පැරණි ගම්වල චණ්ඩින් නගරංකාරයන් මෙල්ල කළ අහිංසක රාළලා

parani

අයුක්තිය, අසාධාරණය සෑම සමාජයක් තුළින්ම අඩු වැඩි වශයෙන් ඉස්මතු වන්නකි. අප රටේ නුවර කලාවිය වශයෙන් හැඳින්වුණු වත්මන් අනුරාධපුර දිස්ත්‍රික්බද ප්‍රදේශයේත් හත් කෝරලය වශයෙන් හැඳින්වුණු වත්මන් කුරුණෑගල දිස්ත්‍රික්බද ප්‍රදේශයේත් පැවැති පැරණි කෘෂිකාර්මික සමාජය තුළින් ද එලෙස අයුක්තිය අසාධාරණය යම් පමණකින් හෝ ඉස්මතු වූ බව රහසක් නොවේ. නමුදු වර්තමානයට සාපේක්ෂව අතිශය සරල චාම් දිවි පැවැත්මකට හුරු වී සිටි සාමාන්‍ය ජනතාව තුළ ලෞකික අපේක්ෂාවන් බහුල නොවූ බැවින් ඔවුන් කෙරෙන් අයුක්ති අසාධාරණ ක්‍රියා සිදු වූයේ නම් ඒ ඉතා අල්ප වශයෙනි.

එහෙත්, එවක සමාජයේ ද කෘෂිකර්මයට අමතරව අනේකවිධ ක්‍ර‍මෝපායන් මගින් මුදල් උපයන ගම්මුන් අතරින් විශේෂයෙන් මතු වූ පැලැන්තියක් විය. බොහෝ විට මොව්හු ගැමියන්ගේ කෘෂි නිෂ්පාදනයන් අඩු මිලකට ගෙන ගම්මාන වලින් බැහැර මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට වැඩි මිලට විකිණූ ව්‍යාපාරිකයෝ වූහ. වී මෙන්ම තල, මුං, උඳු, මෙනේරි ආදී ධාන්‍ය වර්ග ද ගම්මුන්ගෙන් මිලට ගත් මොව්හු ඒ මගින් උපයා ගත් ධනයෙන් එම ගැමියන්ටම අධික පොලියට ණය දෙමින් සමාජයේ බලපුළුවන්කාරයන් වශයෙන් කැපී පෙනුණි. මීට අමතරව ආරච්චි, කෝරලේ, විදානේ ආදී තනතුරු ලබමින් ඒවාට හිමි ලාභ ප්‍රයෝජන යුතු හා අයුතු ලෙසින් ලබා ගත් වර්තමාන ව්‍යවහාරයට අනුව කිවහොත් ‘නිලධාරි පැළැන්තියක්’ ද එවක ගම්මානවල ජීවත් වූ අතර ඔවුන්ගෙන් ඇතැමකු අතින් ද ගම්මුන්ට විවිධ අයුතු අසාධාරණකම් සිදු විය. ඊට අමතරව එවක ගැමි සමාජයෙන් මතු වූ අයුතු අසාධාරණකම් කෙරෙහි වැඩි නැඹුරුවක් පළ කරන ලද්දේ ගම් මට්ටමේ චණ්ඩීන් වශයෙන් ප්‍රකට වූ නගරංකාර පැළැන්තියයි. නීති විරෝධී සුරා විකිණීම, ගවයන් සොරකම් කිරීම, බූරුවා පිටි පවත්වාගෙන යෑම වැනි නොකටයුතු ක්‍රියා කළ මොවුනට මෙම ‘නගරං’ යන නම යෙදී තිබුණේ ඔවුන් තුළ ගැමි ලක්ෂණවලට වඩා කඨෝර නාගරික ලක්ෂණ තිබූ නිසා බව ඉතා පැහැදිලි ය. තම ගම්මානවල වෙසෙන හොරමැරකම්, දාමරිකකම්වල යෙදෙන පුද්ගලයන් එලෙස ‘නගරංකාරයන්’ ලෙස හැඳින්වීමෙන් ගම්මුන් නාගරිකයන් කෙරෙහි දැක්වූ අකැමැත්ත, අප්‍රසාදය අනියමින් පළ කළ බව පැහැදිලි ය.

