2019 වසරේ අප්‍රියෙල් 21 වන පාස්කු ඉරිදා කතෝලික දේවස්ථාන කිහිපයක් සහ හෝටලයක් එල්ල කොට සිදු කරන ලද පාස්කු ප්‍රහාරය මෙරට ඉතිහාසයේ අතිශය ඛේදනීය හා නින්දිම සිදුවීමක් බව නිසැක ය. එහෙත්, අප රටට එල්ල වූ මුල්ම පාස්කු ප්‍රහාරය එය නොවේ. දෙවන ලෝක යුද සමයේ “ජපනුන් කොළඹට අහසින් බෝම්බ හෙලීම”
නම් වූ 1942 අප්‍රියෙල් 05 වන පාස්කු ඉරිදා සිදු වූ ප්‍රහාරය යි. නමුදු එය මේ වන විට බොහෝ දෙනාගේ ජන අවධානයෙන් ගිලිහුණු සිදුවීමකි. එවක අසූ පස් දෙනෙකුට අකාලයේ මරු කැඳ වූ එම පාස්කු ප්‍රහාරයේ අප රට රැක ගැනීමට මිත්‍ර හමුදාවන්ගේ ද සහාය ලත් බ්‍රිතාන්‍ය නාවික හමුදා ගුවන් බලගණය නිරතුරු සූදානමින් සිටි බැවින් ජපනුන්ගේ ඒ උත්සාහය සිතූ තරම් සාර්ථක වී නැත. එහෙත්,ජපනුන් කොළඹට හෙලීම පිණිස ගුවනින් බෝම්බ ගෙනෙන ජපන් ප්‍රහාරක යානා අප රටේ ආරක්ෂාව උදෙසා ඩෝපිඩෝ ප්‍රහාර මගින් බිම හෙළීමේ අභීත මෙහෙවරක යෙදී සිටි කැනේඩියානු තරුණ ගුවන් නියමුවකු උස්වැටකෙයියාවට නොදුරු අහසේ දී ජපන් ගුවන් ප්‍රහාරයකට ලක්ව අප මව් බිම වෙනුවෙන් තම ජීවිතය පූජා කිරීමේ අප්‍රකට පුවතක් තිබේ.
නමුත් ඒ ගුවන් අනතුරින් දිවි පිදූ වීරෝදාර ගුවන් නියමුවාගේ දේහය මිහිදන් කොට උස්වැටකෙයියාව වෙරලේ උස්වැටකෙයියාවේ කෘතවේදී ගම්වැසියෙකුගේ මූලිකත්වයෙන් තැනූ ස්මාරකයක් මෑතක් වන තුරුම එහි මුහුදු වෙරළේ දැකිය හැකි විය. එහෙත්, පසුගිය කාලය මුලුල්ලේ එම ප්‍රදේශයට වැඩි වැඩියෙන් බලපෑ දරුණු මුහුදු කෑම හමුවේ එම ස්මාරකය මුහුදට බිලි වීමට තිබූ අවදානම ද සැලකිල්ලට ගෙන අපි පසුගිය සතියේ දිනයෙක උස්වැටකෙයියාව ප්‍රදේශයේ සංචාරය කළෙමු.
මීට දශක කිහිපයකට සාපේක්ෂව උස්වැටකෙයියාව වෙරළ තීරයේ ඉඩම් සංචාරක කර්මාන්තය සහ වෙනත් කටයුතු උදෙසා විවිධ පාර්ශවයන් විසින් මිල දී ගෙන තිබීමත් ඊට අමතරව පසුගිය කාලයට සාපේක්ෂව වාරකන් කාල වලදී සිදුවන දරුණු මුහුදු කෑමත් නිසා අප මීට පෙර කිහිප වරක් ගොස් තිබූ එම සිහිවටනය ඇති ස්ථානය සොයා ගැනීමට පවා මුලදී අපට අසීරු විය. අවසානයේ අප තවමත් වේගවත් රළ පහර සහිත ඒ මුහුදු තීරයේ ඒ මේ අත සක්මන් කරනු දුටු උස්වැටකෙයියාව සංචාරක හෝටල් සේවකයකු වන ජී. සයිමන් ෆොන්සේකා මහතා ස්වේච්ඡාවෙන්ම අපට එම ඉසව්ව පෙන්වීමට ඉදිරිපත් වූයේ අද වන විට එය එතරම් අප්‍රකට තැනක් බවට පත්වී ඇති බැවිනි.
