පුංචි කෝච්චියේ රසවත්, දුක්මුසු මතක ගොනු කරගත් යටියන්තොට පොලීසිය

කැලණි වැලි දුම්රිය මාර්ගය කියන්නේ අපේ රටේ ප්‍රධාන දුම්රිය මාර්ග අතරින් එකක්. නමුත් මේ දුම්රිය මාර්ගය අද වන විට කොළඹ සිට අවිස්සාවේල්ල දක්වා විතරක්; ඒ කියන්නේ කොළඹ දිස්ත්‍රික්කයට විතරක් සීමා වුණු එකක්. නමුත් මේ කැලණි වැලි දුම්රිය මාර්ගයට ඉතා රසවත් ඉතිහාසයක්; අතීත කතාවක් තියනවා.

මේ දුම්රිය මාර්ගය හඳුන්වන කැලණි වැලි කියන නම සිංහල කටට හුරු වුණාට එතන වැලි (Valley) කියන්නේ සිංහලයෙන් නිම්නය, මිටියාවත කියන එකට; නමුත් අදත් කවුරුවත්ම මේකට කැලණි නිම්න හෝ මිටියාවත් දුම්රිය මාර්ගය කියන්නේ නැහැ.

අපේ රටේ සාමාන්‍ය දුම්රිය මාර්ගයක් අඩි පහමාරක් ඒ කියන්නේ සෙන්ටි මීටර් එකසිය හැට හතයි දශම හයයි හතරක් පළලයි. ඒත්, මේ කැලණි වැලි දුම්රිය මාර්ගයේ පළල ඉන් භාගයකටත් අඩුයි.

ඒ කියන්නේ අඩි දෙක හමාරයි, එහෙම නැත්නම් සෙන්ටි මීටර් හැත්තෑ හයයි දශම දෙකයි. ඒ හින්දා මේ මාර්ගයේ ධාවනය වුණු දුම්රිය හැඳින්වුණේ ‘පුංචි කෝච්චිය’ කියලයි. කෝච්චිය පුංචි වගේම ගමනත් බොහොම හෙමින්. ඒ කියන්නේ පැයට කිලෝ මීටර් දහයක පහලොවක උපරිම වේගයකින් තමයි මේක ධාවනය වුණේ.

මේ පුංචි කෝච්චියේ මුල්ම කොටස 1902 අවිස්සාවේල්ල දක්වාත් ඊට අවුරුදු දාහතකට පස්සේ ඒ කියන්නේ 1917 ඒකේ ගමනාන්තය වුණු ඕපනායක දක්වාත් විවෘත වුණා. ඇත්තෙන්ම මේ පුංචි කෝච්චියේ ප්‍රධාන අරමුණ වුණේ මගී ප්‍රවාහනයට වඩා සබරගමුවේ තේ, රබර් වගේ වතු නිෂ්පාදන කොළඹ වරායට ගෙන ඒමයි.

කොහොම හරි ඔය අතරේ 1903 දී මේ පුංචි කෝච්චි පාරේ තවත් කොටසක් ඒ කියන්නේ රිකිල්ලක් අවිස්සාවේල්ලේ ඉඳලා දෙහිඕවිට කරවනැල්ල හරහා යටියන්තොටට විහිදවා තියනවා. ඒ කැලණි නිම්නය හෙවත් මිටියාවත ඔස්සේ. ඒ හින්දා මේකට කැලණි වැලි දුම්රිය මාර්ගය කියනවා නම් ඒක හරියටම ගැලපෙන්නේ අවිස්සාවේල්ල, යටියන්තොට කොටස ගැන හිතන කොට.

මේ යටියන්තොටින් අවසන් වන දුම්රිය මඟ ඔස්සේ දවසකට පුංචි කෝච්චි හතරක් කොළඹ දක්වා ධාවනය වෙලා තියනවා. ඊට අමතරව එක්දාස් නවසිය තිස් ගණන්වල ඉඳලා රේල් බස් එකකුත් යටියන්තොට ඉඳලා අවිස්සාවේල්ල දක්වා ධාවනය කරලා තියනවා. මේවායේ සිංහල ජනතාව, වතු වල වැඩ කරන දෙමළ ජනතාව වගේම වතු පාලක ඉංග්‍රීසි කාරයොත් ගමන් පහසුව සළසා ගත්තය කියලා තමයි කියන්නේ.