කෙසේ හෝ මෙලෙස ධන බලයෙන්, නිල බලයෙන් සහ මැර බලයෙන් අසරණ ගැමියන් හමුවේ අයුතු අසාධාරණකම් කළ පිරිස ඔවුන් සතු වත්කම් සේම එම පවුල්වල දැරියන්ගේ තරුණියන්ගේ සහ කාන්තාවන්ගේ චරිත පාරිශුද්ධිය පවා බලහත්කාරී ලෙස පැහැර ගත් බව පෙනේ. නමුදු මෙම නොයෙක් අයුතු අසාධාරණකම් හමුවේ පැමිණිලි කිරීමට අද මෙන් නගරයක් ගානේ පොලිසි පිහිටුවා නොතිබුණු අතර එම ගමකට පොලිස් නිලධාරියකු හෝ කණ්ඩායම් පිවිසියේ මිනීමැරුමක් වැනි බරපතළ ක්‍රියාවක් මුල්කොට පමණි.

නමුදු මෙම ගම්වල ගැමියන්ට එවැනි සමාජ ආරක්ෂාවක් නොතිබූ පසුබිමක ඔවුනට යම් පැහැදිලි ආරක්ෂාවක් සලසා දීමට කැපවී සිටි රාළලා පස් දෙනෙක් එවක ගම්මානවල සිටියහ. එනම් වෙදරාල, කපුරාල, යද්දෙහිරාල, නැකැත්රාල හා ඇනමිතිරාල ය. මින් වෙදරාල හැරුණු කොට සෙසු රාළලා හතර දෙනාම අධ්‍යාත්මික විෂය පථයන් හා සම්බන්ධතා දැක්වූ අතර ඔවුන් එවක ගමේ චණ්ඩීන් හෙවත් නගරංකාරයන් මෙල්ල කළ ක්‍රමය අද බොහෝ දෙනෙක් නොදනිති.මින් කපු රාළ යනු ගමේ දේවාලයේ සේවය කළ කපු මහතා ය.යද්දෙහි රාළ යනු තොවිල් පවිල් කළ කට්ටාඬියා හෙවත් යක් දෙස්සා ය.එවක ගම් මට්ටමේ ජ්‍යෙතීර්වේදීන් හැඳින්වෙන ලද්දේ නැකත් රාළ යනුවෙනි.ඉහත සඳහන් රාළ ලා අතුරින් අප්‍රකටම රාළ ඇනමිති රාළ ලෙස හැඳින් වූ අතර ඔහු දේවාරූඪයක් ලද හැකි පුද්ගලයෙක් විය.කිසියම් කටයුත්තක දී දෙවියන්ගේ අනුමැතිය ලද බව ගම්මුන් හමුවේ ප්‍රකාශ කළ හැකි වීම මත අනුමැති රාළ යනුවෙන් මුල දී හැඳින්වුණු ඔහු පසුව ඇනමිති රාළ ලෙස ප්‍රකට විය.

ඉහත සඳහන් අන්දමට ධන බලයෙන්, නිල බලයෙන් හෝ මැර බලයෙන් ගම්මුන් අතුරින් කැපී පෙනුණු අයකුගෙන් යම් ගැමියකුගේ තරුණ රූමත් බිරිඳකට යම් අනිසි බලපෑමක් සිදු වී‍මේ හැකියාවක් තිබිණැයි අපි මොහොතකට සිතමු. එවිට ඒ තැනැත්තා කළ යුතු වූයේ ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට නිල බලයක් සහිත ආරච්චි රාල ද, විදානේ සහ කෝරලේ යන නිලයකට ඒ සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීම පමණි. එහෙත්, තමන් සතු නිල බලය අයුතු ලෙස යොදා ගත් එවන් නිලධාරියකු එවැනි ක්‍රියාවකට පෙළඹුණහොත් එසේ අසාධාරණයට ලක් වූ ගැමියා ගමේ විහාරස්ථානයේ නායක හිමියන්ට හෝ ඉහත සඳහන් රාළලා පස් දෙනාගෙන් තමන්ට සමීප රාල කෙනෙකුට රහසින් ඒ බව සැලකොට සිටී‍මේ සිරිතක් මගේ මතක සීමාවේ එපිට කෙළවරක පැවතුණි.

