නලින් හේවගේ ගේ කතාවට පාර්ලිමේන්තු වනිතා විරෝධයක්

තමන් නම වෙනස් කළ බවක් මේ දක්වා කිසිදු මාධ්‍යයක පළ කර නැති බව ද නමුත් නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතාගේ නම මේ වන විට ‘ නලින් හෑවගේ’ ලෙස සමාජය මාධ්‍ය තුළ සඳහන් වන අතර කරුණාකර එසේ නොකරන ලෙස ඉල්ලා සිටින බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය සඳහන් කරයි.ඇය මෙම අදහස් ප්‍රකාශ කළේ නියෝජ්‍ය අමාත්‍යවරයා ඉකුත් 22 දා පාර්ලිමේන්තුවේ දී තම නම වෙනස් කර ඇතැයි කරනු ලැබූ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමිනි. මේ අතර නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා විසින් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය සම්බන්ධයෙන් කළ ප්‍රකාශය සිදු නොවිය යුත්තක් ලෙස තමා සලකන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ද සඳහන් කරයි.එහිදී ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඒ සම්බන්ධයෙන් ගත් පියවර ගැන තමා සතුටු වන බව ද තම පක්ෂයේ මන්ත්‍රීවරුන් ගෙන් යම් වරදක් සිදුවුවහොත් එය නිවැරදි කිරීමට තම පක්ෂය කටයුතු කරන බව ද පැවසූ අග්‍රාමාත්‍යවරිය එය තම පක්ෂයේ ඇති දේශපාලන සංස්කෘතිය බව ද සඳහන් කළාය.ඇය මෙම අදහස් ප්‍රකාශ කළේ අනුරාධපුරයේ පැවති මාධ්‍ය හමුවකදීය.මේ අතර නලින් හේවගේ මහතා විසින් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න මහත්මියට සිදුකළ ප්‍රකාශයට සිය විරෝධය පළකරන බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී කෞශල්‍යා ආරියරත්න මහත්මිය ද සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබේ.එමගින් ඇය සඳහන් කර ඇත්තේ එම අවස්ථාවේ සභාගර්භයේ නොසිටිය ද විපක්ෂ මන්ත්‍රීවරියකට පාර්ලිමේන්තුව තුළ නොගැලපෙන ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් ස්ත්‍රීවාදී මූලධර්ම වෙනුවෙන් පෙනී සිටින කාන්තාවක් ලෙස තමන්ට එම ප්‍රකාශය අනුමත කළ නොහැකි බවයි

කාලීන පුවත්