පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ උද්වේගකරම අවසන් මහා තරගය

football

2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය නිමාව දුටුවේ එම තරගාවලි ඉතිහාසයේ වඩාත්ම උද්වේගකර අවසන් මහා තරගයක් නැරඹීමේ වාසනාව පාපන්දු ලෝලීන් වෙත උදා කර දෙමිනි. මොහොතින් මොහොත ත්‍රාසයෙන්, කුතුහලයෙන් කුළු ගැන්වෙන ක්‍රියාදාම චිත්‍රපටයක් වැනි වූ එම තරගයෙන් තියුණු ජයක් ලබමින් අවසානයේ ලෝක ශූරයන් බවට පත් වූයේ ආජන්ටිනාව යි. එසේ වුවත් ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූ ප්‍රංශය ද කරට කර තරගයක් දෙමින් විශාල ගෞරවයක් දිනා ගැනීමට සමත් විය.

mesi

තරගයේ නියමිත කාලය තුළ මුලින් ගෝල වාර්තා කළේ ආජන්ටිනාවයි. එම කාලයේ අවසන් භාගය ළඟා වනතෙක්ම ආජන්ටිනාව ගෝල 2 ක් ලබා ගෙන ඉදිරියෙන් සිටි අතර කව්රුත් සිතුවේ ප්‍රංශය විශාල පරාජයක් උරුම කරගනු ඇතැයි කියා ය. නමුත් ප්‍රංශ කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක කිලියන් ම්බප්පේ පහසුවෙන් පරාජය පිලිගන්නට සූදානම් වූ බවක් නොපෙනිණි. නියමිත කාලය අවසන් වීමට ඉතා ආසන්නව තිබිය දී ඔහු පිට පිට ගෝල දෙකක් වාර්තා කළේ පාපන්දු ලෝලීන් විස්මයට පත් කරමිනි. තරගයේ මුල් අදියර අවසන් වෙද්දී දෙපිලම ගෝල 2 බැගින් ලබා ගෙන සිටි නිසා අමතර කාලයක් ලබා දීමට විනිසුරුවරයාට සිදු විය. එම කාලය තුළ නැවතත් ලියොනල් මෙසී ආර්ජන්ටිනාව වෙනුවෙන් ගෝලයක් ලබා ගැනීමත් සමග එරට පාපන්දු ලෝලීන් නැවතත් සැනසුම් සුසුමක් හෙලුවාට සැකයක් නැත. නමුත් ම්බප්පේ යළිත් ඔවුන්ගේ බලාපොරොත්තු බිඳ දමමින් අවසන් මොහොතේ තවත් ගෝලයක් වාර්තා කළේය. දෙපිලේ ගෝල සංඛ්‍යාව තවදුරටත් සමාන වූයෙන් ජයග්‍රාහකයා තීරණය කිරීම සිදු වූයේ දඬුවම් පහර 5 බැගින් දෙපිලට ලබා දීමෙනි.

bampe

ආජන්ටිනාව ලෝක කුසලානය දිනාගත්තේ වසර 36 කට පසුව යි. අවසන් වරට ඔවුන් ලෝක ශූරයන් බවට පත් වූයේ 1986 වසරේ ය. එම අවස්ථාවේ කණ්ඩායමේ නායකතවය දැරුවේ පාපන්දු ලෝකයේ පුරාවෘත්තයක් වන දියේගො මැරඩෝනා යි. එවර අවසන් තරගයේ දී ආජන්ටිනාවේ ප්‍රතිවාදීන් වූයේ ජර්මනිය ය. ආජන්ටිනාව මේ වනවිට තුන්වරක් ලෝක කුසලානය දිනාගෙන තිබේ. පළමු වරට ඔවුන් එම දස්කම කළේ 1978 වසරේ ඩැනියෙල් පැසරෙල්ලාගේ නායකත්වය යටතේ යි. එම වසරේ අවසන් තරගයට සහභාගි වූ අනෙක් කණ්ඩායම වූයේ නෙදර්ලන්තය ය.

