනෙයි. කිතු සමය මුල් කොට ගත් සභා බොහොමයක් තිබේ.අප රටේ මෙන්ම ලෝකයේ ද ඒ සභා අතුරින් ප්රමුඛත්වයට පත් වනුයේ කතෝලික සභාව ය.පොදුවේ කිතුණුවන් පිළිගන්නේ ජේසුස් වහන්සේ ගේ සමීපතමයන් සිව් දෙනකු වන ලූක්,මාක්,මතෙව්,සහ ජොහාන් යන සාන්තු වරුන් විසින් ලියන ලද නව තෙස්තමේන්තුව හෙවත් නව ගිවිසුම මත පදනම් වූ බයිබලයයි.
ශුද්ධ වූ බයිබලය යනු ලෝකයේ වැඩිම පිරිසක් විසින් පිළිගනු ලබන ප්‍රමුඛතම හා උත්තරීතරම ආධ්‍යාත්මික ග්‍රන්ථය වනුයේ එහි ගැබ් ව ඇති දාර්ශනික හරය මුල් කර ගනිමිනි.සාක්ෂරතාව ඇති ඕනෑම කෙනකුට යම් කාල සීමාවක් තුළ ග්රන්ථයක් වශයෙන් එය කියවා නිම කළ හැකි ය.එහෙත්,එය එසේ කියැවූ පමණින් අවබෝධ ඥානයට ගොනු කර ගත හැකි ග්රන්ථයක් නොවේ.
එහි ගැබ් ව ඇති දාර්ශනික හරය නිවැරදි ලෙස වටහා ගත හැක්කේ එහි දැක්වෙන සංසිද්ධිමය කරුණු මුල් කොට ඥාන විමංසාවක් කරන්නකුට පමණි. වචනාර්ථ ඉක්මවා යමින් ශුද්ධ වූ බයිබලය පරිපූර්ණ කිතුණු අපගේ විශ්වාසයයි.
ශුද්ධ වූ බයිබලය දක්වන අන්දමට ජේසුස් වහන්සේ තම ශ්‍රාවකයන් ලෙස යොදා ගත්තේ එවක සමාජමය වශයෙන් කිසිදු පිළිගැනීමක් නොතිබූ පීඩිත පන්තියේ දොලොස් දෙනෙකි.ඔවුන් අතුරින් ප්‍රමුඛතමයන් වන පේදුරු සහ පාවුළු වෘත්තියෙන් ධීවරයෝ ය.
එහි දී ඔවුන් වෙතට ගිය ජේසුස් වහන්සේ ඔවුන් ගේ වෘත්තිය මුල් කොට උපාය මාර්ගික ව දෙවියන් වහන්සේ පිළිබඳ විශ්වාසය ගොඩ නංවා ඔවුන් ස්වකීය අපෝස්තළු වරුන් දොලොස් දෙනාගෙන් මුල්ම දෙදෙනා බවට පත් කර ගත් අයුරු ශුද්ධ වූ බයිබලය කියයි.නමුදු එම සංසිද්ධිය මුල් කොට ගත් සිදුවීම මුල් කොට ජේසුස් වහන්සේ ධීවර වෘත්තියට අනුග්‍රහ සැළසූ බවක් පිළිගැනීම කෙසේ වත් යෝග්‍ය නැත.මක් නිසා ද බයිබලයේ දාර්ශනික හරය තුළ කිසිදු ප්‍රාණ ඝාතයකට අනුබල ලැබී නොමැති බැවිනි.
සමස්ත මානව ඉතිහාසය තුළම මේ ලොව වඩාත් ප්‍රචලිත දරු උපත කිතු සමිදාණන් මෙලොව පහළ වීම ය.අද සමාජයේ සෑම කෙනකුම දන්නා පරිදි එම අසිරිමත් උපත සිදු ව ඇත්තේ බෙත්ලෙහෙම් නුවර ගව ගාලක් තුළ දී ය.
ඉන් පසු ජේසු බිළිඳුන් මුල් වරට ගවයන්ට කෑම දෙන ඔරුවක් තුළ සතපා තැබූ බව ද ප්‍රකට කරුණකි.ඉන් ශුද්ධ වූ බයිබලය අපට උගන්වන පණිවිඩය නම් දෙවියන් වහන්සේගේ පුත්‍රයා එවක ජන සම්මතයට අනුව,පරිසරයට ,සොබා දහමට දොරගුළු විවර වූ නිර්ධන පන්තියේ තැනකින් ලොව පහළ වීම ඔස්සේම පීඩිත පන්තියට පරිසරයට සොබා දහමට යම් විශේෂිත අගැයුමක් ලබා දුන් බව ය.ඒ අනුව ජේසු බිළිඳුන්ට මුල් වරට වාසස්ථාන සැළසූ කෑම දෙන ඔරුවේ ආහාර ගත් සත්ව පරපුරට අයත් ගවයන් මරා නත්තල් කෑම මේසයට ගැනීම කිතු සමිඳාණන් හට කළ හැකි පරම නිග්‍රහයක් නොවන්නේද?
