පුරුෂයන්ට බහු භාර්යා විවාහයට අවසර දෙන ඉස්ලාමය කාන්තාවන් සඳහා බහු පුරුෂ විවාහයට අවසර නොදෙන්නේ මන්දැයි මුස්ලිම් නොවන බොහෝ දෙනෙක් අපගෙන් අසති.
ලොව පවත්නා විවිධ ආගම් අතුරින් ඉස්ලාම් දහම අන්‍ය ජාතීන් ගේත්, ආගමිකයන් ගේත් විශේෂ අවධානයට යොමු වනුයේ ඉස්ලාමයට උරුම මෙවන් සුවිශේෂ තත්වයන් නිසා ය.
මුස්ලිම් නොවන බොහෝ දෙනකු සිතනුයේ ඉස්ලාමය පුරුෂ පක්ෂයට උරුම කර දී ඇති මෙම බහු භාර්යා විවාහ අවස්ථාව ඔවුන්ගේ කාමභෝගීත්වය තහවුරු කරගැනීම පිණිස හිමි කෙරෙන ආගමික වරප්‍රසාදයක් ලෙසිනි. එහෙත්, එය අතිශය සාවද්‍ය අදහසක් සේම ඉස්ලාමය වෙත එල්ල කරන පරම නිග්‍රහයක් බව ද කිව යුතුම ය.
මෙහි දී සියල්ලටම පළමුව කිවයුත්තේ බහු භාර්යා විවාහ (Polygynous marriage )ඉස්ලාම් දහම විසින් මෙලොවට හඳුන්වා දෙන ලද්දක් නොවන බව ය.
මිනිසා ශිෂ්ටාචාර ගතවීමට පෙර විධිමත් අවාහ විවාහ සබඳතා නොපැවැති අතර පසුකාලීනව යම් යම් සමාජ සංකෘතීන් තුළ බහු පුරුෂ සේම බහු භාර්යා විවාහයන් ද පැවැති බව අනාවරණය වී තිබේ. එහෙත්, ඒ හුදෙක් පිරිමින්ගේ ගේ ලිංගික අවශ්‍යතා පදනම් කොට ගනිමින්ය යන බාල බොළඳ තර්කයට අප යා යුතු නැත.
ඊට හේතුව විවිධ සමාජයන්ට බහු පුරුෂ බහු භාර්යා විවාහයන් සඳහා බලපෑ ඊට වඩා ගැඹුරු සංකීර්ණ හේතු කාරණා ඉස්මතුව පෙනෙන බැවිනි. සමාජ හා මානව විද්‍යාඥයන් ඒ පිළිබඳව ගැඹුරු පර්යේෂණ කොට ඇතත් වැඩි දෙනකුට ඒ පිළිබඳ වගේ වගක් නැත.
ඉස්ලාමිකයන්ගේ බහු භාර්යා විවාහ පසෙක තිබිය දී බුද්ධ කාලීන ඉන්දියාවේ පවා රජවරුන් බහු භාර්යා විවාහ කර ගෙන සිටි බව බෞද්ධ පොත පතෙහි පැහැදිලිවම දැක්වෙයි.නමුත් කිසිවෙක් ඒ ගැන විශේෂ උනන්දුවකින් හා කුතුහලයකින් කතා නොකරති.
ඒ ඉන්දියානු ආභාෂයට අනුව දෝ අප රටේ රජවරුන් පවා ‘අන්තඃපුර’ නමින් හැඳින්වෙන සීමාව තුළ බොහෝ බිසෝවරුන් රඳවා ගෙන සිටි බව ඓතිහාසිකව සනාථ වී තිබේ.
අප රටට පමණක් සීමා නොවූ පැරණි රජ දරුවන් එලෙස බිසෝවරුන් වැඩි දෙනෙකු රජවාසල තුළ රඳවා ගෙන සිටීම සම්බන්ධයෙන් ද සාධනීය ලෙස කරුණු ඉදිරිපත් වූ අවස්ථා ද තිබේ.
ඕනෑම සමාජයක යම් යම් ප්‍රමාණවලින් පර පුරුෂ පර ස්ත්‍රී සේවනය සිදුවන බව නොරහසකි. ඒ අනුව අප සමාජයේ විවාහක පිරිමින් රහසින් වෙනත් කතුන් වෙතට යාම අප්‍රකට වුවත් ඉතා සුලබව සිදු වන්නක් බව අප පිළිගත යුතු ය.
එහෙත්, රටක් පාලනය කරන රජ කෙනෙකුට සාමාන්‍ය වැසියකුට මෙන් රහසිගතව එවැන්නක් කළ නොහැක. ඊට හේතුව රජ කෙනකු අප්‍රකටව එවැනි අනාචාර කටයුත්තකටයෙදීම මුල්කොට ඔහුගේ ජීවිතාරක්ෂාවට සේම රටේ ආරක්ෂාවට ද බරපතල තර්ජනයක් එල්ල විය හැකි බැවිනි.
එම උවදුරින් රජතුමාත් රාජ්‍යයත් ආරක්ෂා කරගැනීම පිණිස ගත යුතු පහසුම උපාය මාර්ගය වූයේ රජතුමන්ගේ මනාපයට සැසඳෙන කාන්තාවන් යම් පිරිසක් රජ වාසල වෙත කැඳවා ඔවුන් සාමාන්‍ය ජන සමාජයෙන් වෙන් කොට තබා ගැනීම ය. ලොව බොහෝ ජනසමාජ වල තිබූ අන්තඃපුර යනු මේවාය.
ඉස්ලාමය ලෝකයේ ව්‍යාප්ත වන සමයේ ද ලොව බහු භාර්යා විවාහ ක්‍රම පැවැතිණි.ඒ අතර එවක ඉස්ලාම් සමාජය වෙත එල්ල වූ සතුරු ආක්‍රමණ,ආගමික යුද්ධ ආදිය හේතුවෙන් පුරුෂ ජනගහනය යම් පමණකට අඩු වූ බව පැරණි පර්සියානු ලේඛන මූලාශ්‍ර මගින් තහවුරු වෙයි.
ඒ අනුව එවක වැන්දඹු බවට පත් කාන්තාවන් සහ ඔවුන් ගේ යොවුන් දියණියන් ඇතුළු විශාල පිරිසක් සමාජයේ අන්ත අසරණ බවට පත් වූහ. ඔවුන් අනේක විධ සල්ලාලයන් ගේ ගොදුරු බවට කෙලි බඩු බවට පත් වීමේ ඛේදවාචකයක් එවක සමාජය පුරා පැතිර පැවතිණ.
මෙම තත්වය පදනම් කර ගනිමින් එවක සමාජයේ විසූ අන්ත අසරණ කතුන්ට යම් පිහිටාරක්ෂාවක් සළසනු පිණිස විශේෂිත වූ කොන්දේසි රෙගුලාසි රාශියක් යටතේ විශේෂිත සුදුසුකම් සහිත පුරුෂයන් හට පමණක් භාර්යාවන් දෙදෙනකු, තිදෙනකු, සිව් දෙනකු දක්වා විවාහ කර ගැනීමේ සීමිත අවසරයක් ඉස්ලාමයෙන් ප්‍රදානය කොට තිබේ.
අල් කුරානයේ දැක්වෙන අන්දමට එම වරප්‍රසාදය තමන් යටතේ සිටින වහල් ස්ත්‍රීන් ඇතුළු වෙනත් කාන්තාවන් දූෂණයට, ලිංගික අපයෝජනයට ලක් කිරීම වළක්වා ඔවුන්ට ආර්ථික සහ සමාජමය වටිනාකමක් ලබා දීම පිණිස අසීමිත; දයාවන්ත වූද අපරිමිත කරුණාවන්ත වූද අල්ලාහ් විසින් ගත් අතිශය නිවැරදි තීන්දුවකි.
ඉස්ලාමයේ සඳහන් මෙම බහු භාර්යා විවාහ ක්‍රමය තුළ ඒ කිසිදු බිරිඳක ලිංගික වහලියක වීමට කිසිදු අවකාශයක් නැත. ඒ එසේ දෙවන, තුන්වන සහ සිව් වන බිරියන් සරණ පවා ගැනීමේ දී ඒ සඳහා පළමු බිරිඳ ගේ සිට ඒ වන විට විවාහ කර ගෙන සිටින බිරියන් ගේ කැමැත්ත ලබා ගැනීම අනිවාර්ය බව ඉස්ලාමයෙහි පැහැදිලිවම සඳහන් වන බැවිනි.
