තවත් පස්වෙනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයක් නොබෝදා නිමා විය. මෙම විභාගය පස්වෙනි ශ්‍රේණියේ දරුවන් උදෙසා වෙන් වූවක් වුවද, දරුවන් හා සමානවම ඇතැම් විට ඊටත් වඩා වෙහෙස වන්නේ දෙමාපියන් ය. විශේෂයෙන් මව්වරුන් ය. වසර දෙකක කාලයක් තිස්සේ එක දිගට මේ වෙනුවෙන් දරුවන් සූදානම් කරවීමක් සිදුවේ.
පහ ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන්නේ අවුරුදු 9-10 වයස් සීමාවේ දරුවන් ය. මෙම වයස දරුවන් ගේ මොළය වේගයෙන් වර්ධනය වන කාලය යි. මේ කාලයට විෂය කරුණු පමණක් නොව, බාහිර ක්‍රියාකාරකම්ද ඇතුළුව දරුවා ලබන දැනුම, අධ්‍යාපනය විවිධාංගීකරණය විය යුුතුවේ.
නමුත් වයස අවුරුදු 9-10 කාලයේදී දරුවන් මුහුණ දෙන ශිෂ්‍යත්ව විභාගයේදී සිදු වන්නේ විෂය කරුණු කට පාඩම් කිරීම සහ එකම ආකාරයට එකම දෙයක් පුහුණු වෙමින් ඒවා ලිවීමට හුරු වීම ය.
ශිෂ්‍යත්ව විභාගයේ අරමුණ දරුවාට අධ්‍යාපනය සඳහා පහසුකම් ඇති පාසලක් ලබා ගැනීම ය. අපේ රටේ සියලුම පාසල්වලට සමාන පහසුකම්, සමාන අවස්ථා නොතිබුණත්, අවම පහසුකම් හා අවම අවස්ථා හෝ තිබුණා නම් දරුවන්ට සහ දෙමාපියන්ට ශිෂ්‍යත්වය වෙනුවෙන් මේ තරම් දුකක් විඳින්නට සිදු වන්නේ නැත. හොඳ ගුරුවරුන් සහ අධ්‍යාපන පහසුකම් සියල්ල ජනප්‍රිය පාසල්වලට පමණක් සීමා වී තිබීම නිසා කෙසේ හෝ ශිෂ්‍යත්වය සමත් කරගෙන දරුවා හොඳ පාසලකට යැවීමට දෙමාපියන් දරන මේ උත්සාහය සහ කැප කිරීම පිළිබඳව වරදක් කීමටද නොහැකිය.
නමුත් දෙමව්පියන්ගේ පැත්තෙන් ද මෙහි දොස් නැතුවා නොවේ. වසර දෙකක් තිස්සේ නොකඩවාම දරුවා මහන්සි කරවමින් ශිෂ්‍යත්ව විභාගයට පෙර දින රාත්‍රියේත් මව්පියවරුන් මෙය අතහරින්නේ නැත. සමහර විට දරුවාට සුව නින්දක් නිදා ගන්නටවත් අවස්ථාව නොදී රෑ නිදිමරාගෙන දරුවා ලවා ප්‍රශ්න පත්‍ර කරවයි. යළි පාන්දර අවදි කරවා කරන්නේත් එයමය. ඊළඟට මුහුණ සෝදවමින්, කවමින්, පොවමින් සහ මග දිගට එන අතරතුරදී පාසල් ගේට්ටුව ළඟට ඒම දක්වාමත් දරුවන්ට මේ කන්කරච්චලයෙහි අවසානයක් නැත. දෙමාපියන්ගේ අපේක්ෂාවන් මොන තරම් තීව්ර තත්ත්වයක පවතින්නේද යත් විභාගශාලාධිපතිවරුන් සමග පවා ගැටුම් ඇති කර ගන්නා අවස්ථා සෑම ශිෂ්‍යත්ව විභාගයක් අවසානයේදී ම ලංකාවේ කොහේ හෝ ප්‍රදේශයකින් අසන්නට ලැබේ.
කෙසේ නමුත් මේ වසරේ පවත්වන්නට නියමිත ශිෂ්‍යත්ව විභාගය දැන් අවසන් වී ඇත. එහෙත් දෙමාපියන්ගෙන් දරුවන්ට සිදු වන පීඩාව තවම අවසන් වී නොමැත. දැන් කරන්නේ දරුවා ප්‍රශ්න පත්රවලට පිළිතුරු දුන් ආකාරය විමර්ශනය කිරීම ය. එහිදී දක්ෂ දරුවන් පිළිතුරු දුන් අන්දම, අසල්වැසි දරුවන් ඥාති දරුවන් පිළිතුරු දුන් අන්දම යන මේ සියල්ලන් සමගම තම දරුවා පිළිතුරු ලබා දුන් ආකාරය සසඳන්නට ඔවුන් අමතක කරන්නේ නැත. එහිදී දරුවා අතින් කුමන හෝ ප්‍රමාද දෝෂයක් සිදුවී ඇත්නම් ඉමහත් චිත්ත පීඩාවකට පත් වන දෙමාපියන් එම පීඩාව පිට කරන්නේ දරුවා තුළිනි. මේ නිසා විභාගය අවසන් වූ පසුවත් මේ පීඩාවෙන් මිදීමට සෑහෙන කලක් යනතුරු දරුවාට අවකාශ නොලැබේ.එහෙත් මෙය දරුවාගේ පෞරුෂ වර්ධනයට දැඩි හානිකර බලපෑමක් කරන්නක් බව ද කිව යුතුය.