මගේ දැනීමේ හා වැටහීමේ හැටියට එවක මෙම රාළලා පස් දෙනා අතරේ අන්‍යෝන්‍ය සහසම්බන්ධතා ගොඩ නැගී තිබිණ. ඒවා ඔවුන්ගේ වෘත්තීන් අතර පවත්නා සහසම්බන්ධතා විය. ගමේ වෙදරාල තමන් වෙත පැමිණි රෝගියකුගේ ඇතැම් රෝග ලක්ෂණ සඳහා ප්‍රතිකාර කරන අතරේ තමන්ට අදාළ නොමැති රෝග ලක්ෂණ, එනම් අමනුෂ්‍ය බලපෑම් වැනි දෙයක් දුටුවහොත් රෝගියා යද්දෙහිරාල වෙත යොමු කරවීම ද නිදසුනක් ලෙස දැක්විය හැක.මෙය වර්තමාන විශේෂඥ වෛද්‍යවරුන් ගේ ක්‍රියාවලියකට බෙහෙවින් සමාන ය.

මෙලෙස මේ රාළ ලා අතරින් කිනම් හෝ රාළ කෙනෙකු වෙතට ගැමියකුගෙන් පැමිණෙන ඉහත සඳහන් ආකාරයේ පැමිණිල්ල පළමුව ඒ රළලා පස් දෙනා අතරේ කතාබහකට යොමු විය. පසුව ඔවුන් අතරින් එකී චෝදනාවට ලක් වූ පුද්ගලයා වඩාත් හොඳින් දන්නා ඔහුගේ ගෞරවයට පාත්‍ර වූ රාළ පළමුව ඒ සම්බන්ධයෙන් ඔහුගෙන් විමසා සිටීම මෙම ගැටලු විසඳීමේ සමථ ක්‍රියාවලියේ පළමු අංගය විය. එය හුදෙක් අවවාදයක් වූ සේම උපදේශනයක් ද විය. “උඹට ඔය වගේ ජරා අදහස් පහළ වෙන්නේ උඹේ ග්‍රහචාරේ දෝෂයක් ඇති. ඒ හින්දා සේරටම කලින් උ‍ඹේ කේන්දරේ බලවාගෙන හිටපන්. නැත්නම් උඹට මහා විපතක් වෙන්න ඉඩ තියෙනවා.’ ඒ තැනැත්තාට පළමු සමීප වන රාළ කවරකු හෝ ඒ චූදිතයාට එසේ උපදෙස් දීමේ ක්‍රියාවලියක් එවක අප ගම්මාන ආශ්‍රිතව පැවතිණ.

‘උඹට ඔය මදනයා වැහිලා වගේ තේරෙන්නේ උ‍ඹේ පිත ඔළුවට ගහලා. කොහේද? ඉතින් කන තරමක් කන්නේ ගෙරි මස්නේ. ඒ හින්දා සේරටම කලින් කසාය වඩි හත අටක් බීලා උඹේ ඇඟ නිවාගෙන හිටපන්. නැත්නම් ඔය ගින්දරෙන් අන්තිමේ දැවිලා පිච්චිලා යන්නේ උඹම තමයි.’ මා ළමා වියේ දී එනම් 1950 දශකයේ දී පවා අපේ වැඩිහිටියන් එබඳු නගරංකාරයන්ට දුන් උපදෙස්වලින් කිහිපයකි.

එමෙන්ම මගේ මව් පාර්ශ්වයේ මුත්තනුවකු වන වයි.ඒ. රන්කිරා නම් යද්දෙහිරාල කීයේ යමකු දැඩි කාමුක ක්‍රියාවන්ට යොමු වනුයේ ‘මදන යක්ෂයා’ ආරූඪ වීම නිසා බව ය.එමෙන්ම අවසානයේ එම මදන යක්ෂයා ඒ ආරූඪ වූ පුද්ගලයා ද වනසා දමන බවට ප්‍රබල විශ්වාසයක් අතීත ගැමි සමාජයේ පැවතිණ.මෙය එකව ගම්මාන වල ලිංගික අපරාධ නිවාරණයට තීරණාත්මක ලෙස බල පෑ බව නොරහසකි. මෙසේ ගම්මානවල විවිධ අන්දමේ අයුතු අසාධාරණකම් සිදු කරනු ලබන ධන බලයෙන්, නිල බලයෙන්, මැර බලයෙන් ඉදිමී ක්‍රියා කළ ප්‍රබලයන් දමනය කිරීමට ඉහත සඳහන් අහිංසක රාලලා පස් දෙනාට තිබූ හැකියාව විස්මය ජනක ය.නමුදු නූතන සමාජයේ බොහෝ දෙනෙක් මේ පිළිබඳව වගේ වගක් නොදනිති.

එච්.එම් ගුණරත්න බණ්ඩා

උරුමයක අසිරිය