“පැන්ෂන් කාරයන්” නිසා ජාතික ධනය නාස්ති වේද?

අප සමාජයේ නිකරුණේ අභූත චෝදනාවන්ට ලක්වන පිරිස් අතුරින් රජයේ සේවයෙන් විශ්‍රාම ගෙන හිඳින ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ මුල් තැනකට පත්ව හිඳිති.

රට තුළ ආර්ථික අර්බුදයක් පැන නඟින සෑම අවස්ථාවකම පාහේ ඒ සම්බන්ධ වන උත්තරකරුවන් ලෙසින් සෘජු හෝ අනියම් චෝදනාවන්ට ලක් වන පිරිස් අතුරින් මෙම විශ්‍රාමික ප්‍රජාවට හිමිවනුයේ මුල් තැනකි. “නිකම් ඉඳගෙන පඩි ගන්නවා” යනුවෙන් ඔවුන් වෙත එල්ල වන මෙම චෝදනාව පසුගිය කාලය තුළ රාජ්‍ය නායක නායිකාවන් ගේ පවා මුවින් එල්ල වූ අවස්ථා අපට මතක ය. ඉන් පැවසෙනුයේ මෙම විශ්‍රාමිකයන්ට වැටුප් ගෙවීම පිණිස මෙරට ජාතික ධනයෙන් සැළකිය යුතු ප්‍රමාණයක් නිස්කාරණයේ වියදම් වන බවකි. ඒ අනුව බලන විට හැඟී යන්නේ ඔවුන් විශ්‍රාම ගැනීමත් සමඟ “ජාතියේ ණය කරුවන්” බවට පත්වන අයුරකි. පුරා දශක ගණනාවක් විවිධ වෘත්තීන්හි යෙදී ජාතික මෙහෙවරක යෙදී විශ්‍රාම ගත් ඇතැම්හු මේ සම්බන්ධයෙන් ඉච්ඡා භංගත්වයට පත්ව හිඳිති.

එහෙත්, මෙය කෙතරම් දුරට සත්‍ය කරුණක් ද; සාධාරණ චෝදනාවක් ද යන්න පිළිබඳ නිසි සමාජමය විමසුමක් මෙතෙක් සිදුව ඇති බවක් නොපෙනෙයි.

බැලූ බැල්මට විශ්‍රාමිකයා යනු මාස් පතා රජයෙන් සැළකිය යුතු මුදලක් වෙන් කර ගෙන මරණය එළැඹෙන තුරු පැත්තකට ගුලි වී හිඳින නිකමකු සේ යමකුට පෙනුණ ද විශ්‍රාමිකයන් සම්බන්ධ අභ්‍යන්තර කතා ප්‍රවෘත්තිය ඊට ඉඳුරාම වෙනස් ය.

රජයේ සේවයෙන් විශ්‍රාම වැටුපකට හිමිකම් කීමට හැක්කේ කිසියම් දිගු, නිශ්චිත කාල සීමාවක් විධිමත් සේවයක් සම්පූර්ණ කළ අයකුට පමණි. සේවයෙන් පහ කරනු ලැබූවකුට තබා රාජ්‍ය සේවය තුළ යම් විෂමාචාරයකට සම්බන්ධ වූවකු බව සනාථ වූවකු ගේ වුව විශ්‍රාම වැටුප හිමි නොවේ.

ඊට හේතුව ඔහුගේ සම්පූර්ණ සේවා කාලය පිළිබඳ පරිපූර්ණ වාර්තාවක් විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂවරයා වෙතට පත් වීමෙන් පසු ඒ සේවකයා වෙනුවෙන් විශ්‍රාම වැටුප නිකුත් කිරීම විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂවරයා සතු රාජකාරීමය වගකීමක් බැවිනි. එසේ රාජ්‍ය සේවය නිමා කොට විශ්‍රාම වැටුප ලබා ගැනීමට වසර දහය පහලොව දුක් විඳින්නවුන් සේම තම මරණය දක්වාම තම විශ්‍රාම වැටුපක් ලබා ගැනීමට නොහැකි වන විශ්‍රාමිකයෝ ද සමාජයේ හිඟ නොවෙති.

බොහෝ දෙනකු සිතා සිටිනුයේ විශ්‍රාම වැටුප යනු හුදෙක් ‘පින් පඩියක්’ බව ය.එහෙත්, එය මුලුමනින් අසත්‍ය සහ අසාධාරණ චෝදනාවකි. යමකු ගේ විශ්‍රාම වැටුප යනු ඒ පුද්ගලයාගේ සක්‍රිය ජීවිත කාලය තුළ ඉටු කරනු ලබන කිසියම් මෙහෙවරක්,රාජකාරියක් මුල්කොට ගත් වැටුපෙන් වෙන් කොට තබන වෙනම භාරයකි.

