නොබෙල් සම්මාන දෙකක් මෙවර ආසියාවට

2024 වසරේ නොබෙල් සම්මාන හිමි කරගන්නා අය ගේ නම් පසුගිය දිනවල ප්‍රකාශයට පත් කරනු ලැබිණි. සෑම වසරකම මෙම සම්මාන දිනා ගන්නා පුද්ගලයන්ගේ සහ සංවිධානවල නම් අදාළ වර්ෂයේ ඔක්තෝබර් මාසයේ ප්‍රකාශයට පත් කරනු ලබයි. එලෙස ඔක්තෝබර් මාසයේ නම් ප්‍රකාශ කළත් සම්මාන ප්‍රදානය කෙරෙන්නේ දෙසැම්බර් මාසයේ යි.

දකුණු කොරියාවේ හැන් කාං

ක්‍ෂේත්‍ර පහක විශිෂ්ට සොයා ගැනීම්, පර්යේෂණ සහ ක්‍රියාකාරකම් වෙනුවෙන් මෙම සම්මාන පිරිනමනු ලැබේ. එම ක්‍ෂේත්‍ර පහ නම් භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, වෛද්‍ය විද්‍යාව, සාහිත්‍යය සහ සාමය යන ඒවා යි. මෙම ක්‍ෂේත්‍ර සඳහා සම්මාන පිරිනමන්නේ ඇල්ෆ්‍රඩ් නොබෙල් ගේ අන්තිම කැමති පත්‍රයේ සඳහන් වූ ආකාරයට ය. ඔහුගේ අන්තිම කැමැති පත්‍රයේ සඳහන් නොවූවත් ආර්ථික විද්‍යාව සඳහා ද පසු කාලයේ සම්මානයක් පිරිනැමීමට පටන් ගත්තේය. එයට අනුග්‍රහය දක්වන්නේ ස්වීඩනයේ මහ බැංකුව යි. සම්මානය පිරිනැමීමේ කටයුතු පරිපාලනය කරනු ලබන්නේ නොබෙල් පදනම විසින්ම නිසා එය ද නොබෙල් සම්මානයක මට්ටමේ ලා සලකනු ලැබේ.

2024 වසරේ සාහිත්‍යය සඳහා නොබෙල් සම්මානය හිමි කරගෙන ඇත්තේ දකුණු කොරියානු ලේඛිකාවක වන හැන් කාං ය. 53 හැවිරිදි හැන් කාං ගේ ජයග්‍රහණය විශේෂත්වයක් ගන්නේ ආසියානු කාන්තාවක නොබෙල් සාහිත්‍ය සම්මානය දිනාගත් පළමු අවස්ථාව මෙය වීම නිසා යි. තම නවකතා තුළින් හැන් මිනිස් ජීවිතයේ බිඳෙන සුළු බව පිලිබඳ බොහෝ විට නිරූපනය කර ඇති බව සඳහන් වන අතර ඇයගේ භාෂාවේ අතිශය කාව්‍යමය බව නොබෙල් සම්මානය පිරිනැමීමේ දී විශේෂ අවධානයක් දිනාගෙන තිබිණි.

මෙවර නොබෙල් සම්මාන දෙකක්ම ආසියාවට හිමි වී තිබීම විශේෂත්වයකි. ඒ සාහිත්‍යය සඳහා වන නොබෙල් සම්මානය සහ නොබෙල් සාම ත්‍යාගය යි.

2024 වසරේ සාහිත්‍යය සඳහා නොබෙල් සම්මානය හිමි කරගෙන ඇත්තේ දකුණු කොරියානු ලේඛිකාවක වන හැන් කාං ය. 53 හැවිරිදි හැන් කාං ගේ ජයග්‍රහණය විශේෂත්වයක් ගන්නේ ආසියානු කාන්තාවක නොබෙල් සාහිත්‍ය සම්මානය දිනාගත් පළමු අවස්ථාව මෙය වීම නිසා යි. තම නවකතා තුළින් හැන් මිනිස් ජීවිතයේ බිඳෙන සුළු බව පිලිබඳ බොහෝ විට නිරූපනය කර ඇති බව සඳහන් වන අතර ඇයගේ භාෂාවේ අතිශය කාව්‍යමය බව නොබෙල් සම්මානය පිරිනැමීමේ දී විශේෂ අවධානයක් දිනාගෙන තිබිණි.