සමස්ත කිතුණු සමාජයේම ආධ්‍යාත්මික සැමරුම් වල උච්චතම වකවානුව වන්නේ ජේසුස් වහන්සේ මනුෂ්‍ය වර්ගයාගේ පාපය උදෙසා තම ජීවිතය දානය කළ මහ සිකුරාදා සහ ඉන් පසු උන් වහන්සේ මළවුන්ගෙන් උත්ථානය වූ පාස්කුවට පූර්වගාමීව අළු බදාදා දිනයෙන් ඇරඹෙන දින හතලිහකින් යුතු චතාරික සමයයි.මෙම කාල සීමාව තුළ බොහෝ කිතුණුවෝ ලෞකික පක්ෂය කෙරෙහි ඇති ස්වභාවික ඇල්ම,ආශාව නැඹුරුව පදනම් කරගත් ක්‍රියා මාර්ග අවප්‍රමාණ කොට එමඟින් තම ආත්ම දමනය මුල් කොට ගත් කැප වීම් ප්‍රවර්ධනය කෙරෙන ආධ්‍යාත්මික ජීවන රටාවකට පිවිසෙති.එහි දී සිකුරාදා දින මුල් කොට ගත් නිරාහාර ශීලය අනුගමනය කරන ඇතැම් කිතුණුවෝ එම සමස්ත චතාරික සමය තුළ ගොඩ මස් අනුභවයෙන් වැළකී සිටීමේ ජන සම්ප්රදායක් ද කිතුණු සමාජය තුළ තිබේ.
ඉන් අනියමින් පැවසෙනුයේ මස්-මාංශ අනුභවයේ දී පවා කිතුණුවන් තුළ ආචාර විචාර සම්ප්රදායක් තිබිය යුතු බව ය .මේ සියලු කිතුණු ආගමික සංස්කෘතික පසුබිමක් තුළ වුව නත්තල මුල් කොට අප රටේ සත්ව ඝාතන සිදු වීමේ වැඩි නැඹුරුවක් ඇති බවට විවිධ පාර්ශවයන්ගෙන් එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කිරීමට අපට නොපුලුවන.
එමෙන්ම ඔවුන් වැඩි දුරටත් පවසා සිටින අන්දමට වසරේ සාමාන්‍ය මාංශ පරිභෝජන රටාව අතික්‍රමණය කරමින් නත්තල මුල් කොට සිදු කරන මෙම මාංශමය අධි පරිභෝජනය මුල් කොට කිතුණුවෝ තම ආගම මුල් කොට “මස් වැද්දන් “බවට පත් ව හිඳිති.
නමුදු මේ සම්බන්ධයෙන් කීමට තවත් කරුණක් තිබේ.එනම් අප ජන සමාජයේ සියළු කිතුණුවන් මෙම “ජනප්‍රිය සංස්කෘතික ධාරාවට”ම පිවිස නොමැති බව ය.සැබැවින්ම කිව හොත් මෙරට කතෝලික ප්‍රජාවේ විවිධ අංශ තුළින් මතු වන වැඩි ආධ්‍යාත්මික නැඹුරුවක් සහිත ඇතැම් කිතුණුවෝ නිරතුරුවම නිර්මාංශාහාරිකයන්(Vegetarian) වන අතර තවත් කිතුණුවෝ සමස්ත ලෙස සත්ව කොටස් වලින් නිපද වූ භාණ්ඩ භාවිතයෙන් පවා වැළකී(vegan ) හිඳිති.
නමුත් හුදෙක් සරල චාම් ජීවන රටාවන්ට යොමු වී හිඳින ඔවුන් තමන් තුළ පවතින ආගමික,ආත්මීය සහ ආධ්‍යාත්මික සංහිඳියාවන් පිළිබඳ කිසිදු ප්රචාරාත්මක කටයුත්තක නොයෙදීම හේතුවෙන් ඔව්හු ද නිරපරාදේ මෙම චෝදනාවට ලක් වෙති.ඒ කෙසේ වුව ද නත්තල් සමයේ පවතින සත්ව ඝාතනය සම්බන්ධ වැඩි නැඹුරුව තුළින් කිතුණු දහමේ මූලික හරයන් අබිබවා එහි පසු කාලීන සංස්කෘතික භාවිතයන් ශිඝ්ර ප්‍රවර්ධනයට ලක් වීම කෙරෙහි මෙරට සමස්ත කතෝලික ප්‍රජාව තුළින් ධර්ම ශාස්ත්‍රීය සංවාදයක් පිබිද ආ යුතුම ය.
එසේ නොවන්නට මූලික කිතුණු දහමේ ආධ්‍යාත්මික හර පද්ධතියෙන් පරිබාහිර මෙබඳු නිසරු පිළිවෙත් අපගේ ජීවිත තුළ මස්තකප්රාප්ත කර ගැනීමේ චෝදනාවෙන් අත් මිදෙන්නට පොදුවේ කිතුණුවන් වන අපට කිසිදා නොහැකි වනු ඇත.
සුරේඛා ප්‍රසංගනී