එය හුදෙක් වාචික කැමැත්තක් නොවන බව ද එමගින් අවධාරණය කෙරේ.එමෙන්ම එසේ කාන්තාවන් හතර දනකු දක්වා විවාහ කර ගැනීමේ දී ඒ සියලු බිරියන්ගේ ජීවිතාභිවෘද්ධිය ඉහළ මට්ටමකට ගෙන ඒමට ඒ තැනැත්තා ආගමික වශයෙන් බැඳී සිටියි.
වර්තමාන ජන සමාජය තුළ ශේෂව පවතින අතිශය නොදියුණු ලක්ෂණයක් වනුයේ විවාහාපේක්‍ෂිත පිරිමියා විවාහ පේක්‍ෂිත කාන්තාවගෙන් දායාදයක් අපේක්‍ෂා කිරීම ය.
සිංහල ගැමි වහරට අනුවම කිවහොත් “තමන් ගේ ඇසේ ඇති පොල් පරාළය ගැන නොතකා අනුන්ගේ ඇස්වල ඇති පොල් කෙන්ද සොයන්නාක් මෙන්” සමහරු දෑවැද්ද නම් වන තමන් අනුමත කරන සමාජ උවදුර ගැන කතා නොකොට අනුන් ගේ විවාහ වල ඇති ඇද කුද සොයති.
“නුඹලා යහපත් කාන්තාවන් විවාහ කර ගත යුතු සේම විවාහ වීම වෙනුවෙන් ඒ කාන්තාවන්ට කරනු ලබන ‘මහර්’ (විවාහ පරිත්‍යාගය) හදවතට එකඟවම ලබා දිය යුතු ය.
සලාතයට (දෙවියන් නැමදීමට) ‘වුළු’ (දෝවනය) ද උපවාසයට ශරීර සෞඛ්‍යය ද වැදගත් වන්නේ යම් සේ ද එමෙන්ම විවාහයක දී විවාහපේක්‍ෂිත පිරිමියා විසින් විවාහාපේක්‍ෂිත කාන්තාවට ගෙවිය යුතු ‘මහර්‘ නම් වන විවාහ පරිත්‍යාගය වැදගත් වන බව අල් කුරාණය (3:4) පැහැදිලිවම සඳහන් කරයි.
එමෙන්ම “මහර්” නම් වන ඒ ආගමික විවාහ පරිත්‍යාගය ලෙස තමන් විවාහ වන කාන්තාවන්ට “කීයක් හෝ දී ඇඟ බේරා ගැනීමට” ද ඉස්ලාම් භක්තිකයන්ට නොපුළුවන.ඒ විවාහ පරිත්‍යාගය කාන්තාව සැබැවින්ම තෘප්තිමත් වන දීමනාවක් විය යුතුම ය.
එමෙන්ම ඉස්ලාමයේ කාන්තා අයිතිවාසිකම් නිසි ලෙස තහවුරු කොට නැතැයි ඇතැමුන් කීව ද තමන් ගේ විවාහය වෙනුවෙන් සැමියාගෙන් හිමිවන විවාහ පරිත්‍යාගය වෙනුවෙන් පෙනී සිටීමට සේම එය ඉල්ලා සිටීමේ පවා ආගමික අවසරයක් ඉස්ලාම් කාන්තාවන්ට අල්ලාහ් හිමි කර දී තිබේ.
එමෙන්ම දික්කසාදයේ දී වුව එය නැවත ගෙවිය යුතු බවට නියමයක් ඉස්ලාමයේ කිසි තැනක නැත.නමුත් ඉස්ලාම් විවාහ නීතිවල ඇද කුද සොයන්නෝ මේවා ගැන නිකමටවත් කතා නොකරති.
ඒ අනුව ඉස්ලාම් දහමින් පිරිමින් හට හිමි කර ඇති මෙම බහු භාර්යා විවාහ අවසරය ප්‍රායෝගිකව කෙතරම් අසීරු අමාරු එකක් දැයි යන්න ද අපට ඒත්තු යනු ඇත.
එහෙත්, මෙවන් උතුම් සදාචාරාත්මක පසුබිමක් සහිත ඉස්ලාම් ආගමේ දැක්වෙන කරුණු කුණු මුල්ලට විසී කොට කොහේවත් නැති නිල් චිත්‍රපටයක එන සමූහ ලිංගික දර්ශන පෙළක් සිහියට නංවාගෙන කටයුතු කරන්නවුන් සඳහා කළ යුතු හොඳම දෙයක් තිබේ. එනම් අනුකම්පා කිරීම ය.
