පූජනීය බෝධීන් අබිබවා කපුටු බෝ ගස් වලට වැඩි සමාජමය අගයක්

ශ්‍රී ලාංකේය බෞද්ධයන්ගේ උත්තරීතරම වෘක්ෂය බෝ ගස බවට වාදයක් විවාදයක් නැත. එහෙත්, මතු පිටින් එක ලෙසින්ම පෙනෙන පූජනීය නොවන බෝ ගස් විශේෂයක් ද අප රටේ තිබේ. මේවා හැඳින්වෙනුයේ ‘කාක බෝ ගස්’ යනුවෙනි.

සමහරෙක් මේවාට ‘කපුටු බෝ’ ගස් කියා ද කියති.අද සමාජයේ ව්‍යාජ වැදගත් බවක් මවා පාන නොවැදගතුන් හැඳින්වීම පිණිස ද මේ කපුටු බෝ උපමාව හුවා දක්වනු ලැබේ.

එමෙන්ම අද සමාජය තුළින් මතු වන හා සමාජමය අගැයුමට ලක් වන මෙම මිනිස් කාක බෝ ප්‍රවණතාව මුල් කොට කිසිවකුත් නොතකන කාක බෝ හෙවත් කපුටු බෝ පිළිබඳව කතා කළ යුතු යැයි මට සිතිණ.

සාමාන්‍ය බෝ ගස සහ මෙම කපුටු බෝ ගස එකම වර්ගයකට අයත් බවත් සාමාන්‍ය බෝ ගස්වල ඇට කපුටන් විසින් අනුභව කරන ලදුව ඔවුන්ගේ මලපහ මගින් බීජ පැතිර යාම මත මෙම කපුටු බෝ ගස් වර්ධනය වන බවත් ප්‍රසිද්ධ මතයයි.

නමුදු උද්භිද විද්‍යාත්මකව සාමාන්‍ය බෝ ගස Ficus religiosa නමින් හැඳින්වෙන අතර මෙම කාක බෝ හැඳින්වෙන විද්‍යාත්මක නාමය Ficus Anorttianan Miq යනුවෙනි. සාමාන්‍ය ව්‍යවහාරයට අනුව කාක බෝ, කපුටු බෝ යනුවෙන් හැඳින්වුව ද ‘පතන බෝ’ යන නමින් ද හඳුන්වන මෙම වෘක්ෂය දීපංකර බුදුන් වහන්සේට බුද්ධත්වය සඳහා උපකාර වූ වෘක්ෂය ලෙස ද ශාසන ඉතිහාසයේ සඳහන් වෙයි.ඒ අනුව අප බොහෝ දෙනකු නොදැන සිටිය ද මෙම කපුටු බෝ වල ද යම් ශාසනික වැදගත් කමක් තිබේ.

සාමාන්‍ය ජන ව්‍යවහාරයට අනුව ‘බෝධි’ යන නමින් නොහැඳින්වෙන මේ කපුටු බෝ ගස් විවිධ අමනුෂ්‍ය කොටස් වාස භවනය කර ගන්නා බවට ප්‍රබල ජන විශ්වාසයක් අතීතයේ තිබී ඇත. ඉන්දියාවේ දී සංස්කෘත බසින් ‘පරිස’ සහ ‘කපීතන’ යන නමින් හැඳින්වෙන මෙම වෘක්ෂ විශේෂය අප රටේ දී කප්පිත්තන යනුවෙන් ද හැඳින්වෙන බවක් පැවසෙයි.

මෙම කාක බෝ ගස් අමනුෂ්‍ය වාස භවනයක් බවට අප රට තුළ සුවිසල් විශ්වාසයක් නොමැති වුව ද ඉන්දියාවේ විවිධ දේව විශ්වාසයන් හා මෙම වෘක්ෂය ඍජුවම බැඳී පවතී. නිදසුනක් ලෙස කාලි දෙවඟනගේ සැර පරුෂ අවතාරයක් වන ‘චාමුණ්ඩා’ මෙම කාක බෝ ගස් ඇසුරෙහි වැඩ වෙසෙන බවට ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවල හින්දු භක්තිකයෝ විශ්වාස කරති.

