පාකිස්තානයේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු වන ෂොයිබ් අක්තාර් ලෝක වාර්තා පිහිටුවූවකු බව රහසක් නොවේ. වේග පන්දු යවන්නකු වූ අක්තාර් පැයට සැතපුම් 100 ඉක්මවූ වේගයකින් පන්දු යැවූ ප්‍රථම ක්‍රීඩකයා ලෙස ක්‍රිකට් ඉතිහාසයට එක්ව සිටියි.
මෙම සුපිරි වේග පන්දු යවන්නා ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගෙන බොහෝ කාලයක් වුවත් තවමත් ඔහු මාධ්‍ය තුළ නිතර පුවත් මවන්නෙකි. පසුගිය දිනවල ද අක්තාර් සම්බන්ධයෙන් අපූරු පුවතක් පාකිස්තාන මාධ්‍ය අනාවරණය කර තිබිණි. එනම් ඔහුගේ ජීවිත කතාව ඇසුරෙන් සිනමාපටයක් නිර්මාණය කිරීමට යන බවයි. පාකිස්තානයේ ක්‍රීඩකයකු සම්බන්ධයෙන් විදෙස් සිනමාපටයක් නිර්මාණය වන පළමු අවස්ථාව මෙය වීම ද විශේෂත්වයකි. අක්තාර් පිළිබද මෙම සිනමාපටය නම් කර ඇත්තේ “RAWALPINDI EXPRESS – Running Against the Odds” යනුවෙනි. ඔහු ක්‍රීඩා කළ කාලයේ ඇතැම් ක්‍රිකට් විස්තර විචාරකයන් ඔහු හැඳින්වූයේ Rawalpindi Express යන නමින් බව රහසක් නොවේ.
මෙම සිනමාපටය ප්‍රදර්ශණය කිරීමට නියමිතව ඇත්තේ ලබන වසරේ බව ද වාර්තා වේ. තවමත් මෙහි රූපගත කිරීම් ආරම්භ වී නැත. මේ වනවිට කා තුළත් කුතුහලයක් ඇති කර තිබෙන කාරණය වී ඇත්තේ මෙම සිනමාපටයේ අක්තාර් ගේ චරිතය නිරූපනය කරනු ඇත්තේ කව්රුන් ද යන්න යි. සල්මාන් ඛාන් එම චරිතය රඟපාන්නේ නම් තමා කැමැති බවක් අක්තාර් වරක් පවසා තිබුණේ යයි ද ඇතැම් මාධ්‍ය වාර්තාවල පළ වී තිබිණි. නමුත් සල්මාන්ගේ වයස මේ වනවිට අවුරුදු 57 කි. ඒ නිසා ඔහු එම චරිතයට ගැලපෙන නළුවකු යයි සිතිය නොහැක. මෙම චරිතය කව්රුන් රඟපෑව ද අක්තාර් ගේ සුවිශේෂී පන්දු යැවීමේ ඉරියව්ව අනුකරණය කිරීම ඔහුට විශාල අභියෝගයක් වනු ඇති බවට ඇතැමුන් අදහස් දක්වා තිබේ.
තමා පිලිබඳව මෙබඳු සිනමාපටයක් නිර්මාණය වීම අක්තාර් තුළ විශාල සතුටක් ඇති කර තිබෙන ආකාරයක් දැකිය හැකි වේ. චිත්‍රපටය පිළිබඳ ඉතා කෙටි පූර්ව ප්රචාරක පටයක් වැනි විඩියෝවක් ද සමග ඔහු මේ ගැන සිය ඉන්ස්ටග්‍රෑම් පිටුවේ සටහනක් යොදා තිබිණි. මෙම විඩියෝවෙහි දැක්වෙන්නේ මීදුමෙන් වැසුණු රේල්පාරක් දිගේ කැමරාවට පිටුපා දිව යන ක්‍රීඩකයකුගේ දර්ශණයකි. වේගයෙන් ඇදී එන දුම්රියක නලා හඬක් පසුබිමින් ඇසෙද්දී කැමරාව අර ක්‍රීඩකයා වෙත සමීප වේ. ඔහු හැඳ සිටින ජර්සියේ අංක 14 සහ ෂොයිබ් යනුවෙන් සටහන්ව තිබෙනු එහිදී දැකගත හැකි වේ.