මොනවා වුණත් දැන් සියල්ල අවසාන ය. එනිසා මොන වැරැද්දක් , මොන අතපසු වීමක් සිදුව තිබුණත් දැන් කළ හැක්කක් නොමැත. දැන් කළ යුත්තේ ඊළඟට කළ යුතු දෑ ගැන සිතීම ය.
එසේම ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වූ පසුවත් දරුවා වර්ග කිරීම, ඉහළ ප්‍රතිඵල ලබා ගත් දරුවන් මාධ්‍ය මගින් අනවශ්‍ය ලෙස හුවා දැක්වීම ආදිය නතර කළ යුතු ය. මෙය දරුවන්ට ජනප්‍රිය පාසලක් ලබා ගැනීමට තිබෙන කඩඉම් විභාගයක් පමණි. මේ විභාගය නිසා දරුවාගේ අනාගතයට සැලසෙන අන් රුකුලක් නැත. එසේ ඉහළ ලකුණු ගත් දරුවන් උලුප්පා දක්වන්නට යාමෙන් සෙසු දරුවන් දෙආකාරයකින් තැලේ. එක පැත්තකින් තමාට ප්‍රමාණවත් ලකුණු නොලැබීමේ සිත් වේදනාව ය. අනෙක් අතට දෙමාපියන් ගෙන් එල්ල වන නිමක් නැති දෝෂාරෝපණයන් ය.
ඉහතද සඳහන් කළ පරිදි මේ වයස දරුවාගේ මොළය සීග්‍රයෙන් වර්ධනය වෙමින් පවතින කාලයයි. මොළයේ යහපත් වර්ධනයට සේම, දරුවා ගේ පෞරුෂ වර්ධනයටත් ක්‍රීඩා, සංගීතය නැටුම් චිත්‍ර ආදීවූ දරුවා දක්ෂතා දක්වන විෂයකින් සෞන්දර්ය අධ්‍යාපනය, එතෙක් කලක් විභාගය නිසා අත හැරී තිබූ නෑදෑ ගමන් බිමන් විනෝද ගමන් ආදිය යාම දැන් දරුවාට අත් විඳින්නට ඉඩ සලස්වා දිය යුතුය. එසේම තවත් ඉතා වැදගත් දෙයක් වන්නේ දරුවාට සුව නින්දක් ලැබීමට ඉඩකඩ ලබා දීමයි.
දරුවාට නොකඩවා අධ්‍යාපනය කරගෙන යාමට මෙසේ සුහදශීලී වාතාවරණයක් නිවස තුළ ගොඩනැංවිය යුතු ය.
එසේ නැතිව ඊළඟට දරුවා පා තබන්නේ හයවෙනි ශ්‍රේණියට බැවින් එතැන් සිට සාමාන්‍ය පෙළ විභාගයට දරුවා සූදානම් කිරීමට ගියහොත් ඔබට උගත් දරුවකු ලැබීමේ ආඩම්බරය භුක්ති විඳින්නට ලැබුණත් මානව දයාව, කරුණාව, පරාර්ථය ආදී උතුම් ගුණාංග හඳුනන සැබෑ මිනිසත්කම් ඇති දරුවකු ඔබේ දරුවා තුළින් දැකීමට නොහැකි වනු ඇත.
ශිෂ්‍යත්ව විභාගය අපේ රටේ දරුවන්ට මෙන්ම දෙමාපියන්ට ද මෙතරම් බැරෑරුම් කාරණයක් වී තිබෙන්නේ පහසුකම් සියල්ල සීමිත පාසල් ප්‍රමාණයකට පමණක් ලබා දී තිබීම හේතුවෙනි. එසේ නොවී ලංකාවේ සියලු පාසල්වලට අවම පහසුකම්වත් ලබා දීමට රජය විසින් කටයුතු කරන්නේ නම් මේ පීඩාව බොහෝ සෙයින් අවම වේ. කිසිදු විසඳුමක් නොමැතිව දිගින් දිගටම පවතින මේ තත්ත්වය හේතුවෙන් වැඩි කල් නොයවාම ශිෂ්‍යත්වය නිසාම පෞරුෂ වර්ධනය අඩාල වූ, මිනිස්කම් හිඟවූ දරු පරපුරක් මෙරටින් දක්නට ලැබුණහොත් එය පුදුමයට කරුණක් වන්නේ නැත.
විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්
ඉන්දු පෙරේරා