විවිධ රෝගවලට දිගුකාලීනව ප්‍රතිකාර ගන්නා රෝගීන් හට නොයෙකුත් හේතු මත නියමිත දිනයේ වෛද්‍යවරයා ළඟට, නැතහොත් සායනයට යාමට නොහැකි වන අවස්ථා යෙදේ. එවිට සමහර රෝගීන් කරන්නේ වෛද්‍යවරයා කලින් දුන් බෙහෙත් තුන්ඩුවම පෙන්වා තවත් මාස කීපයකට ෆාමසියකින් ඖෂධ ලබා ගැනීම ය. දිගින් දිගටම මෙවැනි දේවල් කරන අයත් නැතිවා නොවේ. මෙය කොතෙක් දුරට සුදුසු ක්‍රියාවක් ද ?
තමන් ගන්නා ඖෂධ හේතුවෙන් සමහර රෝග සුව වුණාද , එසේත් නැත්නම් වැඩි වුණාද යන්න රෝගියාට දැනෙන්නේ නැත. සෑම ඖෂධයක්ම ශරීරයේ කොතැනක හෝ ඇතිවන කැක්කුමකට ගන්නා වේදනානාශක බඳු නොවේ. කැක්කුමකදී වේදනානාශක ගත් විට එම කැක්කුම සමනය වීම අපට දැනේ. නමුත් බොහොමයක් රෝගවලදී මේ තත්ත්වය ඊට වඩා වෙනස් ය. ඒ නිසා ඖෂධ යනු සැලකිල්ලෙන් ගත යුතු දෙයකි.
නමුත් වෛද්‍යවරයකු ගේ නිසි පරීක්ෂාවකින් තොරව හිතුමතයට ඖෂධ ගන්නා රෝගීන් බොහෝය. ඇතැම් විට රෝගියා තුළ ඒ අවස්ථාවේ පවතින තත්ත්වය අනුව එම ඖෂධ මාත්‍රාව වැඩි කළ යුතු මට්ටමක සිටිය හැකිය. නැතහොත් මාත්‍රාව අඩු කළ යුතු හෝ ඖෂධය නතර කළ යුතු මට්ටමක වුවද රෝගියා සිටින්නට පුළුවන. හිතු මනාපයට ඖෂධ ගැනීම තුළ මේ එකක්වත් සොයා බැලීම සිදු නොවන්නේ වෛද්‍යවරයෙකුගේ පරීක්ෂාවකට ලක් නොවන නිසා ය.
ඖෂධ නිසා සමහර රෝග උත්සන්න වන්නේ හොර රහසේම ය. ඒ කොතෙක් දැයි කිවහොත් අවසාන අවස්ථාව වනතුරු රෝගියාටවත් එය නොදැනෙන්නට පුළුවන. එවිට රෝගියා පත් වන්නේ කිසිවක් කරකියා ගන්නට ඉඩක් නොලැබෙන අවස්ථාවට ය .
නමුත් වෛද්‍යවරයකු විසින් උපදෙස් දෙනු ලබන ආකාරයටම කටයුතු කරන්නේ නම් සහ නිසි පරිදි වෛද්‍යවරයාගේ පරීක්ෂාවට ලක් වන්නේ නම් ඖෂධ සම්බන්ධයෙන් කළ යුතු නොකළ යුතු දෑ සහ ගත යුතු නොගත යුතු ප්‍රමාණයන් වෛද්‍යවරයා ගේ අනුදැනුම මත ම සිදු වනු ඇත. ඒ අනුව රෝගය සුව වන බවක් වෛද්‍යවරයාට පෙනේ නම්, එතැනින් එහාට සමහර බෙහෙත් නතර කිරීම වෛද්‍යවරයා විසින්ම සිදු කරනු ඇත. නමුත් කුමන බෙහෙත නතර කළ යුතුද, කුමක් අඩු කළ යුතුද, කුමක් වැඩි කළ යුතුද ආදී වශයෙන් සියල්ල දන්නේ වෛද්‍යවරයා ය. එය රෝගියාට තේරෙන්නේ නැත .
මෙසේ ඇතැම් බෙහෙත් වර්ග නතර කළ යුතු අවස්ථාවක හෝ මාත්‍රාව අඩු කළ යුතු අවස්ථාවක තිබියදී දිගටම පළමු මාත්‍රාවෙන් ම ලබා ගන්නේ නම් එම රෝගියා කරන්නේ තේරුමක් නැතිව බෙහෙත් ගැනීම ය. මෙය එක් පැත්තකින් මුදල් නාස්තියකි. ඊට වඩා භයානක පැත්ත නම් අනවශ්‍ය ලෙස බෙහෙත් වල අතුරු ආබාධ දරාගන්නට සිදුවීම ය.
යම් හෙයකින් රෝගියාට එතෙක් ගනිමින් සිටි බෙහෙත් මාත්‍රාව තව ටිකක් වැඩි කළ යුතු බව වෛද්‍යවරයාට හැඟෙන්නේ නම්, හිතුමනාපයට බෙහෙත් ගැනීම තුළ එසේ නිසි මාත්‍රාව වැඩි කර ලබා දීමට වෛද්‍යවරයාට අවස්ථාව ලැබෙන්නේ නැත. ඒ අනුව රෝගයට අවශ්‍ය මාත්‍රාවෙන් ඖෂධ නොලැබීම මත රෝගය සිරුර තුළ පාළනය වීමක් හෝ සුව වීමක් සිදු නොවේ.
