පවුල් ජීවිතයේ අසාර්ථකත්වයට හේතු වන කායික රෝග – මානසික රෝග විශේෂඥ වෛද්‍ය රූමි රූබන්

සාර්ථක පවුල් ජීවිතයක් ගත කිරීමට මානසික සුවය වගේම කායික සුවයත් ඉතා වැදගත්. මේ නිසා අඹු සැමි දෙදෙනාගෙන් එක් අයකු හෝ කායික රෝගාබාධයකින් පෙළෙන්නේ නම් එය දෙදෙනාගේම සතුටට බාධාවක් වෙනවා. එනිසා මේ කතා කරන්නේ එවැනි කායික රෝග පිළිබඳව යි.

අධික ස්ථුලතාවය

ඇතැම් විට රෝගයක් වශයෙන් සෘජුවම නොසැලකුණත් අධික ස්ථූලතාවයත් කායික සතුට අඩුවීම සඳහා බලපානවා. විශේෂයෙන් තමන්ට අවශ්‍ය පරිදි සිරුර පාලනය කර ගත නොහැකි වූ විට දෙදෙනාටම කායික එක්වීම් එපාවිය හැකියි. මේ නිසා දෙදෙනාගේම කායික ශක්තිය පවත්වා ගැනීම වගේම සිරුරේ බර සාමාන්‍ය තත්ත්වයෙන් පවත්වා ගැනීමත් පවුල් ජීවිතයකට ඉතා වැදගත්.

ආතරයිටිස් රෝගය

මේ රෝගය තිබෙන විට උකුළු සන්ධියේ ඉදිමීම, උකුළු සන්ධිය අල්ලන විටත් වේදනාව දැනීම, ඇතැම් විට දෙපාවල මුල සිට අග දක්වාම ඇතිවන වේදනාව වැනි ලක්ෂණ දැකිය හැකියි. මෙවැනි රෝගයක දී කායික එක්වීම්වලට ඇති කැමැත්ත හීන වන්න පුළුවන්.

හයිපොතයිරොයිඩිසම් රෝගය

තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය අඩුවීමේ මේ රෝගය මොළයට සෘජුවම බලපානවා. නිතර දැනෙන
නිදිමත, අලස බව, මන්දෝත්සාහය, මාංශ පේශීවල වේදනාව සහ මාංශ පේශි දුර්වල වීම වැනි රෝග ලක්ෂණ රාශියක් පවතින මෙම රෝගය නිසා ලිංගික ආශාවද හීන වී යනවා. එනිසා මෙම රෝගය ද සංකෘප්තිමත් යුගදිවියකට බාධා පැමිණවිය හැකියි.

දියවැඩියාව

නිසි අන්දමින් ප්‍රතිකාර ගෙන පාලනය නොකළොත් මෙම රෝගය අනිවාර්යෙන්ම කායික සතුට කෙරෙහි සෘජුවම බලපානවා. මේ රෝගය නිසා කිහිප ආකාරයකින්ම ලිංගික ජීවිතයට ගැටලු ඇතිවෙනවා. එය පහත ආකාරයට දක්වන්න පුළුවන්.

* දියවැඩියාව හොඳින් පාලනය නොකිරීම නිසා ලිංගාශ්‍රිත ප්‍රදේශයට රුධිර ගමන් කිරීමේ බාධා ඇති වී ලිංගික අප්‍රාණිකත්වය හට ගැනීම

* දියවැඩියාව පාලනය නොවන විට ස්නායු අඩපණ වීමෙන් ලිංගික අප්‍රාණිකත්වය ඇතිවීම

* විෂ වීම් තුවාල වැනි දේවල් නිසා ලිංගික ප්‍රදේශයේ ගැටලු ඇතිවීම

* දියවැඩියාව නිසා කොලෙස්ටරෝල් වැඩිවීම සහ මේද වර්ග වැඩිවීම තුළින් ලේ නහර අවහිර වීමෙන් ලිංගික අප්‍රාණිකත්වය ඇතිවීම

* කොලෙස්ටරෝල් වැඩිවන විට හෘදය වස්තුවේ ආබාධ ඇතිවන අතර ඒ සමඟම වාගේ ලිංගික ගැටලු ද ඇතිවීම

දියවැඩියාව නිසා ලිංගික අප්‍රාණිකත්වය හට ගැනීම බහුලව බලපාන්නේ පිරිමින්ට යි. කොලෙස්ටරෝල් සහ දියවැඩියාව යන දෙකම තිබෙන විට ලිංගික අප්‍රාණිකත්වය බහුල ලෙසම හටගන්නවා.