ඒ භාරය ඒ පුද්ගලයා ගේ ජීවිතයේ සන්ධ්‍යා සමය ආර්ථික අපහසුවකින් තොරව ගත කිරීම පිණිස මුදා හරිනු ලබන්නකි. වියපත් බවත් සමඟ බොහෝ දෙනෙක් යම් සමාජමය අසරණ බවකට පත් වෙති.

සමහරෙක් පවුල් සහ ප්‍රජාමය වශයෙන් ද එසේ අසරණ බවට පත් වන අවස්ථා තිබේ. ඇස් පෙනීම, කන් ඇසීම වැනි ජෛවමය හිමිකම් කෙමෙන් අවප්‍රමාණ වීම මත ඔවුහු මෙසේ පවුල් වලින් ද කිසියම් ආකාරයකට කොන්වන අවස්ථා තිබේ. “තාත්තා පැත්කට වෙලා ඉන්න; තාත්තාට මේවා තේරෙන්නේ නෑ … අම්මා අපේ දේවල් වලට කට දාන්න එන්න එපා; අපි ඒවා බලා ගන්නම්” ආදී වශයෙන් තම වියපත් මාපියනට තරවටු කරන දූ දරුවන් ගැන ඔබ අසා නැතැයි කිව හොත් මම එයට කෙසේ වත් එකඟ නොවෙමි එහෙත්, තම මව හෝ පියා මාසිකව ලබන විශ්‍රාම වැටුපක් තුළින් කිසියම් ආර්ථික පදනමකින් යුතු වීම ඒ කොන් කිරීම දුරු කිරීමට බොහෝ අවප්‍රමාණ කිරීමට හේතු වන බව පෙනේ.

ඒ ආර්ථිකය යනු වත්මන් සමාජමය වටිනා කමක් හිමි කර දීමට ඉවහල් වන අනිවාර්ය සාධකයක් වන බැවිනි.

විවිධ වෘත්තීන් ගෙන් විශ්‍රාම ලැබූවන් ගෙන් “දැන් මොකද කරන්නේ?” යනුවෙන් නැඟෙන ප්‍රශ්න වලට ඔවුන් බොහොමයක් දෙන පොදු පිළිතුරක් තිබේ. එනම් “ඔහේ ගෙදරට වෙලා නිකම් ඉන්නවා” යන්න ය. ඔවුන් එසේ පවසනුයේ තම වෘත්තීය ජීවිතය නිමා කිරීම පිළිබඳව මිස ගෙදරට වී නිකමකු ලෙස කාලය ගෙවන බවක් ඇඟවීමට නොවේ. එසේ විශ්‍රාම ගැනීමෙන් පසු නිවසේ නිකම් හිඳිනුයේ රෝගී වියපත් බවින් දුබල වූවකු පමණි.

ශ්‍රී ලාංකේය මධ්‍යම පන්තිය පුළුල් වීමත් සමඟ ගෘහස්ථ මෙහෙකාර සේවය සඳහා වන ඇබෑර්තු සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. එහෙත්, අද දේශීය ගෘහ සේවය සඳහා ප්‍රමාණවත් සේවක සේවිකාවන් සොයා ගත නොහැක. ඒ අනුව අද දේශීය ගෘහ සේවක සේවිකාවන් ගේ අවම වැටුප කෑම, නැවතීම් සමඟ රුපියල් තිස් දහස ද ඉක්මවා ගොසිනි.

ඒවා සපයන ආයතනයක් ගෘහ සේවකයකු- හෝ සේවිකාවක ලබා ගන්නේ නම් එමෙන් දෙතුන් ගුණයක් ඒ ආයතනයට ගෙවිය යුතු ය. එහෙත්,අද වන විට මධ්‍යම පන්තිය තුළ බරපතල ගැටළුවක් ව පවතින මෙම ගෘහ සේවක සේවිකා ප්‍රශ්නය සමාජය හමුවේ ප්‍රබල ලෙස ඉස්මතු නොවීමට දරුවන් තම වියපත් දෙමාපියන් වැටුප් රහිතවම එම ගෘහ සේවක ඇබෑර්තු වලට පත් කරගැනීම හේතු වී තිබේ.

මා ඉතා හොඳින් දන්නා අන්දමට රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගත් විනිසුරුවරුන් දෙපාර්තමේන්තු ප්‍රධානීන් පරිපාලන නිලධාරීන් පවා පූර්ණකාලීනව තම මුනුපුරු මිනිපිරියන් බලා ගැනීමේ නියුතුව සිටිති.