තම ජීවිතයේ බොහෝ දෙනා නොදන්නා දේ මෙම සිනමාපටයෙහි ඇතුළත් වනු ඇති බවටත් ෂොයිබ් සිය ඉන්ස්ටග්‍රෑම් සටහනෙන් ඉඟි කර තිබේ . ‘කවදාවත් නොගිය ගමනකටයි ඔබ මේ සූදානම් වන්නේ’ ඔහු එහි තවදුරටත් සඳහන් කර තිබිණි.
Rawalpindi Express අධ්‍යක්ෂණය කරනු ලබන්නේ ඩුබායි හි සිටින මුහමඩ් ෆරාස් කයිසර් නැමැති සිනමාකරුවකු විසිනි. මෙය කාලයක් තිස්සේ තමා දකිමින් සිටි සිහිනයක් මල්ඵල දැරීමක් බව ඔහු සඳහන් කරයි. මෙම සිනමාපටය එක්සත් අරාබි එමීර් රාජ්‍යය, පාකිස්තානය, ඕස්ටේ්රලියාව වැනි රටවල රූපගත කෙරෙනු ඇති බව ද වාර්තා වේ. කයිසර් වසර පහක කාලයක් තිස්සේ අක්තාර් පිලිබඳ අධ්‍යයනය කරමින් සිටි බව සඳහන් ය. අක්තාර් පාකිස්තානයේ කුඩා නගරයක ක්‍රිකට් ක්‍රීඩකයකුගේ තත්ත්වයේ සිට ජාත්‍යන්තර සුපිරි තරුවක තත්ත්වය දක්වා පැමිණි ගමන ගැන ඔහු මෙහිදී බොහෝ කරුණු එක්රැස් කරගෙන තිබිණි. කයිසර් මේ පිළිබඳව ලියා තිබූ සටහනක මෙසේ දැක් වේ:
‘ෂොයිබ් අක්තාර් ඔහුගේ බිහිසුණු වේගය සහ පා ඇඟිලි පොඩි කරන යෝකර් පන්දු නිසා ලෝක අවධානය දිනාගත්තෙක්. ඔහු ක්‍රීඩා පිටියේ දී ලෝකයේ ඇතැම් හොඳම පිතිකරුවන් බියට පත් කර තිබෙනවා. මා කුඩා කාලයේ සිටම ඔහුගේ රසිකයෙක්. මගේ පියාගේ උරහිස මත හිඳගෙන ඔහු පන්දු යවන ආකාරය නැරඹූ සැටි මගේ මතකයේ තිබෙනවා. ඔහු ගේ ජීවිත කතාවෙන් චිත්‍රපටයක් කිරීමේ අදහස මුලින්ම ඉදිරිපත් කළේ මගේ පියා යි. වරක් රූපවාහිනි වැඩසටහනකට සහභාගි වෙමින් අක්තාර් ඔහුගේ ජීවිත කතාව විස්තර කරද්දී එම අදහස මා තුළ ද දැඩි ලෙස රෝපනය වුණා.
‘මා 2020 වසරේ අක්තාර් හමු වී මගේ අදහස ගැන ඔහු සමග පැවසුවා. එම අවස්ථාවේ මගේ පියාත් මා සමග සිටියා. චිත්‍රපටයේ තිරනාටක රචකයාත් මගේ පියා යි. ඉතා දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් පසු අක්තාර් අපගේ අදහසට එකඟ වී ඊට අනුමැතිය දුන්නා. ඔහු සතියක පමණ කාලයක් අප සමග ගත කරමින් ඔහුගේ කතාව අපට පැවසුවා. ඔහුගේ මුවින්ම එම කතාව දැන ගැනීමට ලැබීම සුවිශේෂී අත්දැකීමක්. අක්තාර්ට සමීප අයගෙන් ද අපට බොහෝ තොරතුරු දැනගන්න ලැබුණා. අපගේ මෙම සිහිනය සාක්ෂාත් කර ගැනීමට උදව් කළ සියළු දෙනාට අප ස්තුතිය පිරිනමනවා”.
නිහාල් පීරිස්