* අධික රුධිරපීඩනය
මෙය නිසි ලෙස පාලනය නොකළහොත් ලේ නහරවලට හානි ඇතිවීමෙන් ලිංගික අප්‍රාණිකත්වය හටගන්න පුළුවන්.

* දුම්පානය
දියවැඩියාව, කොලෙස්ටරෝල් යන රෝග තත්ත්වයන් දෙකම තිබෙන අය දුම්පානය කිරීම හේතුවෙන් මේ තත්ත්වය තවත් වැඩි වෙනවා. මේ රෝග තත්ත්වයන් නොතිබුණත් යම් කෙනෙක් දුම්පානයට ඇබ්බැහි වී සිටිනවා නම් එයම ලිංගික අප්‍රාණිකත්වය කෙරෙහි බලපානවා.

* අධික ලෙස මත්පැන් පානය
මෙහිදීත් අක්මාවේ ආබාධ සමඟ සිරෝසිස් රෝගය හටගත හැකියි. සිරෝසිස් ඇති විට අනිවාර්යයෙන්ම ලිංගික අප්‍රාණිකත්වය ද ඇතිවෙනවා.
එසේම මත්පැන් නිසා ස්නායු දුර්වල වීමත් ලිංගික අප්‍රාණිකත්වයට හේතු වෙනවා.

දීර්ඝකාලීනව මත්පැන් හා දුම්පානය කරන කෙනෙකුට වයස පනහ හැට වන විට ලිංගික අප්‍රාණිකත්වය නිසැක ලෙසම හට ගැනීමේ වැඩි ප්‍රවණතාවයක් තිබෙනවා.

කාන්තාවන්ටද අධික රුධිරපීඩනය, දියවැඩියාව වැනි රෝග නිසා යෝනි මාර්ගයේ තෙත් ස්වභාවය අඩු වීමෙන් ලිංගික ආශාව හීන විය හැකියි.
ලිංගික අප්‍රාණිකත්වය හට ගත් විට බොහෝ පිරිමින් කරන්නේ තම දුබලකම වසා ගැනීමට බිරිඳට බැන වැදීමයි. නැතහොත් බිරිඳව සැකකිරීමයි. මේ නිසා ලිංගික අප්‍රාණිකත්වය කියන්නේ පවුල් ජීවිතය තුළ බොහෝ ගැටලු ඇති කරන තත්ත්වයක් බව වටහා ගත යුතුයි.
මේ අනුව බොහෝ කායික රෝග ලිංගික ජීවිතයට සෘජුව හෝ වක්‍රව බලපෑම් ඇති කරනවා. කායික රෝග දෙක තුනක් තිබෙන විට එහි අතුරු ඵල ලෙස බොහෝ විටම ලිංගික අප්‍රාණිකත්වය, ලිංගික ආශාව අඩුවීම වැනි තත්ත්වයන් ඇති වන්නට පුළුවන්.
රෝග තිබෙන විට ඊට ඖෂධ ප්‍රතිකාර ගැනීම සහ වෛද්‍ය උපදෙස් පිළිපදිමින් ජීවන රටාව වෙනස් කර ගැනීම තුළින් ලිංගික අප්‍රාණිකත්වය වැනි තත්ත්වයන් වළක්වා ගැනීමට හෝ අඩුකර ගැනීමට හේතු වෙනවා. එසේ නොවුවහොත් රෝගය පාලනය කර නොගැනීමේ අතුරු ආබාධයක් ලෙස පිරිමින්ට මෙන්ම කාන්තාවන්ටත් ලිංගික ආශාව අඩු වී යන්න පුළුවන්.

මානසික රෝග විශේෂඥ වෛද්‍ය රූමි රූබන්

ඉන්දු පෙරේරා

විනිවිද සායනය