පාපී කේන්දර කියා ජාතියක් සැබෑ ජ්‍යොතිෂයේ නැහැ

වත්මන් සමාජයට පාපී මිනිසුන් ගෙන් කිසිදු අඩුවක් නැත.එහෙත්, අද අප මේ කතා කරනුයේ ඒ පාපී මිනිසුන් ගැන නොවේ.පාපී ග්‍රහයන් සහිත පාපී කේන්ද්‍ර පිළිබඳව ය.මේ දිනවල ඉරිදා පුවත්පතක පළ වන මංගල යෝජනා තීරයක් පරීක්ෂා කළ හොත් මේ පාපී ග්‍රහයන් සහිත පාපී කේන්ද්‍ර පිළිබඳව සඳහන් මංගල යෝජනා කොතෙක් තිබේ දැයි ඔබටම වටහා ගත හැක.
’මගේ දුවට, පුතාට තියෙන්නේ නම් පාපී කේන්දරයක්, ඒ හින්දා ඒවට පොරොන්දම් ගැළපෙන්න නම් ඒ වගේ කේන්දරයක්ම තියෙන දරුවෙක් වෙන්න ඕනේ කියලයි හැමෝම කියන්නේ. ඒ හින්දම තමයි අපේ පුතාගේ, දුවගේ කේන්දරේ මෙච්චර ප්‍රමාද වෙන්නේ .බලන්නකෝ මේ කේන්දර දෙකවත් ගැළපෙයිද කියලා’ තම දරුවන් වෙත යොමු වන විවාහ යෝජනා මුල් කොට කේන්ද්‍ර පරීක්ෂාවනට පැමිණෙන බොහෝ මාපියෝ එසේ කියති.ඒ සෑම විටෙකම ම‘විසින් කරනු ලබන එක් කාරියක් තිබේ. එනම් ඒ කේන්දර පිටපත් දෙක පසෙක තබා ඔවුන්ගේ පුතා හෝ දියණිය පිළිබඳ කරුණු විමසා සිටීම ය.එවිට ඔවුන් වැඩි දෙනකු පවසන විස්තරවලට අනුව එම තරුණ තරුණියෝ ඉහළ අධ්‍යාපන සුදුසුකම් ඇති යහපත් රැකියා හෝ ආදායම් අවස්ථා සේම හොඳ පෞරුෂයකට ද හිමිකම් කියන්නෝ වෙති.

‘ඉතින් ඔය කියන විදියට බොහොම පින්වන්ත දරුවෙක්නේ. එහෙම දරුවෙකුට කොහොමද ඔහොම පාපී කේන්දරයක් පිහිටන්නේ’ මම එවිට අසමි. එවන් විමසුම්වල දී ඔවුන් අතුරින් වැඩි දෙනෙකු ඒ සඳහා දෙන පිළිතුරු දෙකක් තිබේ. ඉන් පළමු වැන්න ‘දරුවා පින්වන්ත වුණාට ඉතින් කේන්දරේ පාපී වෙන්න පුළුවන් නේද?’ යන්න ය.
‘එහෙම වෙන්නේ කොහොමද? ඒක හරියට ලස්සන, කඩවසම් කෙනෙකුට කැත,විරූපී ශරීරාංග පිහිටනවා වගේ කතාවක්නේ’ යනුවෙන් මම කියමි. ඒ අතර ඉහත සඳහන් මගේ පැනය හමුවේ තවත් පිරිසක් පවසන වෙනම කතාවක් තිබේ. ‘ඒක තමයි අපිත් මේ කල්පනා කළේ මෙච්චර පින්වන්ත දරුවෙකුට මේ වගේ පාපී කේන්දරයක් හිමි වුණේ කොහොමද කියලා’ යන්න එම පිළිතුරයි.
‘ඔය කවුරුත් අපේ රටේ හැම තැනම තියෙන චයිනීස් රෙස්ටෝරන්ට් ගැන දන්නවා ඇති. සමහර විට ඒවයින් කෑම කාලා, කෑම අරගෙන එහෙමත් එන්නේ.’ අනතුරුව මා එසේ පවසනුයේ අපගේ මාතෘකාව වෙනස් අතකට හරවමිනි.‘ඒ හුඟක් චයිනීස් රෙස්ටෝරන්ට්වල තියෙන්නේ නමට චීන කෑම මිසක් චීන්නු උපන්තේකට කාලා දැකලා තියා අහලා වත් නැති අමුතුම කෑම ජාති බව දන්නවාද? ඒ වගේ තමයි මේකත්’. මා එසේ කී විට ඔවුන් සැක හා කුතුහලය මුසු මුහුණකින් මා දෙස බලා හිඳිනු පෙනෙයි.