නිහොන් හිදන්කියෝ සංගමයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක්

හැන් කාං ගේ නවකතා අතරින් වඩාත්ම ප්‍රසිද්ධියට පත් නවකතාවක් වන්නේ The Vegetarian නැමැති නවකතාව යි. එය මානසික රෝගී කාන්තාවක කේන්‍ද්‍ර කරගත් නවකතාවකි. මෙය 2016 වසරේ ජාත්‍යන්තර බුකර් සම්මානයෙන් ද පිදුම් ලැබූ අතර කොරියානු භාෂාවෙන් ලියැවුණු නවකතාවක් මෙම සම්මානය දිනාගත් පළමු අවස්ථාව එය විය.

මෙවර නොබෙල් සාම ත්‍යාගය දිනාගෙන ඇත්තේ ජපානයේ නිහොන් හිදන්කියෝ නැමැති සංගමයකි. මෙය දෙවැනි ලෝක යුද්ධය සමයේ ජපානයේ හිරෝෂිමා සහ නාගසාකි නගරවලට ඇමරිකාව විසින් පරමාණු බෝම්බ හෙලන ලද අවස්ථාවේ දිවි බේරුණු පුද්ගලයන් විසින් ගොඩනගා ගන්නා ලද සංගමයක් බව සඳහන් වේ. නිහොන් හිදන්කියෝ න්‍යෂ්ටික අවි ලොවින් තුරන් කිරීම අරමුණු කරගනිමින් විශාල සේවයක් කරමින් සිටින සංවිධානයකි.

මෙම සංගමය පිහිටුවා ගෙන තිබුණේ 1956 වසරේ ය. එදා සිට මේ දක්වා මෙහි සාමාජිකයන් විශාල මෙහෙවරක් කරමින් සිටින බව සඳහන් වේ. ඔවුහු ලොව පුරා සංචාරය කරමින් 1945 වසරේ ඇමරිකාව හෙළුෑ පරමාණු බෝම්බ නිසා මුහුණ දුන් බිහිසුණු අත්දැකීම් ලෝකය සමග බෙදා ගනිමින් න්‍යෂ්ටික අවි විරෝධී මතයක් ගොඩ නැගීමට දායක වෙමින් සිටිති.

ඇම්බ්‍රොස් සහ ගැරී රුව්කුන්

ඉහත කී සම්මාන දෙක හැරුණු විට සෙසු සම්මාන බොහොමයක් දිනාගෙන ඇත්තේ බටහිර රටවල පුද්ගලයන් ය.

භෞතික විද්‍යාව සඳහා මෙවර නොබෙල් සම්මානය විද්‍යාඥයන් දෙදෙනෙකු වෙත පිරිනමා තිබේ. ජෙෆ්රි හින්ටන් සහ ජෝන් හොප්ෆීල්ඩ් යන දෙදෙනාට යි ඒ. හි්න්ටන් බ්‍රිතාන්‍ය-කැනේඩියානු ජාතිකයකු වන අතර හොප්ෆීල්ඩ් ඇමරිකානු ජාතික විද්‍යාඥයෙකි.

