පාර්ලිමේන්තුවේ” හරක් හොරු”

අය වැය විවාදය මේ දිනවල පාර්ලිමේන්තුවේ පැවැත්වෙන බැවින් බොහෝ පිරිසකගේ අවධානය ඒ වෙත යොමුව තිබේ. වැඩිහිටියන්ගේ අවධානය මේ වෙත යොමුව පැවැතිය ද තරුණ පිරිසගේ අවධානය මේ වෙත යොමු නැත. පාර්ලිමේන්තුව කී සැණින් තරුණ පරපුර මුහුණු ඇඹුල් කර ගන්නේ ඉතා අප්‍රසන්න දෙයක් මතක් කළ ආකාරයක් පිළිඹිඹු කරන්නාක් මෙනි.

වයස අවුරුදු 20 ත් 35 ත් අතර කණ්ඩායම ගත් විට බහුතරයක් සිටින්නේ “පාර්ලිමේන්තුව පුපුරුවා හැරිය යුතු ය” යන උද්වේගකර මතයේ ය. පාර්ලිමේන්තුව රටට මහා බරක් සපයන ආයතනයක් ලෙස මොවුන්ගේ චිත්ත සන්තානයේ මැවී තිබේ.

සමාජ මාධ්‍ය වෙත වැඩි නැඹුරුවක් දක්වන මේ තරුණ පිරිස අතර “ටික් ටොක්” ඉතා ජනප්‍රිය ය. හිපොප්, රැප් වැනි සංගීතයන්ට ප්‍රිය මේ කණ්ඩායම දේශපාලනය අප්‍රිය කරයි. ඊට හේතුව වන්නේ සමාජ මාධ්‍ය තුළින් හා සිය මිතුරන් විසින් පවතින ක්‍රමය ප්‍රතික්ෂේප කිරීම ය. ඔවුනට අහන්නට දකින්නට ලැබෙන්නේ නිදහසින් වසර 74 ක් ගතව ඇතත් තවමත් ශ්‍රී ලංකාව ඌණ සංවර්ධිත හෝ දියුණු වෙමින් පවතින රටක් යන අදහස ය.

අන්තර්ජාලය ඔස්සේ ලෝකයේ අනෙකුත් රටවල තරුණ පිරිස ගත කරන ජීවිතත්, වර්තමානයේ ලංකාවේ තරුණ පිරිසට ගත කිරීමට සිදුව ඇති ජිවිතත් සංසන්දනය කරද්දී තම ජීවන පසුබෑමට හේතුව දේශපාලඥයන් ය යන්න මොවුන්ගේ හදවත් තුළ පැළපදියම්ව තිබේ. වසර 74 ක් තිස්සේ මාරුවෙන් මාරුවට ජනතාව රවටමින් සොරකම් කළා මිස දේශපාලඥයන් රටට කළ දෙයක් නැත ය යන්න ඔවුන්ගේ පොදු අදහස වී තිබේ.

දේශපාලනඥයා ද රඟ දක්වමින් සිටින්නේ අර්ථ ශුන්‍ය භූමිකාවකි. පාර්ලිමේන්තු හැන්සාඩ් යනු අතීතයේ දී උසස් පෙළ දේශපාලන විද්‍යාව හදාරන සිසුන් වෙනුවෙන් පරිශීලනය කිරීමට ගුරුවරුන් නිර්දේශ කළ ග්‍රන්ථයකි. පාර්ලිමේන්තුවේ සිදුවන විවාද සියල්ලම අකුරක් නෑර හැන්සාඩ් වාර්තා තුළට ඇතුළත් වේ. එම නිසා දේශපාලඥයන් කරන ආර්ථික දේශපාලන විග්‍රහයන් හැන්සාඩ් වාර්තාව ගෙන බැලූවිට උකහා ගත හැකි ය.