එහෙත්, එය කෙසේ වත් තමනට නොගැලපෙන දෙයක් සේ නොසිතන ඔවුන් තම දරුවන් සම්බන්ධ එම ගෘහ සේවය ඉටු කරනුයේ අතිශය සතුටින් හා සැහැල්ලුවෙනි. මීට වසර කිහිපයකට ඉහත රජයේ සේවයෙන් විශ්‍රාම ලත් අමාත්‍යංශ ලේකම් වරයකුට පසුගිය දිනයෙක මම දුරකථනයෙන් කතා කළ විට ඔහුගේ කට හඬ අබිබවමින් “සීයේ සීයේ” යන ළමා කට හඬවල් කිහිපයක් දුරකථනයෙන් ඇසෙන්නට විය. ‘කොහොම හරි දැන් ඔබ තුමත් සීයා කෙනෙක් වුණා නේද?’තම රාජකාරී කාලය තුළ වැඩිම දෙනකුගෙන්”සර්”යන ගෞරවනීය ආමන්ත්‍රණය හිමි කරගත් ඔහුගෙන් මම සරදමට මෙන් ඔහුගෙන් ඇසීමි.

එවිට ඒ විශ්‍රාමික අමාත්‍යංශ ලේකම් වරයා කීයේ “දැන් මම එක සීයා කෙනෙක් නෙවෙයි, හත් සීයා කෙනෙක්” යනුවෙනි. ඔහු ඉන් අදහස් කරන ලද්දේ තමන්ට මේ වන විට මුණුපුරු මිනිපිරියන් හත් දෙනකුම සිටින බවකි.එමෙන්ම ඔහු ඉන් තම රාජකාරී කාලයටත් වඩා මහත් සතුටක්, තෘප්තියක් ලබන බව ද මට වැටහිණ. අද ඇතැම් දරුවන් තුළින් නරුම ගති ලක්ෂණ ඉස්මතු වන බව පෙනෙයි.ඔවුන් වැඩිහිටි බවට පත් වීමත් සමඟ ඒවා සමාජ ගත වීමේ ද යම් නැඹුරුවක් පවතී.

ඒ සඳහා විවිධ හේතූන් බල පෑ හැකි මුත් මා පිය සෙනෙහසින් දුරස් වීම ද ඊට එක හේතුවකි.නමුදු කුඩා කාලයේ තම මුත්තනු මිත්තනියන් ඇසුරේ හැදෙන වැඩෙන දරුවන් ගේ ගති ලක්ෂණ එම වැඩිහිටියන්ගේ මඟ පෙන්වීම් මත ආකෘතික වශයෙන් ගොඩ නැඟෙන බව අනාවරණය වී තිබේ.

එමෙන්ම විවිධ වෘත්තීන් සම්බන්ධ දීර්ඝකාලීන පළපුරුදුකම් සහිත විශ්‍රාමික මුත්තනු මිත්තනියන්ගේ වෘත්තීය අද්දැකීම් මඟින් එම දරුවන්ගේ දැනුම,විනය සහ පෞරුෂය මුවහත් වීම ජාතික වශයෙන් ද ඵලදායී වන බව බොහෝ දෙනකු නොදත් සත්‍යයකි. වර්තමානයේ සේවා නියුක්තීන් හි යෙදෙන සමහරු ඉන් ලබන මාසික වේතනය විවිධ නිරර්ථක කටයුතු සඳහා ද යොදති.

එහෙත්,ජීවිතාවබෝධයෙන් පිරිපුන් විශ්‍රාම වැටුප් ලබන්නවුන් එලෙස තම විශ්‍රාම වැටුප නාස්තිකාර ලෙස වැය කරන අවස්ථා අතිශයින් විරළ ය. මා දන්නා විශ්‍රාමික රාජ්‍ය නිලධාරියකු තම විශ්‍රාම වැටුපෙන් සැළකිය යුතු කොටසක් මාස් පතා තම දියණියකට ප්‍රදානය කරයි. ඊට හේතුව ඇගේ සැමියා මත්පැන් ඇතුළු තවත් දුරාචාර වලට තමන් උපයන මුදල වැය කිරීම ය.

“මගේ ලොකු දුව ඔය කසාදෙට කැමති වුණේ අපේ බල කිරීමට; ඒ හින්දා මගේ පැන්ෂන් පඩියෙන් කොටසක් නෙවෙයි මුළු පඩියම ලොකු දුවට දුන්නත් මදි” හෙතෙම කීයේ තම දෙනෙතට කඳුළු නංවා ගනිමිනි. ඒ අනුව මෙරට විශ්‍රාමිකයන් ලබන විශ්‍රාම වැටුප ජාතික ධනය කාබාසිනියා වීමක් ලෙස කාට නම් කිව හැකිද?

දමයන්ති ගමගේ

එතෙර - මෙතෙර