2022 ලෝක ශූරයන් වූ ආජන්ටිනාවට එම ජයග්‍රහණය වෙනුවෙන් ඇ.ඩොලර් මිලියන 42 ක විශාල මුදල් ත්‍යාගයක් හිමි විය. එය ලංකා රුපියල්වලින් කෝටි 1,500 කට ආසන්න මුදලකි. දෙවැනි තැන දිනූ ප්‍රංශයට ඇ.ඩොලර් මිලියන 30 ක් (ලංකා රුපියල් කෝටි 1,100 ක් පමණ) හිමි වූයේය.

kliyan

මෙවර තරගාවලියේ රන් සපත්තුව (Golden Boot) සම්මානය හිමි වූයේ ප්‍රංශයේ ම්බප්පේට යි. මෙම සම්මානය පිරිනමන්නේ තරගාවලිය තුළ වැඩිම ගෝල සංඛ්‍යාවක් ලබාගත් ක්‍රීඩකයාට ය. මෙවර තරගාවලිය තුළ ම්බප්පේ ගෝල 8 ක් වාර්තා කිරීමට සමත් වූයේය. අවසන් තරගයේ දී ඔහු ගෝල ත්‍රිත්වයක් වාර්තා කිරීම විශේෂත්වයකි. ක්‍රීඩකයකු අවසන් තරගයක දී මෙවැනි දස්කමක් දැක්වූයේ වසර 56 කට පසු පළමු වතාවට යි. මෙයට පෙර මේ ආකාරයෙන් අවසන් තරගයේ දී ගෝල ත්‍රිත්වයක් වාර්තා කළේ එංගලන්තයේ ජෙෆ් හර්ස්ට් ය. ඒ 1966 වසරේ යි.

මෙවර ලියොනල් මෙසීට ද සම්මානයක් හිමි විය. ඒ, රන් පන්දුව (Golden Ball) සම්මානය යි. තරගාවලියේ හොඳම ක්‍රීඩකයාට මෙම සම්මානය පිරිනැමේ.

මෙසී මෙවර ලෝක කුසලාන තරගාවලියෙන් පසු විශ්‍රාම ගනීවි ද යන්න සම්බන්ධයෙන් ද පාපන්දු ලෝලීන් තුළ සැකසංකා පැවතිණි. නමුත් මෙම තරගයෙන් පසු ඔහු එම සැකසංකා දුරු කර තිබේ. මෙසී පවසා තිබුණේ ලෝක ශූරයන් ලෙස තවත් තරගාවලි කිහිපයකට සහභාගි වීමට තමා තුළ ආසාවක් ඇති බවයි. කෙසේ නමුත් ඔහු මීළඟ ලෝක කුසලාන තරගාවලියට නම් සහභාගි වනු ඇතැයි සිතීම අපහසු ය. මේ වනවිට ඔහුගේ වයස අවුරුදු 35 කි. මීළඟ ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන 2026 වනවිට මෙසීගේ වයස අවුරුදු 39 ක් වනු ඇත.

ajantina

ඉරිදා පැවැති අවසන් තරගයේ දී කාගේත් අවධානය දිනාගත් ඡායාරූප පෙලක් විය. ඒ ප්‍රංශයේ ජනාධිපති එමානුවෙල් මැක්රොන් තරග පරාජය නිසා ශෝකයෙන් සිටි ම්බප්පේගේ සිත සනසන ආකාරය දැක්වෙන ඡායාරූප යි. තරගයෙන් පසු මාධ්‍ය අමතමින් මැක්රොන් ම්බප්පේ ගේ දස්කම් ඉහළින් වර්ණනා කර තිබිණි. ඔහු සඳහන් කළේ ම්බප්පේ තම රට ආඩම්බරයට පත් කළ බවයි.

‘තරගයේ මුල් කාල සීමාව අවසන් වෙද්දීත් අපි හිටියේ හුඟක් පිටුපසින්. නමුත් අපි කෙසේ හෝ විස්මයජනක ලෙස ඉදිරියට ආවා. එය ලෝක කුසලාන ඉතිහාසයේ විරල අවස්ථාවක්’ යයි ජනාධිපතිවරයා සඳහන් කළේය. ‘ම්බප්පේ කළ දේ අසාමාන්‍ය යි. එමෙන්ම මුළු කණ්ඩායමටම ජයග්‍රහණය පිලිබඳ පිපාසයක් තිබුණා.

‘ම්බප්පේ යනු ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයෙක්. ඔහු තවම ලාබාලයි. මම ම්බප්පේට කිව්වා ඔහුට තවම අවුරුදු 23 යි කියලා. මෙවර තරගාවලියේ වැඩිම ගෝල ගණනක් ලබා ගත් ක්‍රීඩකයාත් ඔහු යි’ මැක්රෝන් තවදුරටත් පවසා තිබිණි.

2022 ලෝක කුසලාන තරගාවලිය පැවැත්වුණේ කටාර් රාජ්‍යයේ ය. 2026 මීළඟ ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන්නේ ඇමරිකාව, කැනඩාව සහ මෙක්සිකෝව යන රටවල යි. තරගාවලිය ආරම්භ වීමට නියමිතව ඇත්තේ ජුනි 8 වැනි දින යි. අවසන් තරගය ජුලි 3 වැනි දින පැවැත්වීමට නියමිත ය.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර