පියාඹන ටැක්සි: අනාගතයේ වාහන තදබදයට විසඳුමක්

ඌබර්, පික් මී වැනි ටැක්සි සේවා මේ කාලයේ කා අතරත් ජනප්‍රිය ය. මෙවැනි ටැක්සි සේවාවන්ට වඩා හාත්පසින්ම වෙනස් අපූරු ටැක්සි සේවාවක් තව වසර කිහිපයකින් අප අතරට පැමිණීමට නියමිතව තිබේ. එනම් පියාඹන ටැක්සි (Flying Taxi) සේවා යි.

මෙම පියාඹන ටැක්සි සේවා හෙවත් ගුවන් ටැක්සි සේවා පිලිබඳ අදහස මුලින්ම ඉදිරිපත් වූයේ මේ වනවිට ලෝකයේ බොහෝ රටවලට විශාල ගැටලුවක් බවට පත්ව ඇති රථවාහන තදබදයට විසඳුමක් ලෙසිනි. මාර්ග තදබදය නිසා පැය ගණන් ගතවන ගමන් බිමන් විනාඩි කිහිපයක් තුළ යාමට ගුවන් ටැක්සි සේවා නිසා හැකියාව ලැබේ. කෙසේ නමුත් තවමත් මෙම පියාඹන ටැක්සි යානා පවතින්නේ අත්හදා බැලීමේ මට්ටමේ ය. එහෙත් තව වසර දෙක තුනක් ඇතුළත ඇතැම් රටවල මෙම සේවා ආරම්භ වනු ඇති බවට තොරතුරු පළ වී තිබේ. ඇමරිකාව, චීනය, ජපානය වැනි රටවල් මෙහිදී ඉදිරියෙන් සිටින ආකාරය දැකිය හැකි වේ.

මෙම පියාඹන ටැක්සි යානා කුඩා හෙලිකොප්ටරයක ස්වරූපය ගන්නා යානා විශේෂයකි. ඒවා එක තැන සිරස්ව ඉහළ නැංවීමටත්, නැවත බිමට බැස්සවීමටත් හැකිය. ඒ නිසා මෙම යානා සඳහා දිගු ධාවන පථවලින් යුතු විශාල ගුවන් තොටුපලවල් අවශ්‍ය වන්නේ නැත. මෙවැනි යානාවක සාමාන්‍යයෙන් එකවර මගීන් හය හත් දෙනෙකුට ගමන් කළ හැකි වේ. මුල් කාලයේ මේවා පැදවීමට නියමුවන් යොදා ගනු ඇති වුවත් පසුව නියමුවන්ගෙන් තොරව ගමන් කළ හැකි තත්ත්වයට ඒවා වැඩි දියුණු කිරීමට නියමිතය. ඉදිරියේදී මුදල් හදල් ඇති අයට තම රැකියා සහ වෙනත් කටයුතු සඳහා යාමට මෙවැනි ගුවන් ටැක්සි යොදා ගැනීමට හැකි වනු ඇත. මගී ප්‍රවාහනය සඳහා පමණක් නොව භාණ්ඩ ප්‍රවාහනය සඳහා ද මෙම යානා යොදා ගැනීමට අපේක්‍ෂා කෙරේ.

ඇමරිකාව, ජපානය, චීනය වැනි රටවල් 2025 වසර වනවිට මෙම ටැක්සි සේවා ආරම්භ කිරීමට බලාපොරොත්තු වේ. 2025 වසරේ ජපානයේ පැවැත්වීමට නියමිත දැවැන්ත ජාත්‍යන්තර ප්‍රදර්ශණයක් වන ‘එක්ස්පෝ 2025’ ප්‍රදර්ශණයේදී ද මෙම ටැක්සි සේවා යොදා ගැනීමට අදහස් කරන බව සංවිධායකයන් පවසා ඇත. මෙම ප්‍රදර්ශණය පැවැත්වෙන්නේ කෘත්‍රිම දූපතක යි. ප්‍රදර්ශණය නැරඹීමට එන අය මෙම දූපත වෙත ප්‍රවාහනය කිරීමේ දී මෙම ගුවන් ටැක්සි භාවිත කිරීමට ජපානය බලාපොරොත්තු වේ. එය ද එක්ස්පෝ 2025 ප්‍රදර්ශණයේ ඉතා ආකර්ශණීය අංගයක් වනු නිසැක ය.

