මහජන ආරක්ෂාව පිළිබඳ රජය කුමන කතා කීව ද මේ දිනවල රටේ තැනින් තැන අසන්නට ලැබෙන වෙඩි තැබීම් හමුවේ මේ කියන්නේ වෙනත් රටක් පිළිබඳ ව ද යන සැකය ද විටෙක පහළ වේ. ඒ තරමට ම, දිනපතා ම වාගේ කොතැනකින් හෝ වෙඩි තැබීමක් හෝ වෙඩි තබා ඝාතනය කිරීමක් පිළිබඳ අසන්නට ලැබේ. නීතිය ආරක්ෂා කරන්නට බැඳී සිටින පොලිස් නිලධාරීන් එක්කෝ මේවා නතර කරන්නේ කෙසේදැයි නොදන්නවා විය යුතු ය. එසේත් නැත්නම් නවත්වන්නට ඕනෑ කමක් නැති විය යුතු ය. ඕනෑ කමක් තිබුණ ද වෙඩි තබන පුද්ගලයන්ගේ බලවන්තකම පොලිසියේ බලවන්තකමට වැඩි විය යුතු ය. මේ වන විට වෙඩි තැබීම් දහයකට වඩා සිදුව ඇති අතර ඒ අතරින් වෙඩි තබා ඝාතනය කිරීම් 5 කට වැඩි ය. සුළු බහින්බස් වීමක් වුවත් වෙඩි තබා ඝාතනය කිරීමකින් කෙළවර වන්නට ඇති ඉඩ කෙමෙන් වැඩි වෙමින් පවතී. පොලිසිය පවසන්නේ මේවාට වගකිව යුත්තේ පාතාල කල්ලි නායකයන් හෝ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් බව ය. ඒ කවුරුන් වුව ද දවසින් දවස මහජනතාවගේ ජීවිත අවදානම් සහගත වෙමින් පවතී. ගිනි අවියක් ඇත්නම්, තරහ කාරයෙක් ද ඇත්නම් වෙඩි තබා ඝාතනය කිරීම ඉතාමත් සරල කාරණාවක් වෙමින් පවතී.
මේ තත්ත්වය පෙනෙද්දී සිහියට නැගෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ චිකාගෝ නුවරය. අද එතරම් අසන්නට නො ලැබුණ ද අතීතයේ චිකාගෝ යනු මෙවැනි වෙඩි තබා ඝාතනය කිරීම් සහ වෙඩි තැබීම් බහුලව සිදු වූ නගරයකි. 1960 ගණන්වල අගභාගයේ දී ලෝකයේ අන් කිසිදු රටක නගරයකටත් වඩා චිකාගෝ නුවර අපරාධ රැල්ලේ වර්ධනයක් දක්නට ලැබිණි. 1974 වසර වන විට එය උච්චතම ස්ථානයට පැමිණියේ ය. නගරයේ ජනගහනය මිලියන 3 ක් වන විට 1974 වසරේ සිදු වූ මිනිස් ඝාතන ප්‍රමාණය 970 ක් විය. එනම් ලක්ෂයකට 29 දෙනෙකු බැගිනි. මේ ආකාරයට අපරාධ සිදුකිරීම ලොව පුරා ප්‍රසිද්ධියට පත් වූයේ ‘චිකාගෝ ක්‍රමය’ නමිනි. අද මේ නදිවල අප රටේ මිනිස් ඝාතන සිදු කරන විදියම ය. එනම් ක්ෂණිකව අදාළ පුද්ගලයා සිටින තැනට පැමිණ වෙඩි තබා ඝාතනය කර පළා යාම ය. 1992 වසරෙන් පසු චිකාගෝ නගරයේ අපරාධ රැල්ල සියයට පනහකින් පමණ අඩු වන්නට පටන් ගත්තේ ය.
