” Congratulations and celebrations ” ඔබට ඉතාමත් හුරුපුරුදු ගීතයක් වනු නිසැකය. ඒ, මෙය විවාහ මංගල උත්සවවල දී නොවැරදීම අසන්නට ලැබෙන ඉතාම ජනප්‍රිය ගීතයක් නිසා ය.
නමුත් මේ ගීතයේ උපත පිළිබඳ බොහෝ දෙනකු නොදන්නවාට සැක නැත.
ගීතය ගැන කතා කරන්නට පෙර ගීතයේ මුල් පේළි කිහිපය අපි මතක් කර ගනිමු.
” congratulations and celebrations
when I tell everyone
that you are in love with me
congratulations and jubilations
I want the world to know
I’m happy as can be ”
මේ ගීතය මුලින් ම රචනා කර තිබෙන්නේ 1968 වසරේදීය. ඒ, එම වසරේ අප්‍රේල් 6 දා යුරෝපා රටවල් අතර පවත්වන්නට නියමිත ව තිබූ “යුරෝ විෂන්” නම් ගී තරගාවලියට ඉදිරිපත් කිරීම සඳහාය. ඒ අනුව මෙම ගීතය වසර පනස් හතරක් පමණ පැරණි වූවකි. ගීතය එදා ගායනා කළේ ක්ලෆ් රිචර්ඩ් නමැති ඉංග්‍රීසි ජාතික ගායන ශිල්පියා ය.
ගීතය මුලින්ම රචනා කළේ කළේ puppet on a string නමැති සංගීත කණ්ඩායමේ සාමාජිකයකු වූ ෆිල් කෝල්ටර් ය. ඔහු මෙම ගීතයේ මුල් පද පේළිය ලියා තිබුණේ ” I think I love you ” ලෙසිනි.
නමුත් එහි වචන ගැලපීම ගැන එතරම් විශ්වාසයක් එම සංගීත කණ්ඩායමට නොවූ නිසා මෙම ගීතය ලිවීම සඳහා එම කණ්ඩායමේ සිටි තවත් ගායන ශිල්පියකු වූ බිල් මාටින් ද මීට සම්බන්ධ විය. මෙම ගීතයේ ආරම්භය congratulations යනුවෙන් වෙනස් කළේ ඔහු ය.
මෙම ගීතය බ්‍රිතාන්‍ය පුරාම අධි වේගයකින් පැතිර ගියේය. එහි ජනප්‍රියත්වය කෙතරම් වී ද කිවහොත් තනි ගායකයෙකු විසින් ගායනා කළ අංක එකේ ගීතය බවට පත්වෙමින් ජනප්‍රියත්වයේ හිණිපෙත්තටම නගින්නට ගත වූයේ ඉතා කෙටි කාලයකි.
මෙම ගීතය අදාළ තරගයට ඉදිරිපත් කර, තරගකරුවන් තෝරා ගැනීම පිණිස ඡන්දය ලබා දෙන අවස්ථාවේ එය තිබුණේ ඉහළම ස්ථානයෙහි ය. නමුත් මෙම තරග විනිශ්චය මණ්ඩලයේ සිටි ජර්මනිය විසින් බ්‍රිතාන්‍යයට මෙහි ජයග්‍රහණය ලබා දෙන්නට දෙන්නට එකඟ වූයේ නැත. ඊට හේතුව ලෝක යුද්ධවලින් පසුව ජර්මනිය, බ්‍රිතාන්‍යය කෙරෙහි දැක්වූ දැඩි අප්‍රසාදය යි. ඒ අනුව ඔවුන් වැඩි ලකුණු ස්පාඤ්ඤයට දී එම රට මෙම තරඟයෙන් ජයග්‍රහණය කරවීමට සැලැස්වීය. මෙලෙස ස්පාඤ්ඤය මෙම තරගයෙන් ජයග්‍රහණය කළේ එකම ලකුණකින් බවද විශේෂයෙන් සඳහන් කළ යුතු වේ.
