මේ දිනවල පවත්නා අධික නියඟය හේතුවෙන් ගංගා,ඇල දොල,වැව් පොකුණු සහ වාරි මාර්ග ජලාශ බොහොමයක ජල මට්ටම තව දුරටත් පහළ බසිමින් පවතින බව මහවැලි සංවර්ධන අධිකාරි ආරංචි මාර්ග සඳහන් කරයි.අධික නියඟය හේතුවෙන් ජල මට්ටම විශාල වශයෙන් අඩු වී ඇත්තේ උඩවලවේ ජලාශයේ සහ සමනල වැව ජලාශයේ වන අතර උඩ වලවේ ජල මට්ටම සියයට 2.9 කි.සමනල වැව සියයට 4.1 කි.මීට අමතරව රන්දෙණිගල ජලාශයේ ජල ධාරිතාව සියයට 8.5 දක්වාද මොරගහකන්ද ජලාශයේ ජල ධාරිතාව සියයට 17.8 දක්වාද වික්ටෝරියා ජලාශයේ ජල ධාරිතාව සියයට 29.1 දක්වාද රන්ටැඹේ ජලාශයේ ජල ධාරිතාව සියයට 30.5 දක්වාද බෝවතැන්න ජලාශයේ ජල ධාරිතාව සියයට 39.9 ක් දක්වා ද කාසල්රී ජලාශයේ ජල ධාරිතාව සියයට 36.5 ක් දක්වාද මාවුස්සාකැලේ ජලාශයේ ජල ධාරිතාව සියයට 39.6 ක් දක්වාද කොත්මලේ ජලාශයේ ජල ධාරිතාව සියයට 58.7 ක් දක්වාද අඩු වී ඇතැයි එම ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරයි.මේ අතර කළු ගගේ ජල ධාරිතාව සියයට 67.4 ක් දක්වා පහත බැස ඇතැයි මහවැලි සංවර්ධන අධිකාරිය පවසයි.මේ තත්වය ඉදිරි මාස් කන්නය තෙක් පැවතිය හොත් බෝග වගාවන්ට බරපතල හානි සිදු වීමෙන් රට තුළ ආහාර හිඟයක් ඇතිවීම නොවැලැක්විය හැකියැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.