චිකාගෝ අපරාධ නගරයක් ලෙස ප්‍රසිද්ධියට පත්වීම
1920, 1960 සහ 2020 යන වසරවල දී චිකාගෝ අපරාධ රැල්ල ඉතාමත් ඉහළ මට්ටමක පැවතිණි. අපරාධවලට එරෙහිව සටන් වදින නව උපක්‍රම අනුගමනය කිරීම තුළින් එම ප්‍රාන්තයේ පොලිසියට සෑහෙන පමණකට මේ තත්ත්වය සමනය කරගන්නට හැකියාව ලැබිණි. චිකාගෝ නගරයේ අදටත් අපරාධ කල්ලි සාමාජිකයන් ලක්ෂයක් පමණ සිටිතැයි ගණන් බලා තිබේ. එහි හිටපු පොලිස් ප්‍රධානියෙක් වරෙක පවසා තිබුණේ එම නගරයේ ජනගහනයෙන් 7% ක් සමස්ත අපරාධවලින් 80% කට වගකිවයුතු බව ය. අනෙක දාමරික බව පරම්පරාවෙන් පරම්පරාවට උරුම වන දෙයක් බවට ද පෙනෙන්නට තිබේ. (අපේ රටේ වාගේමය) මේ නගරය වසර 85ක් තිස්සේ එක දිගට පාලනය කළ ඩිමොක්රටික් පක්ෂයේ වූ හොරමැරකම් මෙවැනි අපරාධ කල්ලි බිහිවීමට හේතුවක් බවට පත් විය.
අපරාධවලින් ගහන ලොව එකම නගරය චිකාගෝ නොවේ. එක්සත් ජනපදයට යාබද රට වූ මෙක්සිකෝවේ නගර බොහොමයක් වර්තමානයේ ද දක්නට ලැබෙන්නේ අපරාධ බහුල පරිසරයකි. මීට අමතරව වෙනිසියුලාව, ජැමෙයිකාව, දකුණු අප්‍රිකාව, බ්‍රසීලය, කොලොම්බියාව ආදී රටවල් නගර එකක් හෝ කිහිපයක් චිකාගෝ ස්වභාවයට පත් ව තිබේ. චිකාගෝ නගරයට අමතරව ඇමරිකා එක්සත් ජනපදයේ තවත් නගර කිහිපයක ම මේ ලක්ෂණ මතුව තිබේ. ලෝකයට පොලිස්කාරයා වන්නට උත්සාහ දරන ඇමරිකාවේ තත්ත්වය එබඳූ ය.
අප රට සමස්තයක් ලෙස ගතහොත් චිකාගෝ නගරයේ ලක්ෂණ පෙන්නුම් කරයි. වසර ගණනාවක් තිස්සේ එකම ස්වභාවයේ දේශපාලන පක්ෂ විසින් පාලනය කිරීම, ඒ නිසාම හොර මැරකම් සිදුවීම, දේශපාලනඥයන් ඒ සඳහා සාමාන්‍ය ජනතාව යොදා ගැනීම, ඒ ඔස්සේ අපරාධ කල්ලි බිහි වීම චිකාගෝ නුවර මේ අපරාධමය පරිසරය ඇති වන්නට හේතු වී තිබෙන බව අධ්‍යයනවලින් හෙළි වී තිබේ. මේ කාරණා කියවාගෙන යද්දී එම ලක්ෂණ අඩුවක් නැතිවම අප රටෙන් ද පෙනෙන බව ඔබට අමුතුවෙන් තේරුම් කර දිය යුතු දෙයක් නොවේ. මේවා මර්දනය කළ හැක්කේ නීතියේ ආධිපත්‍යය සියලු දෙනාට එක සමානව යෙදවීමෙන් පමණි. එසේ කරන්නා සේ පෙන්වුව ද අප රටේ සිදුනොවෙන්නේ ද එයමය. මේ වන විට මෙපමණ අපරාධ කල්ලි බිහිවීම සහ ඔවුන් හිතුමනාපයේ තම සතුරන් ඝාතනය කිරීම සිදු වන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි. පවතින දේශපාලන ක්‍රමයට මෙවැනි අපරාධකරුවන් අවශ්‍ය අතර නීතියෙන් ගැලවී රිසි සේ අපරාධ කරන්නට මොවුන්ට දේශපාලන ශක්තිය ද අවශ්‍ය ය. මේ ක්‍රමය තුළ අපරාධ කල්ලිවලට එරෙහි නීතියක් ක්‍රියාත්මක වේ යැයි සිතිය නොහැක තත්ත්වය මේ ආකාරයෙන් තවත් ඉදිරියට ගමන් කළ හොත් අප රටම චිකාගෝ නුවරක් වීම වළක්වා ගත නොහැකි වනු ඇත.
නිරංජන් චාමින්ද කරුණාතිලක