පොල් වලට යන වියදම එකට එකක් අඩු කරන පොල් කුඩු තලපයක් හදමු

වර්තමානයේ ශ්‍රී ලාංකෙය ජනතාව මුහුණ පාන ආර්ථික දුෂ්කරතා පිළිබඳව අමුතුවෙන් කිව යුතු නැත.ඒ ත්ත්වය යටතේ අරපිරිමැස්ම අනිවාර්ය අවශ්‍යතාවක් ව පවතී.අප ජන සම්මතය අනුව නොවැදගත් දෙයක් හැඳින්වීමට යොදන වදනක් වනුයේ “පොල් කුඩු වගේ “යන්න ය.නමුත් ඉන් පළවන අරුත ඉඳුරාම වැරදි සහගතය.අපේ ගෘහනියෝ ව්‍යංජන සඳහා පොල් ගා , මිරිකා, එහි අන්තර්ගත කිරි ගෙන පොල් කුඩු ඉවත දමති.

එසේ ඉවත ලන පොල් කුඩු වලින් සත්වාහාර නිපදවනු ලැබේ.එහෙත්, මෙසේ වීසි කරන පොල් කුඩු, මනුෂ්‍ය ආහාරයට ඉතා සුදුසුය. මේ ආකාරයට පොල් කුඩු වීසි කිරීම මඟින් සිදු වන්නේ, පොල්වලින් 50% කට වඩා වැඩි වූ පෝෂණ කොටසක් අපතේ යැවීමකි. එසේ අපතේ යන පොල්වල වටිනාම පෝෂණ කොටස් විවිධාකාරයෙන් අපගේ ආහාරයට එක් කර ගත හැක.පොල් යනු තන්තු බහුල ආහාරයකි. එහෙත් පොල් කිරි භාවිතයේ දී ඒ තන්තුමය කොටස මුලුමනින්ම අපතේ යයි.

තන්තු ආහාරයට ගන්නා විට ආහාර මාර්ගයේ රෝග වැළ‍ඳීම ද සීමා වෙයි.විශේෂයෙන් මල බද්ධය නැති වෙයි. පොල් පරිභෝජනය නිසා කොලෙස්ටරෝල් ඇතිවන බවට පවතින මතය ද වැරැදිය. ශාක ආහාරවල අන්තර්ගත මේද අම්ල කෙටි දාම ශරීරයේ තැන්පත් වනුයේ ඉතාමත් ම අවම වශයෙනි.

නමුත් සත්ව තෙල්වලින් එන දිග දාම කොලෙස්‍ටරෝල් ලෙස රුධිරයේ තැන්පත් වේ . වර්තමානය වන විට මස් වර්ග හා කෘත්‍රිම ආහාර පරිභෝජනය වැඩිවී ඇති නිසා, එම තෙල් ධමනි තුළ තැන්පත් වේ. දිනකට පිරිපහදු කළ සුදු පොල් තෙල් මේස හැන්දක් බීමට ගත් විට, ලෙඩ රෝග දහයකින් ගැළවීමට හැකියාව ඇති බව අමෙරිකාවේ නවතම සොයා ගැනීමකින් තහවුරු වී තිබේ .මේ පොල් කිරි සඳහා ආදේශකයක් ලෙස පොල් කුඩු වලින් තලපයක් සාදා ගත හැකි ක්‍රමයකි.

පොල් මිරිකා ඉතිරිවන පොල් කුඩු ලෝහ තැටියක දමා පැය 03 ක කාලයක් අව්වේ වේලා ගත ගන්න,.එහි තෙත ගතිය ඉවත් වී වියළි බවට පත් වූ පසුව ජලය මුසු නොකර බ්ලෙන්ඩරයට දමා විනාඩි 03 ක් පමණ බ්ලෙන්ඩ් කර ගන්න.එසේ කිරීම මඟින් ඉතා හොඳ තලපයක් හෙවත් කපවුඩර් එකක් සකසා ගත හැකිය.මේ තලපය සුළං නොවදින වියළි ස්ථානයක සති හයක පමණ කාලයක් තබා ගත හැකි අතර. ශීතකර‍ණයක නම් ඊට වැඩි කාලයක් වුවද තබාගත හැකිය.

මේ තලපයෙන් එක් මේස හැන්දකට වතුර මේස හැඳි පහක් පමණ දමා, ඉතා හොඳ තත්වයේ මිටි කිරි සකසා ගැනීමේ හැකියාව තිබේ.තලපයෙන් මේස හැඳි 04 කට වතුර මේස හැඳි 10 ක් දැමීමෙන් දිය කිරි සාදා ගත හැක. මෙය පොල්වලට දිනපතා යන වියදම 50% කින් අඩුවන ක්‍රමයකි.

සාමාන්‍යයෙන් වසරකට එක් අයෙක් පොල් ගෙඩි 120 ක් පමණ ප්‍රමාණයක් පරිභෝජනය කරන අතර මේ ක්‍රමය අනුව කටයුතු කිරීමෙන් එම ප්‍රමාණය පොල් ගෙඩි 60 දක්වා අඩුකර ගත හැක.නමුදු මින් ආහාර වල රසයට ගුණයට කිසිදු හානියක් නොවන බව ද කිව යුතුමය.

දමයන්ති ගමගේ

අරුමැසි පුවත්