“මටත් ඔය ප්ලේන් එකේ කතාව දැන ගන්න ලැබුණේ බොහොම අහම්බෙන්. එහෙම නැත්නම් දැන් මේ පැත්තේ හොටෙල් වල කිසිම කෙනෙක් ඔය කතාව දන්නේ නැහැ.හැබැයි ඔය ගැන ආයිත් හොයලා බලන එක නම් බොහොම හොඳ දෙයක්.මොකද?වෙන මොනවා නැතත් ඔහොම දෙයක් දකින්න තියන එක මෙහාට ටුවරිස්ට්ලා ගෙන්නා ගන්න හේතුවක් කර ගන්න වුණත් පුළුවන් නේ” අප එම ස්ථානයට කැඳවා ගෙන යන අතරේ ඔහු කීය.
සැබැවින්ම වත්මන් තත්වය අනුව නම් එම අපූරු සිහිවටනය මේ වන විට නැරඹීමට තබා කතා කිරීමටවත් දෙයක් නොමැති තරමට අන්ත අසරණ බවකට පත්ව ඇති සේය. අප එසේ පවසනුයේ එය පාදමේ සිට මුළුමනින්ම මුහුදට බිලි වෙමින් තිබූ එහි විනාශයේ අවසන් අදියර පමණක් අපට එහි දී දැක බලාගත හැකි වූ බැවිනි. මෙම ස්මාරකය ලොවින් සැඟව ගත් අතීත කතාව ය.
ඕනෑම කෙනකුට යළි විමසා බැලිය හැකි ආකාරයට කිවහොත් මෙය පිහිටා ඇත්තේ කොළඹ සිට හැඳල, උස්වැටකෙයියාව, පමුණුගම ඔස්සේ මීගමුව දක්වා වැටීගත් කොළඹ බෝපිටිය බස් මාර්ගයේ‘උස්වැටකෙයියාව’ පරණ අම්බලම ප්‍රදේශයේ ය.ස්ථානය හරිහැටි කිවහොත් පරණ අම්බලම ඉන්ධන පිරවුම් හල ඉදිරියේ වූ මුහුදු වෙරළේ ය.මේ වන විට එම මුහුදු වෙරළ ආසන්න ඉඩම් සංචාරක ව්‍යාපාරය සහ අනෙකුත් කටයුතු වෙනුවෙන් පෞද්ගලික සන්තකයන් නිසා මෙම මේ වන විට ස්ථානයට පිවිසීමට අද වන විට විධිමත් පිවිසුම් මඟක් වත් නැත.පසුගිය කාලයේ සිට දරුණු මුහුදු කෑමට ලක් වූ මෙම ස්මාරක කොටස් අද මුහුදු වෙරළේ වැලි යට සැඟව තිබේ.බොහෝ ස්මාරක තැනීමට යොදා ගනු ලබන හුනුගල් පාෂාණයෙන් නිම වන ලද මෙහි සිංහල බසින් ‘නාඳුනන හේවායා සිහිවීම පිණිසයි’ යන්න කොටා තිබූ අතර එම ස්මාරකයේ ඉංග්‍රීසි බසින් In Kind of Remembrance, JR Holl, Canadian Pilot Officer, who died on 1942, Plan No. DNV 439 (1942 වසරේ මියගිය ගුවන් යානා අංක DNV 439 හි කැනේඩියානු නියමු නිලධාරී ජේ. ආර්. හෝල් සිහිවීම පිණිසයි) යන්න කොටා තිබූ බව 2014 වසරේ අවසන් වරට එහි ගිය අපට මතක ය. ඒ වදන් වලින් එම ස්මාරකය තැනවීමට මුල් වූ නිමිත්ත එලෙස තරමක් විස්තරාත්මකව දක්වා තිබේ.