ඉහත සඳහන් පසුබිම යටතේ පිරිමින්ට එක්වර කාන්තාවන් හතර දෙනකු සමඟ විවාහ ජීවිත ගත කිරීමට ඇති අවසරය කාන්තාවන්හට ප්‍රදානය නොකිරීම සම්බන්ධයෙන් ද බොහෝ දෙනෙක් මුස්ලිම් ජනතාවගෙන් විමසුම් කරති. එහෙත්, ඒ පිළිබඳ ද කිව යුතු වැදගත් දෙයක් තිබේ.
එනම් ඉස්ලාම් දහමේ එන මෙවන් කරුණු සම්බන්ධයෙන් ආගමික ස්ථාවරයන් පැහැදිලි කිරීමට බොහෝ මුස්ලිම් වරුන් තුළ පවා දැනීමක් නොමැති බව ය. ඒ සම්බන්ධයෙන් අන්‍යගාමිකයන් වෙතින් එල්ල වන පැනයනට ඔවුන් දෙන පොදු පිළිතුර වනුයේ “අපි නම් එහෙම නෑ” යන්න පමණි.
ඒ අතර මේ සම්බන්ධයෙන් ඉතා අකමැත්තෙන් වුව කිවයුතු තවත් වැදගත් කරුණක් තිබේ. එනම් එලෙස ඉස්ලාම් පිරිමින් ගේත් කාන්තාවන් ගේත් බහු භාර්යා බහු පුරුෂ විවාහ පිළිබඳව කුතුහලය මුසු විමසුම් කරන බොහෝ දෙනෙක් සම්මත නීතියට සහ සදාචාරයට එරෙහිව එලෙස අනියම් සබඳතා පවත්වාගෙන යන්නෝ වෙති.
එවන් පිරිමින් කිහිප දෙනකු මගේ ගුරු වෘත්තීය ජීවිතය තුළ මට මුණ ගැසී තිබේ.ඔවුන් තමන් හා සුහද බවක් පළ කරන මුස්ලිම් කාන්තාවන් වෙතින් එවැනි කරුණු විමසීමෙන් අනියම් ලිංගික සතුටක් විඳින බව පෙනේ.මුස්ලිම් කතුනට පිටස්තර පිරිමින් ඇසුරු කිරීමේ දී වෙනම ආචාර විචාර සම්ප්‍රදායක් හඳුන්වා දී ඇත්තේ මෙවන් වාචික අපයෝජනයන්ගෙන් ගැලවීම පිණිසය.
ඉස්ලාම් ආගම සම්බන්ධ මෙවන් පොදු සමාජය හමුවේ අනාවරණය නොවූ රහස් අනාවරණය නොවීමට බහුතර මුස්ලිම් ජනතාව තුළ පවත්නා සිංහල සාක්ෂරතාව මඳ බව හේතු වන්නට ඇත.
එහෙත්,සිංහල මාධ්‍යයෙන් උඅසස් අධ්‍යාපනය හැදෑරූ මෙන්ම බුදු දහම ගැන මනා දැනුම් අවබෝධයන් සහිත මුස්ලිම් ජාතිකයෝ ද වෙති.ඔවුන් අතර මීට ආසන්නතම වසරක දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් බෞද්ධ දර්ශනය පිළිබඳ ගෞරව උපාධියක් හිමි කර ගත් මුස්ලිම් සිසුවියක් ද සිටියි.
නමුත් බෞද්ධ ජනතාවට අතිශය මිහිරි වූ මේ සත්‍ය සමාජ ගත වීමට එරෙහි පිරිසක් ද අප රටේ වෙති.ඒ ජාතීන් සහ ආගමිකයන් අතරේ වෛරී හැඟීම් පුබුදුවා දේශපාලන වාසි ගැනීමට වාසි ලබන්නට බලා සිටින්නවුන් සහ ඔවුන්ගේ අන්ධ අනුගාමිකයන් ය.