ඔවුන් දෙදෙනාට නොබෙල් සම්මානය පිරිනමා ඇත්තේ කෘත්‍රිම බුද්ධි ක්‍ෂේත්‍රයට අදාළව කරන ලද නව පර්යේෂණ සහ සොයා ගැනීම් වෙනුවෙනි. 76 හැවිරිදි මහාචාර්ය හින්ටන් බොහෝ විට හැඳින්වෙන්නේ කෘත්‍රිම බුද්ධි ක්‍ෂේත්‍රයේ ගෝඩ්ෆාදර් වශයෙනි. ඔහුගේත්, 91 හැවිරිදි මහාචාර්ය හොප්ෆීල්ඩ්ගේත් සොයා ගැනීම් කෘත්‍රිම බුද්ධි ක්‍ෂේත්‍රයේ අභිවෘද්ධියට බෙහෙවින් දායක වී ඇති බව පිලිගැනේ. වර්තමානයේ ඉතා ජනප්‍රිය වී ඇති ChatGPT වැනි යෙදවුම් නිර්මාණය කිරීමේ දී මහාචාර්ය හින්ටන්ගේ පර්යේෂණ විශාල වශයෙන් ඉවහල් වී තිබේ.

රසායන විද්‍යා සම්මානය දිනූ බේකර්, හසබිස් සහ ජම්පර්

‘මෙහෙම දෙයක් වෙයි කියල මම කවදාවත් හිතුවෙ නැහැ. මම හරිම පුදුමයට පත්වෙලා ඉන්නෙ’ තමාට නොබෙල් සම්මානයක් හිමිව ඇති බව දැන ගැනීමෙන් පසු මහාචාර්ය හින්ටන් පවසා තිබිණි.

සෑම නොබෙල් සම්මානයක් වෙනුවෙන්ම ස්වීඩන ක්‍රෝනා මිලියන 11 ක මුදල් ත්‍යාගයක් ද පිරිනමනු ලැබේ. එය ලංකා මුදලින් රුපියල් කෝටි 30 කට ආසන්න වේ.

රසායන විද්‍යාව සඳහා මෙවර සම්මානය විද්‍යාඥයන් තිදෙනෙකු අතර බෙදී ගොස් ඇත. සම්මානයෙන් අඩක් බ්‍රිතාන්‍ය ජාතික ඩෙනිස් හසබිස් සහ ජෝන් ජම්පර් යන විද්‍යාඥයන් වෙත පිරිනමා ඇති අතර ඉතිරි අඩ පිරිනමා ඇත්තේ ඇමරිකාවේ ඩේවිඩ් බේකර් නැමැති විද්‍යාඥයාට ය. ඔවුන්ට සම්මානය පිරිනමා ඇත්තේ ප්‍රෝටීනවලට අදාළව කරන ලද පර්යේෂණ වෙනුවෙනි. ප්‍රෝටීන සම්බන්ධයෙන් පසුගිය කාලයේ සිදු කරන ලද නව පර්යේෂණ වෛද්‍ය ක්‍ෂේත්‍රය ඇතුළු ක්‍ෂේත්‍ර රැසක නව සොයා ගැනීම් සඳහා පාදක විය.

භෞතික විද්‍යා සම්මානය දිනූ හින්ටන් සහ හොප්ෆීල්ඩ්

වෛද්‍ය විද්‍යා සම්මානයට ද විද්‍යාඥයන් දෙදෙනකු හිමිකම් කියා තිබේ. ඒ වික්ටර් ඇම්බ්‍රෝස් සහ ගැරී රුව්කුන් යන ඇමරිකානු විද්‍යාඥයන් දෙදෙනා යි. ඔවුන් සම්මානය දිනාගෙන ඇත්තේ ජාන විද්‍යාත්මක කාරණයකට අදාළව කරන ලද පර්යේෂණ සඳහා යි. මහ පොලොව මත සංකීර්ණ ජීවීන් ඇති වූයේ කෙසේද වැනි කාරණා පැහැදිලි කිරීමේ දී ඔවුන්ගේ පර්යේෂණ බෙහෙවින් ඉවහල් වන බව සඳහන් වේ.

ඉහත කී සෑම නොබෙල් සම්මානයක් වෙනුවෙන්ම ස්වීඩන ක්‍රෝනා මිලියන 11 ක මුදල් ත්‍යාගයක් ද පිරිනමනු ලැබේ. එය ලංකා මුදලින් රුපියල් කෝටි 30 කට ආසන්න වේ.

නිහාල් පීරිස්

අරුමැසි පුවත්