පිලිපීන ජනාධිපතිවරණය: තාත්තා අන්ත දූෂිතයකු වුවත් පුතා ජනාධිපතිවරණය ජය ගනියි

මෑත ඉතිහාසයේ ජීවත් වූ දූෂිතම රාජ්‍ය නායකයන් අතර පිලිපීනයේ හිටපු ජනාධිපති ෆර්ඩිනන්ඩ් මාකෝස් යනු ඉදිරි පෙල අසුනක් හිමිවෙන කෙනෙක්. ඒ අතින් ඔහු ගිනස් වාර්තා පොතට පවා ඇතුළත්ව සිටිනවා. ඔහු සහ ඔහුගේ බිරිඳ ඉමෙල්ඩා විසින් කොල්ලකන ලද මහජන මුදල් කන්දරාව ඇමරිකානු ඩොලර් බිලියන 10 කට ආසන්න බව පැවසුණා. රජයේ මුදල් වැඩිම ප්‍රමාණයක් කොල්ල කෑ පුද්ගලයන් ලෙස ඔවුන් 1989 වසරේ ගිනස් වාර්තාවක් පිහිටුවුවා. දරුණු ඒකාධිපතියකු ලෙස ද සැලකෙන ෆර්ඩිනන්ඩ් මාකෝස් පිලිපීනය පාලනය කළේ 1965 සහ 1986 අතර කාලයේ යි. ඔහුගේ කාලය තුළ දේශපාලන විරුද්ධවාදීන් අත්අඩංගුවට ගැනීම්, වධහිංසා පැමිණවීම්, ඝාතනය කිරීම් ගැනත් නිතර වාර්තා වුණා.

මාකෝස්ගේ ඒකාධිපති පාලනයේ කෲර බවත්, වංචා දූෂණත් නිසා දැඩි පීඩාවට සහ කෝපයට පත්ව සිටි ජනතාව දැවැන්ත මහජන නැගිටීමක් තුළින් 1986 වසරේ ඔහු බලයෙන් පහ කළා. එයින් පසු රටින් ද පලා යාමට ඔහුට සහ පවුලේ අයට සිදු වූ අතර අනතුරුව ඔවුන් වසර කිහිපයක් වාසය කළේ ඇමරිකාවේ යි.

පසුගිය දිනවල මාකෝස් පිළිබඳ මතකය නැවතත් කරළියට පැමිණියා. එයට හේතු වුණේ නැවතත් ඔහුගේ පුත්‍රයකු පිලිපීනයේ පාලකයා බවට පත් වීමට ඉදිරිපත් වීමයි. ඒ පසුගිය 9 වැනි දා පැවැති එරට ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙමින්. ඔහුගේ නම ෆර්ඩිනන්ඩ් මාකෝස් කණිෂ්ඨ. පිලිපීන ජනතාව වැඩි වශයෙන් ඔහු හඳුන්වන්නේ බොංබොං මාකෝස් යන නමින්.

බොංබොං මේ ආකාරයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ ජනතාව ඔහුගේ පියා එම ධුරයෙන් එලවා දමා වසර 36 කට පසුව යි. ජ්‍යෙෂ්ඨ මාකෝස් යුවළගේ කෙරුවාව ගැන දන්නා පිලිපීන ජනතාව ඔවුන්ගේ පවුලේ කෙනෙකු නැවත බලයට ගෙන එනු ඇතැයි බොහෝ දෙනෙකු නොසිතන්නට හැකි වුවත් සිදු වූයේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. බොංබොං මාකෝස් ජනාධිපතිවරණයෙන් අති විශිෂ්ට ජයක් හිමි කරගත්තා. ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා ලැබූ ඡන්ද සංඛ්‍යාව මෙන් දෙගුණයකටත් වැඩි ඡන්ද සංඛ්‍යාවක් බොංබොං ලබාගත් අතර එය පිලිපීන ජනාධිපතිවරණ ඉතිහාසයේ කැපී පෙනෙන වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලෙස සැලකෙනවා. බොංබොං ගේ ප්‍රධාන ප්‍රතිවාදියා වූයේ ස්වාධීන අපේක්‍ෂිකාවක වූ , එමෙන්ම එරට උප ජනාධිපතිනිය ද වූ ලෙනී රොබ්රෙඩෝ. බොංබොං ඡන්ද මිලියන 31.6 ක් හිමිකර ගනිද්දී ලෙනී ට ලබාගත හැකි වුණේ ඡන්ද මිලියන 15 ක් පමණයි. වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 58 ක ප්‍රතිශතයක් හිමි කරගැනීමට බොංබොං සමත්ව සිටිනවා.