‘ඔය පාපී කේන්දර කියන කතාව පිළිගත්තු සිද්ධාන්ත මත පදනම් වුණු කිසිම ජ්‍යොතිෂ සිද්ධාන්තයක,සම්ප්‍රදායක ගුරුකුලයක කියැවෙන එකක් නෙවෙයි. ඕක අද ජ්‍යොතිර්වේදී තොරොම්බල්කාරයෝ මිනිස්සු බය ගන්වන්න හදපු කිසිම පදනමක් නැති හිස් ප්‍රලාපයක් විතරයි. මා එසේ පවසත්ම ඔවුන් බොහොමයක් අන්දුන් කුන්දුන්ව ම’දෙස බලා සිටිනුයේ මා ඔවුන්ගේ මනැස් තුළට තදින්ම කිඳාබසින ලද විශ්වාසයකට සෘජු පහරක් එල්ල කරන බැවිනි.

‘ග්‍රහ මණ්ඩලයේ ඉන්න නව ග්‍රහයන්ගෙන් රවි, ශනි, කුජ, රාහු, කේතු කියන ග්‍රහයන් පස් දෙනා පාප ග්‍රහයන් විදියට හඳුන්වනවා. ඒ බෙදීම ඒ එක එක ග්‍රහයන්ගෛන් නිරූපණය වන ලක්ෂණ අනුව කරපු එකක් මිසක් ඒ ග්‍රහයන් පස් පව් දස අකුසල් කරන හින්දා පටබැඳුණු නමක් නෙවෙයි. දැන් බලන්න ඒ පාප ග්‍රහ ලැයිස්තුවේ මුලම ඉන්නේ රවි. ඒ කියන්නේ සූර්යා ඔය කියන විදිහට සූර්යාත් පාප ග්‍රහයෙක් නම් තවත් මොන කතාද?’ මම එවැනි අවස්ථාවල ඔවුනට කියමි.

ඉහත සඳහන් රවි, ශනි, කුජ, රාහු. කේතු යන ග්‍රහයන්ගේ නිසර්ග ස්වභාවයන් අනුව ඔවුන් පාපී ග්‍රහයන් ලෙස නම් කළ ද ඒ පොදු ජන විශ්වාසයට අනුව ‘පව්කාර’ යන අදහසින් නොවේ. එලෙස ඔවුන් පාපී ලෙස නම් කොට ඇත්තේ ඔවුන්ගෙන් එල්ල වන අශුභ ඵල සෙසු ග්‍රහයන් හතර දෙනාගෙන් එල්ල වන අශුභ ඵලවලට වඩා බලවත් ලෙස ජ්‍යොතිර්වේදයේ සඳහන් වන බැවිනි.එමෙන්ම ඒ ග්‍රහයන් සිව් දෙනා නීච වන ලග්නස්ථාන ද ජ්‍යොතිර්වේදයේ දක්වා තිබේ. ඒ අනුව රවි තුලාවේත්, ශනි මේෂයෙත්, කුජ කටකයේත්, රාහු වෘශ්චිකයේත්, කේතු වෘෂභයේත් නීච වන බව දක්වා තිබේ. මෙම ග්‍රහයන් සේ සෙසු ග්‍රහයෝ ද අශුභ භාවයන්හි සේම සතුරු ස්ථානවලට එළැඹි විට බලය දුර්වල වන බව පැවසෙයි. නමුත් ඔවුන් වෙත ද ශුභ ග්‍රහ දෘෂ්ටි එල්ල වේ නම් ඔවුන් ද ශුභ ග්‍රහයන් සමග සංයෝග වේ නම් දිග්බලව, කේන්ද්‍රගත වේ නම් එම ජන්ම හිමියන්ට යහපතක් උදා කරන බැවින් ඔවුන් පාප ග්‍රහයන් සේ සැලකීම බලවත් වරදකි.කිසියම් ග්‍රහයකු ජන්ම පත්‍රයක කොතැනක හෝ සතුරු ලෙසින් හෝ නීචව නැතහොත් වක්‍රව සිටී නම් එය පාප ග්‍රහ පිහිටීමක් බව ජ්‍යොතිර්වේදයේ මූලික පාඩම් වල දැක්වෙයි.නමුත් එම ග්‍රහයාට ගුරු,බුද,චන්ද්‍ර,ශුක්‍ර වැනි ග්‍රහයකු ගේ බලගතු දෘෂ්ටියක් යොමු වේ නම් එම අශුභ බලය භංග වේ.එසේම ශුභ දශා කාලයක් තුළ ද එම දෝෂය අවම වෙයි.ඒ අතරේ ගෝචර ගමනින් ශුභ ග්‍රහයකු අශුභ ග්‍රහයා සිටි තැනින් ගමන් කරයි නම් එය ද අශුභ ඵල අවම කරවීමට හේතුවකි.එමෙන්ම ජන්ම පත්‍රයේ රාජ යෝගයක් පිහිටා තිබීම ද එලෙස අශුභ ඵල අවම කරවීමට හේතුවකි.ඒ අනුව මූලික ග්‍රහ පිහිටීම් වලට අනුව ඇතැම් කේන්ද්‍ර පාපී කේන්ද්‍ර ලෙස හැඳින්වීම පුද්ගලයකු දෙදෙනකු සම්බන්ධයෙන් කරුණු සළකා බලා උස මිනිසුන් නපුරු ය.තරබාරු මිනිසුන් ආත්මාර්ථකාමී ය.මිටි මිනිසුන් ත්‍යාගශීලී ය.කෙසඟ මිනිසුන් පරාර්ථකාමී ය වැනි මරි මෝඩ කතාවකි.