අතීතයේදී දේශපාලඥයන් විවාදයකට සම්බන්ධ වීමට ප්‍රථම මෙරට මෙන්ම ලෝක දේශපාලනය ද අධ්‍යයනය කොට ඊට අදාළ ලිපි ලේඛන පවා ඉදිරිපත් කෙරේ. එසේ නොමැතිව ඔවුන් බොහෝ විට විවාදයන්ට එකතු වූයේ නැත. මෙම සම්ප්‍රදාය වෙනස් වන්නට පටන් ගත්තේ 1988 න් පසුව ය. ඒ උගතුන් බුද්ධිමතුන් වෙනුවට හොරුන්, තක්කඩින් හා මැරයන් පාර්ලිමේන්තුවට පැමිණීම ඉඩ හසර විවෘත වූ බැවිනි.

ජනාධිපති ආර්. ප්‍රේමදාස පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමයට ගෙන ආ සංශෝධනයත් සමඟ මනාප ඡන්ද ක්‍රමය බිහිවිය. 1977 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මැතිවරණ ක්‍රමය සංශෝධනය කළ ද මනාප ක්‍රමයක් ඉදිරිපත් කළේ නැත. මනාප ක්‍රමය ගෙන ඒමෙන් පසු සියල්ල කණපිට පෙරළිණ. ඉන් පසු 1994 – 2000 පාර්ලිමේන්තුවට පැමිණි පිරිසෙන් ද බහුතරය බුද්ධිමතුන් නොවූහ. එය ශීඝ්‍රයෙන් වර්ධනය වී 2005 – 2010 කාලය පාර්ලිමේන්තුව සම්පූර්ණයෙන්ම විහිළු සපයන ආයතනයක් බවට පත්විය. ඒ මර්වින් සිල්වා වැන්නවුන්ගේ සම්ප්‍රාප්තියත් සමඟ ය.ඉන් පෙර ද එබඳු නොවැදගතුන් පාර්ලිමේන්තුවේ නොසිටියාම නොවේ.නමුත් එවැන්නවුන් ඉදිරිපත් කළ පාර්ලිමේන්තු “විනෝද සමය” වැඩ සටහන් සමාජ ගත වූයේ නැත.එමෙන්ම අතීතයේ පුවත්පත්වලට සීමාවූ පාර්ලිමේන්තු වාර්තාකරණය විද්‍යුත් මාධ්‍යයට ද විවෘත වූ අතර විද්‍යුත් මාධ්‍යයන් තුළින් පාර්ලිමේන්තු විවාද ජනප්‍රිය කරවීමට කුණු රසය ජනිත කරවූ මෙම විවාදයන් සමත් විය. සමාජ මාධ්‍යය ද ඒ අතර ජනප්‍රිය වෙද්දී මෙම විවාද සහිත විඩියෝ කොටස් ලක්ෂ ගණන් ප්‍රේක්ෂකයන් නරඹන තැනට පත්විය. ඉන් ඔබ්බට ගුරුවරුන් හැන්සාඩ් පරිශීලනය කරන්නට දරුවන් යොමු නොකළේ එමඟින් දරුවන් නොමඟ යාමේ පැහැදිලි ඉඩක් පවතින බැවිනි.

වරක් පාර්ලිමේන්තු ගැලරියේ සිටි පාසල් සිසුන් ඉවත් කිරීමට පවා කතානායක වරයාට සිදුවූයේ එතරම් අශෝභන වාග් සංග්‍රාමයන් සභාව තුළ ගිගුම් දෙන්නට වූ බැවිනි. මන්ත්‍රීවරුන් බැණ අඩගසා ගැනීම් මෙන්ම ගුටිබැට හුවමාරු ද වැඩි වශයෙන් දක්නට හැකි විය. අතීතයේදී ද පාර්ලිමේන්තුව තුළ ඉඳහිට ගුටි බැට හුවමාරු මෙන්ම අශෝභන වදන් ප්‍රකාශ කිරීම් පැවැතිය ද පොදුවේ මන්ත්‍රීවරුන්ගේ කතා අර්ථ ශූන්‍ය නොවීය.

