පදවිය වැවට සංචාරයක්

ලංකාවේ තිබෙන විශාල ම වැව් අතරින් එකක් තමයි පදවිය වැව. මෙයද සංචාරකයන් නිතර දක්නට ලැබෙන ඉතාම සුන්දර ස්ථානයක්.
අනුරාධපුරයට ගොස් එතැනින් මැදවච්චිය හරහා පදවියට යා හැකියි.මෙම වැව කරවූයේ ක්‍රි. ව. තුන්වන සියවසේදී රජකම් කළ මහසෙන් රජතුමා විසින්. ඉන්පසු ක්‍රි. ව. දොළොස්වන සියවසේදී මහා පරාක්‍රමබාහු රජතුමා මෙම වැව ප්‍රතිසංස්කරණය කරවා තිබෙනවා. ඉන්පසු 1954 වර්ෂයේදීත් මෙම වැවෙහි ප්‍රතිසංස්කරණයක් සිදු කර කර තිබෙනවා.

පදවිය වැවෙහි විශාලත්වය අක්කර 14000 ක ප්‍රදේශයක් පුරා පැතිර තිබෙනවා. මේ ජල ධාරිතාවය අක්කර අඩි 85000 ක් බවයි පැවසෙන්නේ. වැවෙහි ජල ධාරා ප්‍රදේශය වර්ග සැතපුම් 208 ක් පුරා පැතිරී තිබෙනවා.

පදවිය වැව සහ ඒ අවට ප්‍රදේශය ඉතාමත්ම දැකුම්කළු යි. මෙම වැවේ සුන්දරත්වය නරඹමින් ම වැව් බැම්ම දිගේ ඊට නුදුරින් වැව ඉස්මත්තේ පිහිටා තිබෙන පදවිය ආරණ්‍ය සේනාසනයට යා හැකියි. එහි ගල්තලාවට ගිය විට ඉතාමත් සුන්දර වූ වනාන්තර ප්‍රදේශයත්, වැවෙන් පෝෂණය වන කෙත්වතුත් දැකබලා ගන්නට ලැබෙනවා. පදවිය වැව ආශ්‍රිතව තමයි පදවිය ගොවිජනපද ව්‍යාපාරය බිහි වුණේ.
මේ පදවිය ගොවිජනපද ව්‍යාපාරය ගැනත් විශේෂයෙන් කිව යුත්තක් තිබෙනවා. ශ්‍රී ලංකාව ඉංග්‍රීසි ආධිපත්‍යයට නතු වූ පසු අපේ රටේ වැව් අමුණු සහ වාරිමාර්ග පද්ධතිය බිඳ වැටුණා.

අපට නිදහස ලැබී වසර ගණනකට පසු කාලයකදී, මැදවච්චිය ආසනයේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාව සිටි මෛත්‍රීපාල සේනානායක මහතා විසින් නටබුන් වී තිබූ පදවිය යළිත් ගොවි ජනපදයක් බවට පත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කළා. ඉන්පසු 1956 දී බලයට පත්වූ මහජන එක්සත් පෙරමුණු ආණ්ඩුවේ අගමැති එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මැතිතුමා විසින් මෙම ගොවි ජනපදය යළි නගා සිටුවීමට අවශ්‍ය යටිතල පහසුකම් ලබාදී සියනෑ කෝරළයෙන් සහ කුංචුට්ටි කෝරළයෙන් ගොවි පවුල් හයසීයක් තෝරා 1957 අගෝස්තු 23 වෙනිදා ප්‍රථම වරට පදවිය ගොවිජනපදයේ පදිංචි කර වූ බව සඳහන් වෙනවා.

මෙම ප්‍රදේශය නැරඹීමට යාමට වඩාත්ම සුදුසු වන්නේ නොවැම්බර් සිට පෙබරවාරි දක්වා කාලයයි. ඊට හේතුව මේ කාලයේ ඊසාන දිග මෝසම් වැසි ලැබී අවට ප්‍රදේශය සුන්දර කොළ පැහැයකින් දිස් වීමයි.

මෙම තෙත් බිම ආශ්‍රිතව පක්ෂීන් විශාල ප්‍රමාණයක් දැකගන්නට ලැබෙනවා. අපේ රටේ සුලභව දක්නට ලැබෙන පක්ෂීන් හැරුණු විට තෙත් බිම් ආශ්‍රිත සංක්‍රමණික පක්ෂීන් ද බොහෝ සෙයින් පදවිය වැව ආශ්‍රිත ප්‍රදේශයේ දී දැක බලාගත හැකියි. කරවැල් කොකා, මහකුඩු පිළිහුඩුවා, මල් පිළිහුඩුවා, විවරතුඩුවා, කලපු කිරලා, පැස්තුඩුවා, සර්ප රාජාලියා,මුහුදු රාජාලියා, වැව් රාජාලියා, මහ කොණ්ඩ උකුස්සා මේ අතර බහුලව දැකගත හැකි පක්ෂීනුයි.

අනුරාධපුරයේ චාරිකාවක යන ඔබට ඒ ගමන්ම මේ පදවිය වැවේ සුන්දරත්වය දැක බලා ගන්නත් යන්න පුළුවන්.

ඉන්දු පෙරේරා

හරිත දනව්ව