තවත් ගැටලුවක් තිබේ. ශරීරයේ තත්වය දිනෙන් දින වෙනස් වන්නේ ඔබට නොදැනෙන අයුරිනි. ශරීරය වෙනස් වන අයුරින්ම රෝගය ද විවිධ දිශාවන් වෙතට ගමන් කරයි . අද අප තුළ තිබෙන ශරීරය කලින් තිබූ ශරීරය නොවේ. එසේම අද පවතින්නේ එදා පැවති රෝගය ද නොවේ. ඒ අනුව එදා රෝගයට දුන් බෙහෙත් ඒ අයුරින්ම අදත් දිගින් දිගටම පාවිච්චි කිරීම නිසා ඇතිවන ගැටලුවල වගකීම භාර ගන්නේ කවුද? සමහර ෆාමසි මුදල් ඉපයීමේ අරමුණින් රෝගීන් ගෙන එන කුමක් හෝ තුණ්ඩුවක් අතට චගෙන එම තුණ්ඩුවේ තිබෙන බෙහෙත් නිකුත් කර මුදල් ලබා ගනී. මෙය වගකීමක් රහිත ක්‍රියාවකි . බෙහෙත් වැරදෙන තැනකදී, කල් ඉකුත් වූ බෙහෙත් නිකුත් වන අවස්ථාවකදී , බෙහෙත් මාරුවූ තැනකදී, වැරදි බෙහෙත් නිකුත් කළ අවස්ථාවකදී, රෝගියාට කතා කරන්නට අයිතිවාසිකමක් නැති වී යන බව කවුරුත් දන්නේ නැත. මෙහිදී බෙහෙත් නිකුත් වන්නේ වෛද්‍යවරයාගේ නියමිත දිනට යෙදූ අත්සන මත නොවන නිසා, කිසිවෙක් කිසිම වගකීමක් දරන්නට බැඳෙන්නේ නැත. සියලු අවදානම් රෝගියා විඳදරා ගත යුතු වෙයි.
සමහර ඖෂධ වෙනුවට ඊට වඩා ආරක්ෂිත, මිලෙන් අඩු අලුත් ඖෂධ පාමසිවලට ලැබී තිබෙන්නට පුළුවන. එවැනි ඖෂධයකට යනවාද යන තීරණය ගැනීමට වෛද්‍ය නිර්දේශය අවශ්‍ය වේ. විටින් විට වෛද්‍යවරයා හමු වන්නට ඔබට අපහසු නම්, වෛද්‍යවරයා සමග එය ද කලින් සාකච්ඡා කළ යුතුය. එවිට මාස කිහිපයකට දිය හැකි ඖෂධයක් තිබේනම් ඔබගේ ආර්ථික තත්ත්වය සලකා බලා වෛද්‍යවරයා සමහරවිට ඔබට එකඟ විය හැකිය. නමුත් එය තනිවම ගත යුතු තීරණයක් නොවේ.
සමහර රෝගීන් යම් රෝගයකට තමන්ට දී ඇති ඖෂධ තම පවුලේ කෙනෙකු එම රෝගයට ගොදුරු වූ විටද ලබා දෙන්නේ කිසිම බියක් සැකක් නොමැතිවය. නමුත් යම් කෙනෙකුට ගැළපෙන ඖෂධ තවත් කෙනෙකුට ගැළපෙන්නට විදියක් නැත.
සියලු ප්‍රශ්නවලට හේතුව නම් බටහිර ඖෂධවල තිබෙන අධි ක්‍රියාකාරි හැකියාවයි. හිතුමනාපයට බෙහෙත් ගැනීම යනු කුඩා දරුවකුට කැපෙන පිහියක් අතට දීමට නොදෙවෙනි දෙයක් විය හැකිය. පිහිය ගෙදරට අත්‍යවශ්‍ය දෙයකි. නමුත් පිහිය ප්‍රවේශමෙන් පරිහරණය කළ යුතුය . විදුලි බලය, ගින්දර වැනිදෑද එසේමය. මේවා එකක්වත් නැතුව අපට ජීවත් විය නොහැකිය . නමුත් පාවිච්චි කළ යුත්තේ දැනුම් තේරුම් ඇතිවය. බටහිර ඖෂධවල කුමන දේ අඩංගුද ? එය ශරීරය තුළදී සිදු කරන්නේ කුමක්ද ? අපේ ශරීරයට අද දිනයට එය ගැළපෙනවාද යන කරුණු තේරුම් ගත හැක්කේ රෝගීන්ට නොවේ. පුරා අවුරුදු පහක විශ්වවිද්‍යාල පුහුණුව ලැබූ වෛද්‍යවරයෙකුට හෝ සමහර විට එම පුහුණුවට අමතරව තවත් වසර ගණනාවක පුහුණුව සහ පළපුරුද්ද සහිතව විදේශ රටක විශේෂ පුහුණුව ලැබූ විශේෂඥ වෛද්‍යවරයෙකුට පමණි. රෝගීන් තමන්ගේ ශරීරය සමග සෙල්ලම් කළ යුතු නැත. පර්යේෂණ කළ යුතුද නැත. ඒවා හරි ගියොත් හරිය. වැරදුනොත් පාඩමක් ඉගෙන ගන්නටවත් අපගේ ශරීරය තවදුරටත් මේ මහ පොළොව මත පවතීවිදැයි සැක සහිත ය.
කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් ද සිල්වා
ඉන්දු පෙරේරා