චාමුණ්ඩා යනු චණ්ඩා සහ මුණ්ඩා යන අසුරයන් දෙදෙනා පරාජයට පත් කිරී‍මෙන් කාලි දෙවඟන පළ කළ සුවිශේෂ වීරත්වය හඟවන අවතාරයකි. රුධිරය ප්‍රිය කරන්නියක වන චාමුණ්ඩාගේ ඇල්ම බැල්ම සොහොන් පිටි ආශ්‍රිතව වැඩී ඇති මෙම කාක බෝ ගස් කෙරෙහි යොමු වන බවට විශ්වාසයක් ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවල හින්දු ජනයා අතර තිබේ.

එමෙන්ම අප රටේ ඇතැම් හින්දු කෝවිල් ආශ්‍රිතව ඇති බෝ ගස් විශේෂය මෙය බව ද කියනු ලැබේ. මගේ වැටහීම අනුව මුන්නේශ්වරමේ ශ්‍රී භද්‍රකාලි කෝවිලේ ඇති බෝ වෘක්ෂය ද මේ ගණයට අයත් වෙයි.නමුත් ‘රන් වන් පාටින් දළු ලන බෝධිය’ ආදී කවි කියමින් කළ ගෙඩි ඉහළට ඔසවා මේ බෝ ගස වටා කරකැවෙන උපාසමම්මලා ද සිටිති.යමකු තමන්ගේ හිතේ හැටියට යමක් දෙන බවක් පැවසෙනවා නම් ඒ බුදුන් ද නැතහොත් දේවදත්ත ද කියා නොතකන සමාජයක් තුළ එය පුදුමයට කරුණක් නොවේ.

සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේට බුද්ධත්වය සඳහා උපකාර කළ බෝධියට ආරක්ෂාව සලසන දෙවි දේවතාවුන් පිළිබඳ ජන විශ්වාස රැසක් අප සමාජයේ තිබේ. අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට ආරක්ෂා රැකවරණ සලසන බව පවසන කළු දේවතා බණ්ඩාර එබඳු බෝධි ආරක්ෂක දෙවි කෙනෙකි.

එහෙත්, මෙම කාක බෝ ගස් සම්බන්ධයෙන් එලෙස ආරක්ෂාව සලසන විශේෂ දෙවිවරුන් පිළිබඳ සඳහන් නොවේ. නමුදු ඒවායේ එතරම් උසස් නොවන දෙවි දේවතාවන් සහ අධිමානුෂික ශක්තියෙන් යුතු වෙනත් අභෞතික ජීවීන් කොටස් සිටින බවට ජන විශ්වාසයක් තිබේ.

ඉන්දියාවේ කාලි දෙවඟන අදහනු ලබන ඇතැම් ප්‍රදේශවල මෙම කාක බෝ ගස් කේන්ද්‍ර කොට ගෙන කුඩා දේවාල ඉදි කරගෙන විවිධ ආගමික පුද පිළිවෙත් සිදු කරන බවටත් එම කාක බෝ ආශ්‍රිතව ඇතැම් කාන්තාවන්ට ‘චාමුණ්ඩා’ගේ ආරූඪය ආරූඪ වන බවටත් මතයක් තිබේ. නමුත් අප රටේ එවැනි සිදුවීම් අප වෙත වාර්තා වී නැත.

ගම්පහ-ජාඇල ප්‍රධාන මාර්ගයේ වැලිකඩ ප්‍රසිද්ධ සුසාන භූමිය අද්දර ඇති එවැනි පුරාණ කාක බෝ ගසක් මුල්කොට දේවාල ඇරඹීමට සූදානම් වූ කිහිප දෙනකු හදිසි අකල් මරණවලට ලක් වීමෙන් එම කටයුතු මුළුමනින්ම ව්‍යර්ථ වූ බවට වන ළාබාල වියේ මතකයක් තමන් සතුව ඇතැයි ගණේමුල්ල, තිබ්බටුගොඩ විසූ ශාන්තිකර්ම සම්බන්ධ විශාරදත්වයක් හිමි ගැමියකු වන පියදාස විද්‍යාරත්න මහතා (විපුලසේන අයියා) මීට කලකට පෙර මා හා කියා තිබිණ.