බහු පුරුෂ සේවනය ද අප ජන සමාජයට ආගන්තුක වූවක් නොවේ.ඒ සම්බන්ධයෙන් අප සමාජයෙන් උකහා ගත හැකි ආසන්නතම නිදසුන වනුයේ මහනුවර යුගයේ මෙරට පැවැති එක් කාන්තාවක එකම පවුලේ සොයුරන් දෙදෙනකු සමඟ දීග කෑම මුල් කොට ගත් “එක ගෙයි කෑම” නම් වන චාරිත්‍රයයි. එවක ජන සමාජයේ බොහෝ දෙනකු කෘෂි ආදී සාම්ප්‍රදායික ජීවන රටාවන්ට හුරු වී සිටි අතර එවක පැවැති සමාජ රටාව තුළ කාන්තාවන් ගේ අනාරක්ෂිත බව ද අදට සාපේක්‍ෂව අතිශය දුර්වල මට්ටමක පැවතුණි.
එවන් පසුබිමක් තුළ එකම පවුලේ සොයුරන් දෙදෙනකු එකම කාන්තාවක විවාහ කර ගැනීමෙන් එම කාන්තාවට ඔවුන් දෙදෙනා ගේම ආරක්ෂාව රැකවරණය හිමි වූ බව නොරහසකි. එමෙන්ම තම පරම්පරාවේ දේපල විසිරී නොයාම පිණිස ද මෙලෙස එකම පවුලේ සොයුරන් එකම බිරියක හා යුග දිවි ගත කළ බව ද පැවසෙයි.
නමුදු මේ ප්‍රශ්නය ඉස්ලාමය දකිනුයේ අන් ලෙසකිනි.පුරුෂාගේ සහ කාන්තාවගේ ලිංගිකත්වයන් එක සමාන නැත. එක් පුරුෂයකු ගෙන් කායික මානසික තෘප්තියට පත් වන කාන්තාවක බහු පුරුෂ විවාහයකට එළැඹුනහොත් ඇගේ කායික තෘප්තිය ද එම පුරුෂයන්ගේ සංඛ්‍යාව අනුව ඉහළ යාමක් සිදු නොවනු ඇත.එසේ වනුයේ ලිංගික හෝමෝන විෂමතාවයන්ගෙන් යුතු රෝගී කාන්තාවන්ට පමණි.
පොදුවේ කාන්තාවකගේ කායික තත්වය අනුව බහු පුරුෂ සේවනය ඔරොත්තු දීමට නොහැකි වනු ඇත. එමෙන්ම එවැනි බහු පුරුෂ විවාහයක දී එම කාන්තාව ලබන දරුවා ගේ පීතෘත්වය අවිනිශ්චිත වනු ඇත. ඊට අමතරව සැමියාගේ මහළු දෙමාපියනට සැළකීමේ ලේලියක සතු යුතුකම ඉටු කිරීමේදී අට දෙනකු උදෙසා කැප වීමට ඇයට සිදු වනු ඇත.
විශේෂයෙන් තමන්ට දාව උපදින දරුවා කෙරෙහි පියකු වශයෙන් ඇති ඇල්ම බැල්ම පිහිටාරක්ෂාව මෙම බහු පුරුෂ විවාහයක සියලුම සැමියන් වෙතින් එපරිද්දෙන්ම බලාපොරොත්තු විය නොහැකි බව ඉස්ලාමය සහේතුකව පිළිගිනියි.
ඒ අනුව මුස්ලිම් වරුන් ගේ බහු භාර්යා විවාහය පිළිබඳව රස බලන තළු මරන සෑම සියළු දෙනා ගෙන් කළ යුතු කාරුණික ඉල්ලීමක් තිබේ. එනම් ඉස්ලාම් දහමේ එන එවන් විශේෂිත සංසිද්ධීන් පිළිබඳව විචාරන්නේ නම් ඊට පෙර ඊට අදාල ඉස්ලාම් ආගමික සංස්කෘතිය පිළිබඳව නිසි අධ්‍යයනයක් සිදු කොට නිවැරදි අවබෝධයක් ලබා ගන්නා ලෙසයි.
එමෙන්ම ඉස්ලාමයේ හරය වන නබිතුමන් දෙසූ දහම් මගින් පිටපනිමින් මුස්ලිම් වරුන් සතු අල්ලහ් හිමි කර දුන් ආගමික නිදහස අවභාවිතා කරන ඉස්ලාම් වරු ද සිටිති. එහෙත්, ‘කියාමත් හෙවත් අල්ලහ් ගේ අවසන් විනිශ්චය දිනයේ දී ඔවුන් ඒවායේ බිහිසුණු ප්‍රතිවිපාක නියත ලෙසම භුක්ති විඳිනු ඇත.
ෆාතිමා හලල්දීන්