කොහොම හරි හිතපු තරම් ආදායමක් නොතිබුණු මේ දුම්රිය මාර්ගය දිගින් දිගටම පාඩු ලැබීම හින්දා දෙවන ලෝක යුද්ධය කාලේ රටේ ඇතිවුණු ආර්ථික අහේනිය මත මේක නඩත්තු කරගන්ඩ බැරි තත්වයට ඇවිත් තියනවා. ඒ හින්දා මේක 1943 අවුරුද්දේ වසා දමපු බව තමයි වාර්තා වෙන්නේ. ඒ කොහොම වුණත් ඒ පරණ පුංචි කෝච්චි පාරේ තිබුණු දුම්රිය පළවල් නම් අදටත් ප්‍රයෝජනයට ගැනෙනවා. අවිස්සාවේල්ල කෑගල්ල ප්‍රධාන මාර්ගය අද්දර තියන දෙහිඕවිට පරණ දුම්රිය පළ අද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය.

ඒ වගේම ‘කරවනැල්ල ඉස්ටේෂම ටිකට් දෙන’ කියන පතල් කවියට පාදක වුණු කරවනැල්ල දුම්රිය පළ රජයේ ප්‍රාථමික විද්‍යාලයක්. ඒ වගේම යටියන්තොට පුංචි කෝච්චි පාරේ අන්තිම දුම්රිය පළ තමයි අද යටියන්තොට පොලිස් ස්ථානය බවට පත් කරලා තියෙන්නේ. කළුගල් වලින් ඉතා සවිමත් විදිහට ඉදි කරපු මේ ගොඩනැගිල්ල තව අවුරුදු සීයක් වුණත් ඒ විදිහටම පවතියි. ඒ වගේම පරණ යටියන්තොට දුම්රිය ස්ථානයේ තිබුණු බඩු ගබඩාවත් අද රජයේ පාසලක්.

ඒ තමයි ගුරුගොඩ මුස්ලිම් විද්‍යාලය. ඒ වගේම ඊට එහායින් පුංචි කෝච්චි පාර තවත් දීර්ඝ කරන්න හිතාගන කැලණි ගඟ උඩින් තනලා තිබුණු දැවැන්ත යකඩ පාලමත් ඒක තැනූ එංගලන්ත ඉංජිනේරු සමාගමේ නම සඳහන් යකඩ මුද්‍රාවත් එක්කම අදත් දැක ගන්න පුළුවන්. ඒ දුම්රිය පලේ නිලධාරී බංගලාවත් අද පොලිස් නිල නිවසක්.

ඒ වගේම මේ පරණ යටියන්තොට දුම්රිය පලේ තිබුණු අංග තවමත් ආරක්ෂිතයි. දුම්රියෙන් ප්‍රවාහනය කරපු අශ්වයන් හෝ දුම්රියෙන් ගමන් කරපු සුද්දන් සතු අශ්වයන් ගැටගසා තැබීමට යොදා ගත්තු බිත්තියට සවි වුණු යකඩ මුද්‍රා පවා අදත් යටියන්තොට පොලිස් ස්ථාන ගොඩනැගිල්ලේ බිත්ති වල දකින්න තියනවා.

ඒ කොහොම වුණත් 1943 අවුරුද්දේ මේ යටියන්තොට අවිස්සාවේල්ල පුංචි කෝච්චි පාර ගලවා ඉවත් කරන දවස්වල යටියන්තොට, කරවනැල්ල, දෙහිඕවිට වගේ පළාත් එකම ‘මළ ගෙයක්’ බවට පත් වුණු බව පැරණි පරම්පරාවේ අය කියූ වගක් අපට මේ ගමනේ දී හමුවුණු කීප දෙනෙක්ම කිව්වා.

ඒකට වඩාත්ම හේතු වුණේ වරින් වර පිටුපසට ගමන් කරපු සේවා දුම්රියකට පුංචි කෝච්චි පාරේ කොටසින් කොටස ගලවපු පිලී, සිල්පර කොට පටවා ගෙන යාමලු. ඉතින් කාටත් පැහැදිලියිනේ තමන්ගේ ගමට ආපු පුංචි කෝච්චිය මේ යන්නේ ‘අන්තිම ගමන’ බව.

ඒ කොහොම වුණත් අවිස්සාවේල්ල, යටියන්තොට පුංචි කෝච්චි පාරේ පාලම්, බෝක්කු වගේ සමරු සටහන් බොහොමයක් අදත් නිරුපද්‍රිතවම දැක ගන්න නම් පුළුවන්.

සටහන සහ ඡායාරූප

රේණුකා ගමගේ

උරුමයක අසිරිය