මීට දශක හතක පමණ සිට දශක හතර පහක් දක්වාම සෑම වසරකම අප්‍රියෙල් මස 05 දා සහ පාස්කු ඉරිදා ප්‍රදේශ වාසීන් ගේ නොමඳ ලක් වූ මෙම ස්මාරකය අද වන විට මෙවන් අසරණ තත්වයකට පත් වීම අප තුළ සංවේගාත්මක විමතියක් දනවයි.ඒ මේ වන විට එම ප්‍රදේශයේ බොහෝ දෙනකු පවා එම නාඳුනන හේවායා ගේ සිහිවටනයේ නිදාන කතාව තබා එවැන්නක් එහි තිබූ බවක් වත් නොදන්නා බැවිනි. මෙම නාඳුනන හේවායාගේ සිහිවටනය ඉදිකොට ඇත්තේ දෙවන ලෝක යුද්ධයේ ශ්‍රී ලංකාවට බලපෑ බිහිසුණුම සමයේ දිනයෙක එනම් 1942 අප්‍රියෙල් 05 දාට යෙදුණු පාස්කු ඉරිදාවේ ලංකාවට එල්ල වූ ජපන් බෝම්බ ප්‍රහාරයේ ප්‍රහාරකයන්ට ප්‍රතිප්‍රහාර එල්ල කිරීම පිණිස කැප වී ක්‍රියා කොට මෙහි දී දිවි පිදූ ජේ. ආර්. හෝල් නම් කැනේඩියානු තරුණ ගුවන් නැවියාගේ දේහය මිහිදන් කොට ඇති ස්ථානයේ ය.ඒ සම්බන්ධ නිදාන කතාව මෙලෙසිනි.
ජපනුන් විසින් කවර මොහොතක හෝ අහසින් විත් කොළඹට බෝම්බ හෙලතැයි යන ආරංචිය 1942 වසරේ මුල භාගයේ සිට පැතිර යත්ම අගනුවර ප්‍රදේශය භීතියෙන් ඇළලී ගියේය. අගනුවර ආශ්‍රිතව පදිංචි බොහෝ දෙනෙක් තම ගේ දොර ඉඩකඩම් ආදී සියල්ල අතහැර පිට පළාත්වල පදිංචියට පවා ගියහ. එහෙත්, බ්‍රිතාන්‍යය මුල් කොට ගත් මිත්‍ර පාර්ශ්වික යුද සේනා කොයි මොහොතක හෝ එල්ල වන ඒ ගුවන් බෝම්බ ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර එල්ල කරනු පිණිස තම ගුවන් යානා සීරුවෙන් තබා ගෙන සිටියහ. බොහෝ දෙනකු අපේක්ෂා කළ පරිදි මිට්ෂුඕ පුෂීඩා ගේ ප්‍රධානත්වයෙන් යුත් ජපන් නාවික ගුවන් ප්‍රහාරක බලඇනිය අගනුවරට කඩා වැදුණේ 1942 අප්‍රියෙල් පස් වන පාස්කු ඉරිදා පෙරවරුවේ ය. එහි දී ඔවුන් විසින් අහසින් හෙළන ලද බෝම්බ අගනුවර හා ඒ අවට ස්ථාන කිහිපයකට සේම අගනුවරින් උතුරු මුහුදු තීරයේ ස්ථාන කිහිපයකට ද පතිත විය. මෙම පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ වඩාත් ඛේදනීය සිදු වීමක් වූයේ අංගොඩ මානසික රෝහල මතට වැටුණු බෝම්බයකින් එහි නේවාසිකව සිටි මානසික රෝගීන් පනහක් පමණ ජීවිතක්ෂයට පත් වීම ය.
මීට අමතරව කඳාන නෑදුරුපිටිය සහ පමුණුගම නුගපේ අතර මුතුරාජවෙල වෙල්එළිය මැදට ද එලෙස ද බෝම්බයක් වැටුණු අතර එම ස්ථානය අද දක්වාම බෝම්බ පිට්ටනිය ලෙස හැඳින්වෙයි. මෑතක එම ස්ථානයේ කතෝලික දෙව්මැදුරක් ඉදිවී ඇත. ඊට මඳක් නොදුරින් පිහිටි කඳානේ නාගොඩට ද බෝම්බයක් වැටුණු අතර එම ස්ථානය අද පවා බෝම්බ හන්දිය යනුවෙන් හැඳින්වෙයි.අහසේ සිදු වූ මෙම සටනේදී බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාව සතු ස්වොර්ඩ් ෆිශ්(Sword fish ) ප්‍රහාරක ගුවන් යානා හයක් විනාශ වූ බව පැවසේ.