මෑත කාලයේ ඉතාම දක්ෂ පාර්ලිමේන්තු කථිකයෙකු වූයේ අනුර බණ්ඩාරනායක ය. ඔහු පාර්ලිමේන්තු විවාදයකට සම්බන්ධ වීමට සති දෙකක පමණ සිට සුදානම්ව පැමිණෙන අයෙකි. ඔහු කතා කරන විට කිසිවෙකු බාධා නොකරන්නේ ද එතරම්ම එම කතාව අර්ථයෙන් පොහොසත් බැවිනි. වර්තමානයේ එලෙස විවාදයට සම්බන්ධ වන්නේ රනිල් වික්‍රමසිංහ ය. ඔහු ද කතාවට දින කිහිපයකට පෙර සිට ඊට සුදානම් වන බැවිනි.

ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අද මන්ත්‍රී වරියන් ඉලක්ක කොට දෙපිට කැපෙන අසභ්‍ය කතා කියති.එලෙස කාන්තාවන් මුල් කොට ලිංගික අවලාද නඟමින් මානසික තෘප්තියක් ලබන “රෝගීන්” ද අප අතරේ වෙති.මේ කරුණු කාරණා මත හිස් වචන ගොඩක් එහෙ මෙහේ යනවා මිස එහි දත්ත හෝ සංඛ්‍යා ලේඛන ඉදිරිපත් වීමක් නැත. තරුණ පරපුරට පාර්ලිමේන්තුව එපා වීමට මෙය බරපතල සාධකයකි.
අතීතයේ ගවයා එක්තරා අන්දමක පූජනීය සත්වයෙකි.ඒ එම සතා ගැමියන් හට සම්පත් ප්‍රභවයක් වූ බැවිනි.අතීත ගැමියෝ ගවයකු නිවසක සිටීම සෞභාග්‍යයේ සංකේතයක් ලෙස සැලකූහ. එවැනි සත්වයෙකු සොරකම් කරන්නා අනුන්ගේ සම්පත් සොරා ගන්නකු ලෙස ප්‍රකට විය.එනිසාම ගවයන් සොරකම් කරන්නා හෙවත් “හරක් හොරා” සමාජයේ සිටින නින්දිතම චරිතයක් ලෙස අතීත ගැමියෝ සැලකූහ. එම නිසා හරක් හොරා යන නාමය ගැනීමට ශිෂ්ඨ සම්පන්න කිසිවෙක් කැමත්තක් නොදැක්වූහ.

නමුත් වර්තමානයේ එලෙස ජනතාවගේ සම්පත් සූරා කන “හරක් හොරුන්” පාර්ලිමේන්තුවට පැමිණීම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ.. එම නිසා තරුණ පරපුර මෙන්ම උගතුන් බුද්ධිමතුන් දේශපාලනයට එන්නේ නැත. උගතුන් බුද්ධිමතුන් කියා දේශපාලනයට එන්නේ ද එවැනිම තවත් හොරුන් රැවටිලිකාරයන් පිරිසකි. තරුණ පරපුර දේශපාලනයෙන් ඈත්වීම කණගාටු දායක ය. ඔවුන් බහුතරයක් රට හැර යන්නේ රටට ආදරය නැති නිසා නොවේ මේ ජරා ජීර්ණ දේශපාලන ක්‍රමයට ඇති අකමැත්ත නිසාවෙන් බව පැහැදිලි ය. මේ දේශපාලන ක්‍රමය තුළ තමන්ට අනාගතයක් නැති බව ඔවුහු තරයේ විශ්වාස කරති. එය නිවැරදි කිරීමට කෙනෙකු ඉදිරියේදි පැමිණෙතැයි සිතීමට තවමත් පෙරනිමිති පහළවී නොමැති යැයි ද ඔව්හු සිතති.ලසන්ත වීරකුලසූරිය

එතෙර - මෙතෙර