මෙම ටැක්සි යානා නිශ්පාදනය කරනු ලබන්නේ විදුලියෙන් ක්‍රියාත්මක වන ආකාරයට ය. ඒ නිසා ෆොසිල ඉන්ධන භාවිතයක් මෙහිදී සිදු නොවේ. මේ හේතුවෙන් මෙම ටැක්සි සේවා නිසා පරිසර හානියක් සිදු නොවීම විශේෂත්වයකි.

පියාඹන ටැක්සි සේවා භාවිතයට එද්දී ඒවා ගුවනට නැංවීම සහ බැස්සවීම සඳහා නගරවල බොහෝ තැන්වල කුඩා ගුවන් තොටුපල ඉදි කිරීමට සිදුවනු ඇත. ඇමරිකාව මෙයට අදාළව අපූරු අදහසක් ඉදිරිපත් කර තිබේ. එනම් දැනට පවතින වාහන රථගාල්වල වහළ මත එවැනි ගුවන් තොටුපල ඉදි කිරීමයි. මේවා ඔවුන් හඳුන්වන්නේ ස්කයිපෝට් (Skyport) යන නමිනි. මේවා ඉතා කුඩා ඉඩක ඉදි කළ හැකි කුඩා ගුවන් තොටුපලවල් ය.

මෙම සේවා ආරම්භ කිරීමට පෙර ඒවායේ ආරක්‍ෂිත බව සම්බන්ධයෙන් සියයට සියයක් තහවුරු කර ගැනීමට නිශ්පාදකයන්ට සහ රජයන්ට අනිවාර්යයෙන්ම සිදුවනු ඇත. මන්ද යත් මේවා ගමන් කරන්නේ ඉතා ජනාකීර්ණ නගරවලට ඉහළින් වන බැවිනි. යම් විදියකින් මෙවැනි යානයක් කඩා වැටුණහොත් එයින් සිදුවන විනාශය බිහිසුණු වනු ඇත. මේ නිසා මේවායේ ආරක්‍ෂිත බව සම්බන්ධයෙන් ඉහත කී පාර්ශ්ව දැඩි අවධානයක් යොමු කරනු දැකිය හැකි වේ.

තව දශක කිහිපයක් ගතවන විට මෙවැනි පියාඹන ටැක්සි විශාල වශයෙන් අහසේ සැරිසරන්නට ඉඩ තිබේ. එවිට ඒවා අතර අනතුරු සිදුවීම වැලැක්වීම ද අභියෝගාත්මක කටයුත්තක් වනු ඇත. මේ නිසා ඉතා විධිමත් ගුවන් ගමන් පාලන ක්‍රමවේදයක් නිර්මාණය කර ගැනීමට සිදුවනු ඇති අතර මෙය ද ඉහත කී පාර්ශ්වවල අවධානය යොමුවන කාරණයකි.

මෙවැනි පියාඹන ටැක්සි යානා නිශ්පාදනය සඳහා අප අසල්වැසි ඉන්දියාව ද මේ වනවිට පියවර ගෙන ඇති බව සඳහන් වේ. එවැනි නිශ්පාදන සමාගමක නිලධාරියකු පවසා තිබුණේ සාමාන්‍ය ඌබර් ටැක්සියක ගාස්තුව මෙන් දෙගුණයක පමණ ගාස්තුවකට එම දුර ප්‍රමාණයම ගමන් කිරීමට මෙම පියාඹන ටැක්සිවල මගීන්ට හැකි වනු ඇති බවයි.

නිහාල් පීරිස්

අරුමැසි පුවත්