කෙසේ හෝ ශ්‍රී ලංකාවට බෝම්බ හෙලීමට ආ ජපන් බෝම්බ ප්‍රහාරක යානාවක් ලුහුබැඳ ගිය ජේ. ආර්. හෝල් කැනේඩියානු තරුණ ගුවන් නියමුවා පැදවූ සතුරන්ට ප්‍රහාර එල්ල කිරීම පිණිස ටෝපිඩෝවක් සහිත යානය ජපන් බෝම්බ ප්‍රහාරයකට ලක් වන ලදුව එය අබලන්ව උස්වැටකෙයියාව පරණ අම්බලම මුහුදු වෙරළ ආසන්නයට කඩා වැටිණ. ඉන් කැනේඩියානු ගුවන් නියමුවා බරපතල ලෙස තුවාල ලද අතර තම නිවෙස් වල සිට එම බිහිසුණු දර්ශනය සියැ`සින් දැක ගත් ජුවාම් නානායක්කාර, පී. ඒ. පෙරේරා, පී.එච්. රුද්‍රිගු යන ගැමියෝ හනික එම ස්ථානයට දිව ගියහ. එහෙත්, ඒ වන විටත් එහි සිටි ගුවන් නියමුවා දැඩි අසාධ්‍ය තත්වයකින් පසු විය. එම ගැමියන් විසින් අසීරුවෙන් ඔහු ගුවන් යානයෙන් පිටතට ගෙන පොවන ලද ජලය පානය කිරීමෙන් පසු ඔහු ඒ මොහොතේ බ්‍රැන්ඩි ස්වල්පයක් ඉල්ලා සිටි බව ප්‍රදේශයේ පැරණි ගැමියෝ කියති. මෙසේ එම අනතුර සිදු වූ ස්ථානයට දිව ගිය ගැමියන් අතුරින් ජුවාම් නානායක්කාර ඒ වන විට හසනලී නම් සමාගමක වාප්පු ලිපිකරුවෙකු ලෙස කටයුතු කළ අතර ඉංග්‍රීසි, දෙමළ, මලයාලම් ආදී භාෂා කිහිපයක් ද දැන සිටියේය. ඔහුගේ නිවසේ විදේශීය මත්පැන් සංචිතයක් ද තිබිණ. ඒ මොහොතේ උස්වැටකෙයියාව ශාන්ත මරියා දේවස්ථානයේ පාස්කු දේව මෙහෙය සිදුකෙරෙමින් පැවති බවත් එය මෙහෙය වූ සුදු ජාතික පියතුමා ඇතුළු ඊට එක් වූ බැතිමතුන් පිරිස පිරිස වහා එහි අවුත් අනතුරට පත් ගුවන් නැවියා රෝහල් ගත කිරීමට සැරසෙන අතරේ ජුවාම් නානායක්කාර හනික තම නිවසට ගොස් බ්‍රැන්ඩි බෝතලයක් ගෙනවුත් තිබේ. ඉන් ස්වල්පයක් තොල ගා සෙමින් තම දෙනත පියාගත් තරුණ ගුවන් නැවියා යළි දෙනෙත් විවර කළේ නැත.