ජ්‍යොතිෂයේ එන නව ග්‍රහයන්ගෙන් සැම ග්‍රහයකු වෙතින්ම ජන්මියාට ඉටු අනිටු විපාක හිමි වන බව පිළිගත් ජ්‍යොතිර්වේදී ඉගැන්වීමකි. එසේ නොමැතිව යමකුට ශුභ හෝ අශුභ  ඵල පමණක් උදා කරන ග්‍රහයකු ඇත්තේම නැත. නමුදු අප රටේ බොහෝ දෙනෙක් ග්‍රහ ඵල පසෙක තිබිය දී “ග්‍රහයන්ට බිය වීමේ” නැඹුරුවක් දක්වති. ඒ අතුරින් සෙනසුරු යන අප සමාජයේ බොහෝ දෙනකු වැඩිම බියපත් බවක් පළ කරන ග්‍රහයා වේ.ග්‍රහ මාරුවීම් යනු ජ්‍යොතිර්වේදයේ හැඳින්වෙන ඉතා ස්වභාවික ක්‍රියාවලියකි. නමුදු සෙසු ග්‍රහයන්ගේ මාරුවීම කෙසේ වෙතත් සෙනසුරු මාරුව යනු අද බොහෝ දෙනකුගේ සියොළඟ කිලිපොලා යන සංසිද්ධියක් බවට පත්ව තිබේ. ඒ නිසාම සෙනසුරු මාරුව නම් වන ග්‍රහමය සංසිද්ධිය මුල්කොට විශේෂ රූපවාහිනී වැඩසටහන් ආදිය පවා සම්පාදනය වෙයි. ඒ අතරේ මෙම සෙනසුරු මාරුවට බියෙන් අප රට හැර යන රටේ ප්‍රබල දේශපාලනඥයන් සේම සමාජ ආර්ථික වශයෙන් බලගතු පුද්ගලයන්ගේ සංඛ්‍යාව සුළුපටු නැත. නමුත් ජන සම්මතයට අනුව එතරම් නරක, අසුබ පාපී ග්‍රහයකු වන සෙනසුරු තුලා රාශියේ දී උච්ච වීම කේන්දරගත වීම ‘සස’ නම් රජ යෝගය පවා උදාකරවන ග්‍රහ පිහිටීමක් බව තවමත් අප සමාජයේ බොහෝ දෙනකු නොදනිති. ඒ අනුව විවාහ පොරොන්දම් සැකසීමේ දී විශේෂයෙන් කතා බහට ලක් වන මෙම පාපී කේන්දර කතාව සිද්ධාන්තමය ජ්‍යොතිර්වේදයට අනුව විස්තර කළ හැක්කේ ඉතා බොළඳ හා ළාමක ගණයේ මෝඩ සරදමක් ලෙස පමණකි. එය ජ්‍යොතිර්වේදයේ හෝඩිය වත් හරි හැටි නොදැන වාක්‍ය රචනා ලියන්නට යන්නවුන් සිදු කරන බලවත් වරදකි.බරපතල සමාජ අසාධාරණයකි.

හේම ශ්‍රී අමරසිංහ

ඉරා අදුරුපට