ඔහු එහි දී ප්‍රකාශ කොට සිටියේ මෙම කාක බෝ ගස්වලට ඇතැම් විට බලගතු යක්ෂයන්ගේ ද බැල්ම යොමු වන නිසා එවැනි කටයුතු කිරීමේ දී ඒ සම්බන්ධ විශේෂ අවධානයක් යොමු කළ යුතු බව ය.

විශේෂයෙන් සුසාන භූමි ආශ්‍රිතව වැඩී ඇති පැරණි කාක බෝ ගස් විවිධාකාර අමනුෂ්‍යයන්ගේ වාස භවනයන් වීම මත බොහෝ දෙනකු ඒවා මුල් කොට දේවාල තැනීමට උත්සුක නොවූ බව ද ඔහු වැඩිදුරටත් කීය. එහෙත් ඒ සම්බන්ධ ඊට වැඩි තොරතුරු මා සතුව නැත.

ඉහත සඳහන් තත්ත්වයන් යටතේ අපගේ අතීත සමාජය මෙම කාක බෝ මුල් කොට කිසිදු වන්දනාමාන කටයුත්තක් සිදු නොකළ අතර එය ඖෂධ නිස්සාරකයක් ලෙස පමණක් යොදා ගන්නා ලදී. විශේෂයෙන් උන්මාද රෝග සම්බන්ධ ප්‍රතිකාරවල දී ඉසකුඩිච්චි දැමීමට මෙම කාක බෝපත්‍ර යුෂ යෙදීමක් පිළිබඳ පැරණි ජන වෙදකමේ සඳහන් වෙයි.

කෙසේ නමුදු අපගේ දේශීය බෞද්ධ සංස්කෘතිය තුළ බෝධි වෘක්ෂයට අද්විතීය පූජනීයත්වයක් ලබා දුන් අතීත ජනයා මෙම කාක බෝ ගස් සම්බන්ධයෙන් කිසිදු තැකීමක් නොකිරීමට හේතුව ඒවා සම්බන්ධයෙන් පවතින මෙම පාරම්පරික ජන විශ්වාස බව පැහැදිලි ය.

ඒ අනුව මින් අපට පැහැදිලි වනුයේ මෙරට පාරම්පරික ජන විශ්වාසයනට අනුව කාක බෝ වෘක්ෂයන්හි මහේශාක්‍ය නොවන දෙවිවරුන් සේම යම් යම් ප්‍රබල අමනුෂ්‍යයන් ද වාස භවනය කරගෙන හිඳින බවත් එනිසාම බෝධි වෘක්ෂය පරම පූජනීයත්වයෙන් සලකන අපේ ශ්‍රී ලාංකේය බෞද්ධ සමාජය කාක බෝ ගස්වලට වන්දනාමාන කිරීම තබා ඒවා සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කිරීමෙන් පවා වැළකී සිටි බව ය.

නමුදු මේවා හට වන්දනා මාන කිරීමෙන් ලෞකික සැප සම්පත් ලැබෙන බවට ජන විශ්වාසයක් සමාජය පුරා පැතිර ගිය හොත් අප රටේ පූජනීය බෝ ගස් විශේෂය පරදවා මෙම කපුටු බෝ වුව ද ජනප්‍රියත්වයෙන් ඉහළ යාමේ පැහැදිලි ඉඩ කඩක් තිබේ.

මා එසේ කියන්නේ ඒ මාදිලියේ ඊනියා වැදගතුන් ට අද සමාජයේ පෙර නොවූ අන්දමේ ඉහළ පිළිගැනීමක් ලැබෙමින් පවතින බැවිනි.

තිලක් සේනාසිංහ

 

 

අරුමැසි පුවත්