පසුව අප රටින් සැතපුම් දහස් ගණනක් දුර සිට පැමිණ අප මව්බිම සතුරු හමුදාවන් ගෙන් රැක දීමට දැරූ උත්සාහයේදී ජීවිතය පුදන්නට වූ මෙම තරුණ ගුවන් නියමුවා ගේ දේහය සුදු රෙදි වලින් ඔතා ප්‍රදේශවාසීන් ගේ උපහාර සහ සෝ සුසුම් මැද එම යානය අනතුරට පත් වූ ස්ථානයේම මිහිදන් කිරීමට උස්වැටකෙයියාව ගම්වාසීහු මානුෂීය වූහ. පසුව මෙම සිදුවීම ජුවාම් නානායක්කාරයන් ගේ සිතට කොතරම් සංවේදී වීද යත් දෙවන ලෝක යුද්ධය නිමාවීමෙන් පසු හෙතෙම තම පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් ඉහත සඳහන් සමරු සටහන ද සහිතව එම ස්මාරකය ඉදිකොට තිබේ.නමුදු මෙම සමරු සටහනේ ජයග්‍රහණය පිළිබඳව හැඟවෙන ඉංග්‍රීසි ‘වී’ අක්ෂරයට යටින් “නාඳුනන හේවායා” යනුවෙන් සඳහන් කොට ඉංග්‍රීසි බසින් ඔහු පිළිබඳව වැඩි විස්තර සඳහන් කර තිබීම එක්තරා අරුමයකි. එහෙත්, ඒ සම්බන්ධයෙන් අපට අපට තොරතුරු දැන ගත හැකි වූ අන්දමට ඔහු එම ස්මාරකය තනවන කාලයේ එම ගුවන් නැවියාගේ නම වත් හෙළිව තිබී නැත. පසුව එය හෙළිකර ගත් විගස ජුවාම් නානායක්කාර එම කැනේඩියානු තරුණ ගුවන් නියමුවා පිළිබඳ ඉහත සඳහන් විස්තරය ද ඉංග්‍රීසි බසින් එම ස්මාරකයේ කොටවා තිබේ.
ඉන්පසුව එම මියගිය ගුවන් නියමුවා ගේ මාපියන් ඇතුළු පවුලේ ඥාතින් මෙම ගුවන් අනතුර පිළිබඳව අසා දැන ශ්‍රී ලංකාවට පැමිණ එම ස්මාරකය දැක එය ඉදිකිරීමට පුරෝගාමී වූ කෘතවේදී ශ්‍රී ලංකිකයාට තුති පැසසුම් සමඟ තුටු පඬුරු ද ප්රදානය කොට ඇත. එමෙන්ම ඔහු ද එම කෘතවේදීත්වය ද තම මනැසේ ධාරණය කර ගනිමින් සෑම වසරකම අප්‍රියෙල් 05 දින එම ස්මාරකය අවට ජීවත් වන දිළිඳු පවුල් සඳහා ආහාර ප්‍රදානයක් ද සිදුකොට ඇත. එමෙන්ම එම ගුවන් නියමුවාගේ ඥාතිමිත්‍රාදීන් මෙම ස්මාරකය ගැන දැන පරම්පරා දෙක තුනක් දක්වා ශ්‍රී ලංකාවට පැමිණ එම ස්මාරකය ඉදිරියේ තම මියගිය රණවිරු ඥාතියාට උපහාර පිදීමේ අරුමයක් නැත.එමෙන්ම එම තරුණ ගුවන් නියමුවා අවිවාහකයකු බවත් ඔහු ගේ මෙම වීරෝදාර දිවි පිදුම දැනගත් ඔහු ගේ පෙම්වතිය ද පසුව එහි පැමිණ එම ස්මාරකය වැළඳ හඬා වැළපී ඊට පුෂ්පෝපහාර ද දක්වා ගිය බව මෙම ස්මාරකය වෙනුවෙන් මහත් කැපවීමක් කළ ශ්‍රී ලාංකිකයා වන ජුවාම් නානායක්කාර මහතා ගේ බෑණනුවන් වූ ස්ටැන්ලි රුද්‍රිගෝ මහතා අප හා කියා තිබේ. ජුවාම් නානායක්කාර මහතා 1990 වසරේ මෙලොවින් සදහටම සමු ගැනීමෙන් පසු මෙම ස්මාරකය ද යම් අසරණ බවකට පත් වූ බවක් පෙනී යයි.