නමුත් ස්පාඤ්ඤය විසින් ඉදිරිපත් කර ජයග්‍රහණය ලබා ගත් La la la නම් වූ එම ගීතය නොව ලොව පුරා ජනප්‍රිය වූයේ මෙම congratulations ගීතයයි. ඒ කොතෙක්ද කිවහොත් අදටත් ලොව පුරා මෙහි ජනප්‍රියත්වය බිඳකින්වත් අඩු වී නැත. එසේම යුරෝවිෂන් නම් වූ එම තරගාවලියට වසර පනහක් පිරීම නිමිත්තෙන් පවත්වන ලද උත්සවය ඔවුන් නම් කළේ ද “congratulations” යනුවෙනි . එසේම මෙම ගීතය නිර්මාණය වූයේ දෙවැනි ලෝක යුද්ධය නිම වී වසර ගණනාවකට පසුව වුවත් 1995 වසරේදී යුරෝපයේ ජයග්රාහි දිනය සැමරීමේ 50 වැනි සංවත්සරයේ දී ත් ක්ලිෆ් රිචර්ඩ් මෙම ගීතය ගායනා කළේය .
මෙම ගීතය මුල් වරට ගායනා කළ ක්ලිෆ් රිචර්ඩ් ගැනත් යමක් සඳහන් කළ යුතුමය.
ඔහු 1940 වසරේදී ඉන්දියාවේ ලක්නව් වල උපත ලබා පසුව බ්‍රිතාන්‍යයට සංක්‍රමණය කර තිබිණි. එහිදී පොප් ගායකයෙක්, සංගීතඥයෙක් සහ නළුවකු ලෙසින් ඔහු ප්‍රසිද්ධියට පත් වේ. බ්‍රිතාන්‍ය රජය විසින් ඔහුට නයිට් නාමයක් ද පුද කර ඇති නිසා ඔහුගේ නමේ මුලට “සර්” යන නම්බු නාමය යොදනු ලබයි. ක්ලිෆ් රිචර්ඩ්ගේ ගීත තැටි ලොව පුරා මිලියන 250 අභිබවා අලෙවි වී ඇති අතර එරට ඉතිහාසයේ එල්විස් ප්‍රෙස්ලි සහ බීට්ල්ස් සංගීත කණ්ඩායම හැරුණු විට වැඩිම ගීත තැටි අලෙවියක් ඇත්තේ ක්ලිෆ් රිචර්ඩ් ගේය.
ලොව පුරා මෙවැනි නමක් දිනාගෙන සිටියත් ක්ලිෆ් රිචර්ඩ් ගේ පෞද්ගලික ජීවිතය තුළ පවතින්නේ දුක්බර අඳුරු සෙවණැලි යැයි කිවහොත් ඔබට පුදුම සිතේවි.
ක්ලිෆ් ගේ පියා අකාලයේ ජීවිතය හැර ගියේ ක්ලිෆ් ළාබාල වයසේ සිටියදී ය. පියාගේ මරණය ඔහුගේ ජීවිතයට තදින්ම බලපා තිබිණි.
” මගේ ජීවිතේ හොඳම කාලයේදි මගේ පියා මා ළඟ සිටියේ නෑ” පියා පිළිබඳව ඔහු එලෙස වේදනාවකින් කතා කරයි.
ඔහුගේ පළමු පෙම්වතිය ඩේලියා වික්සි ඕස්ට්‍රේලියානු ජාතික නර්තන ශිල්පිනියකි. පිළිකා රෝගයෙන් පීඩා විඳ ඇයද අකාලයේ මිය ගියාය. ඇගේ මරණය ක්ලිෆ් තුළ කොතරම් කම්පනයක් ඇති කළේ දැයි කිවහොත් සිය ගායන වෘත්තිය පවා අතහැර දමන්නට වරෙක ඔහු තීරණය කර තිබිණි. නමුත් අවසානයේ ඔහුට එම තීරණය අත හැර දමන්නට සිදුවූයේ ඔහුගේ මවත්, සහෝදරියනුත් ඔහුගෙන් යැපුණු නිසාය. කෙසේ වුවද ක්ලිෆ් රිචර්ඩ් කිසිදා විවාහ වූයේ නැත.
ඉන්දු පෙරේරා