ජනතාවට තිත්ත වූ නායකයකුගේ පුතෙකු දශක කිහිපයකට පසු මෙතරම් විශිෂ්ට ජයක් හිමිකර ගත්තේ කෙසේ ද යන්න කුතුහලය දනවන කාරණයක්. බොංබොං වඩාත් ජනප්‍රියත්වයට පත්ව සිටින්නේ පිලිපීනයේ තරුණ ජනයා අතර බවයි පැවසෙන්නේ. මෙම පරපුරේ අයට ඔහුගේ පියාගේ පාලන කාලය ගැන නිසි මතකයක් නොමැති වීම බොංබොං ගේ වාසියට හිටි කාරණයක් බව දේශපාලන නිරීක්‍ෂකයන් පෙන්වා දෙනවා. ඒ අතර බොංබොං ගේ ආධාරකරුවන් සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකළ පුළුල් මෙහෙයුමක් ගැනත් කතාබහට ලක් වුණා. ව්‍යාජ තොරතුරු රැගත් මෙම මාධ්‍ය මෙහෙයුම හරහා ජ්‍යෙෂ්ඨ මාකොස් ගේ පාලන සමය ගැන අලුත් චිත්‍රයක් මවන්නට බොංබොං ගේ කඳවුරට හැකි වූ බව විශ්වාස කෙරෙනවා. ජ්‍යෙෂ්ඨ මාකෝස් පිලිපීනය පාලනය කළ සමය එරට ඉතිහාසයේ ස්වර්ණමය යුගයක් වූ බවක් මේ හරහා මවාපාන්නට හැකි වූ බවයි සඳහන් වන්නේ. කෙසේ නමුත් මෙම මාධ්‍ය මෙහෙයුම ගැන එල්ල වන චෝදනා බොංබොං තරයේ ප්‍රතික්‍ෂේප කර තිබුණා.

බොංබොං ගේ ජයග්‍රහණයට තල්ලුවක් දුන් තවත් කාරණයක් ගැනත් නිරීක්‍ෂකයන් සඳහන් කරනවා. එනම් ඔහු සිය උප ජනාධිපතිනිය ලෙස තෝරාගත් පුද්ගලයා යි. ජනාධිපතිවරණයට සමාන්තරව උප ජනාධිපති තේරීමේ ඡන්ද විමසීම ද පැවැති අතර බොංබොං ගේ උප ජනාධිපති අපේක්‍ෂිකාව වූයේ වත්මන් ජනාධිපති රොඩි්‍රගෝ ඩියුටර්ටේ ගේ දියණිය වන සාරා ඩියුටර්ටේ යි. රොඩි්‍රගෝ ඩියුටර්ටේ ආන්දෝලනාත්මක චරිතයක් වුවත් ඔහු රටේ විශාල ජනතාවක් අතර ජනප්‍රිය කෙනෙකු හැටියටයි සැලකෙන්නේ. ඔහුගේ දියණියත් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් චරිතයක්. උප ජනාධිපති තේරීමේ ඡන්ද විමසීමෙන් සාරා ද විශිෂ්ට ජයක් හිමි කරගත්තා.

ලබන 30 වැනි දින සිය ධුරයේ වැඩ භාරගන්නා බොංබොං වත්මන් ජනාධිපති රොඩි්‍රිගෝ ඩියුටර්ටේ ගේ ඇතැම් ප්‍රතිපත්ති ද ඉදිරියට ගෙන යනු ඇතැයි විශ්වාස කෙරෙනවා. රට තුළ සාමය සහ එක්සත් බව ඇති කිරීම, යටිතල පහසුකම් සංවර්ධනය, රැකියා උත්පාදනය, සෞඛ්‍ය සේවය නගා සිටුවීම, කාර්මික සහ කෘෂිකාර්මික ක්‍ෂේත්‍ර නවීකරණය, ව්‍යාසායකයන්ට දිරි දීම වැනි කාරණා ඔහුගේ මැතිවරණ පොරොන්දු අතර කැපී පෙනුණා.

ජ්‍යෙෂ්ඨ මාකෝස් 1989 වසරේ මිය ගියත් ඔහුගේ බිරිඳ ඉමෙල්ඩා තවමත් ජීවතුන් අතර සිටිනවා. මේ වනවිට 92 වැනි වියෙහි පසුවන ඇයත් සිය පුතණුවන්ගේ ජනාධිපතිවරණ සටනට සහය දැක්වූවා. ජ්‍යෙෂ්ඨ මාකෝස් මෙන්ම ඉමෙල්ඩාත් දැඩි විවේචනවලට ලක් වූ චරිතයක්. ඇය ගත කළ අධි සුඛෝපභෝගී ජීවිතය ගැන එකල දැඩි විවේචන ඉදිරිපත් වුණා. ඉතා මිල අධික භාණ්ඩ පරිහරණය කළ ඉමෙල්ඩා සතුව සපත්තු කුට්ටම් 3,000 ක එකතුවක් තිබූ බවත් පැවසුණා. 2016 වසරේ කළ තක්සේරුවකට අනුව ඇමරිකානු ඩොලර් මිලියන 21 ක වටිනාකමෙන් යුතු වූ රන් අබරණ එකතුවක් ද ඇය සතු වූ බව සඳහන් වුණා.

බොංබොං මාකෝස් ගේ පාලන කාලය තුළ නැවත වංචා දූෂණ ඉහළ යනු ඇත්ද යන සැකයක් බොහෝ දෙනකු තුළ පවතින බව දැකිය හැකියි. නමුත් බොංබොං පවසන්නේ තමා විනිශ්චය කිරීම සඳහා තම පවුලේ පැරණි සාමාජිකයන්ගේ ක්‍රියාකාරකම් මිණුම් දඬුවක් නොකර ගන්නා ලෙසයි.

නිහාල් පීරිස්

 

එතෙර - මෙතෙර