උස්වැටකෙයියාව ප්‍රදේශවාසී ගැමියන් පවසන අන්දමට අතීතයේ මෙම නාඳුනන හේවායා ගේ ස්මාරකය තිබී ඇත්තේ වෙරළ සීමාවේ සිට අඩි තිහ හතළිහක් දුරිනි.එය සැබෑවක් බව මනාව තහවුරු කළ හැක.ඒ මා 1972 වසරේ පන්තිකාමර අධ්‍යාපනයේ වෙනසක් සිදුවිය යුතු බව විශ්වාස කළ හිතුවක්කාර පාසල් සිසුවකු ලෙස පාසලින් කට්ටි පැන මුල් වරට මෙහි යන විට එය වෙරළේ රළ සීමාවෙන් අඩි දහයක් පහළොවක් ඔබ්බෙන් තිබූ බැවිනි. එහෙත්, වරින් වර සිදුවන වෙරළ ඛාදනය නිසා කෙමෙන් මුහුදට සමීප වූ එය 2014 වසරේ මුහුදු රැලි සීමාව දක්වා ම ළංවී මේ වන විට මුළුමනින්ම මුහුදට බිලි වී තිබේ.විශේෂයෙන් 2014 වසරේ ඉදිකිරීම් ආරම්භ කරන ලද පෝට්සිටි හෙවත් වරාය නගරය නිසා මෙම ප්‍රදේශයේ වෙරළ ඛාදනය අතිශය දරුණු තත්වයකට පත්ව ඇති අතර මෙම නාඳුනන හේවායා ගේ සිහිවටනය මෙම අවාසනාවන්ත ඉරණමට නතුව ඇත.ඒ අද එම ප්‍රදේශවාසී සියල්ලන් ද මෙම මුහුදු දියට හසු වී කොටස් වැලි මත සැඟවී ඇති මෙම අගනා සමාරකය තම මතකයෙන් ද සෝදා හැර ඇති බැවිනි.
කොළඹ පෝට් සිටි හෙවත් වරාය නගරයේ පාදම සහිත පවුර නිසි ශක්‍යතා අධ්‍යයනයන් ගෙන් සහ නිසි ප්‍රමීතීන් ගෙන් තොරව ඉදිකිරීම සහ ඒ සඳහා ඉහත සඳහන් හිතුවක්කාර ස්වරූපයෙන්ම මහාද්වීපික තටාකය නම් වන නොගැඹුරු මුහුදෙන් වැලි කියුබ් ලක්ෂ තුන්දහසක් පමණ ඉවත් කර ගැනීම මුල්කොට ජල තලයේ පරිමාව පුළුල් වීම මත සාගර ප්රවාහයන් ගේ ක්‍රියාත්මක භාවය වෙනස්වීම වෙරළ ඛාදනය මෙතරම් දරුණු වීමට බලපා ඇති බව මේ වන විට තහවුරු වී තිබේ. මහාචාර්ය ජිනදාස කටුපොත ඇතුළු ශ්‍රී ලංකාවේ ප්රවීණතම භූ විද්‍යාඥයන්, සාගර විද්‍යාඥයන් සහ වෙරළාසන්න ඉදිකිරීම් ඉංජිනේරුවන් මුල සිටම මේ පිළිබඳව අනතුරු අඟවා තිබිණ.
මෙවන් පසුබිමක මෙම දරුණු වෙරළ ඛාදනය දෙවන ලෝක යුද සමයේ අපගේ මව්බිම වෙනුවෙන් ජේ. ආර්. හෝල් නම් කැනේඩියානු තරුණ ගුවන් නැවියා දිවි පිදුවේ අපගේ මව්බිම වෙනුවෙනි.ඒ අනුව ඔහුගේ එම උතුම් අභීත මෙහෙවර වෙනුවෙන් එම ස්මාරකයට පුෂ්පෝපාහාර පවා දැක්වීමට තරම් කෘතවේදී වූ උස්වැටකෙයියාව ජනතාව සාමූහිකව මුහුදු වෙරළාසන්නයේ වැලි අතර සැඟව ඇති එම ස්මාරක කොටස් එකල්ස් කොට එය සුදුසු වෙනත් තැනක ප්‍රතිස්ථාපනය කිරීමට උනන්දු නොවන්නේ එදා පැවැති ඔවුන් ගේ උතුම් මිනිස් ගුණ දම් ද දරුණු සෝදා පාළුවකට ලක් ව ඇති නිසා දැයි මට සිතා ගත නොහැක. ඒ කෙසේ හෝ මෙම ස්මාරකය යළි ප්‍රතිස්ථාපනය කිරීම සම්බන්ධයෙන් සයිමන් ෆොන්සේකා මහතා මතු කළ අදහස කෙරෙහි ප්‍රදේශයේ සංචාරක හෝටල් හිමියන් ගේ වත් අවධානය යොමු වන්න්නේ නම් එය ද අතිශය ප්‍රවර්ධනාත්මක ලෙස ඵල දරන කටයුත්තක් වනු ඇතැයි මට සිතෙයි.
තිලක් සේනාසිංහ