පොලිස් නිලධාරියකු තායිලන්තයේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයක දරුවන් 23 දෙනෙකු ඝාතනය කරයි

diwa

අවුරුදු 2-5 අතර වයස්වල පසු වූ සුරතල් දරු පිරිසක් රැඳී සිටි දිවා සුරැකුම් මධ්‍යස්ථානයකට (Daycare Centre) කඩා වැදුණු පුද්ගලයකු එහි සිටි දරුවන් 23 දෙනෙකු ඇතුළු 37 දෙනෙකු වෙඩි තබා සහ කපා කොටා මරණයට පත් කිරීමේ බිහිසුණු සිද්ධියක් ගැන බ්‍රහස්පතින්දා තායිලන්තයෙන් වාර්තා විය. මෙම සිද්ධිය සිදුව තිබුණේ තායිලන්තයේ අගනුවර වන බැංකොක් හි සිට කි.මී. 500 ක් පමණ ඊසාන දෙසින් පිහිටි උතායි සවාන් නැමැති නගරයක යි. මෙම කෲර අපරාධය සිදු කළ පුද්ගලයා පන්‍යා කම්රාබ් නැමැති හිටපු පොලිස් නිලධාරියකු බව සඳහන් වේ. ඔහුගේ වයස අවුරුදු 34 ක් බව ද මාධ්‍ය වාර්තාවල සඳහන් විය.

මෙම ප්‍රහාරය සඳහා කම්රාබ් ඔහුගේ මෝටර් රියෙන් පැමිණ තිබුණේ එදින දහවල් 12.30 ට පමණ ය. ඒ වනවිට දරුවන් සිට ඇත්තේ දිවා ආහාරයෙන් පසු තද නින්දේ ය. දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකු මධ්‍යස්ථානය ඉදිරිපිට ආහාර ගනිමින් සිටි බවත්, ප්‍රහාරකයා මෝටර් රියෙන් බැස විත් ඔවුන් දෙසට වෙඩි තැබූ බවත් සිද්ධිය ඇසින් දුටුවකු පවසා තිබේ. ‘එතැන සිටි හතරපස් දෙනෙකුට වෙඩි වැදුණා. එයින් පස්සේ ඔහු මධ්‍යස්ථානයට ඇතුල් වී දරුවන් නිදා සිටි කාමරයකට කඩා වැදුණා’ යයි ඔහු පවසා තිබිණි.

දරුවන්ගේ කාමරයේ ‍දොර අහුරාගෙන සිටින්නට එක් නිලධාරිනියක උත්සාහ ගෙන තිබුණත් එය සාර්ථක වී තිබුණේ නැත. ‘ප්‍රහාරකයා පා පහරක් දී දොර විවෘත කර ගත්තා’ යයි එම අවස්ථාවේ එහි සිටි කාර්ය මණ්ඩලයේ අයකු සඳහන් කර තිබේ. මෙම අපරාධකාරයා දරුවන් මරා දමා තිබුණේ පිහියකින් කපා කොටා බව අනාවරණය වී තිබේ. ඔහු පැමිණ තිබුණේ තුවක්කුවකින්, පිස්තෝලයකින් සහ පිහියකින් සන්නද්ධව බවක් පොලිසිය පවසා ඇත. කම්රාබ් වෙත තිබූ පිහිය තණකොළ කැපීම සඳහා යොදා ගන්නා වක් පිහියක් බවක් ද ඇතැම් මාධ්‍ය වාර්තාවල සඳහන් විය. සිද්ධියෙන් වැඩිහිටියන් 14 දෙනෙකු ද මියගොස් ඇති අතර අට මස් ගැබිණියක වූ ගුරුවරියකද ඒ අතර සිටින බැව් පැවසේ.

සිද්ධිය ගැන දැනගැනීමෙන් පසු එහි රැස් වූ මව්පියන් සිය දරුවන්ගේ සෙල්ලම් බඩු ආදිය අතින් ගෙන විලාප තබමින් හඬා වැටෙන අයුරු දැක්වෙන විඩියෝ දර්ශණ මාධ්‍ය තුළ පළ වී තිබේ.

කම්රාබ් නැමැති සැකකරු මෙම අපරාධය කළේ මන්ද යන්න සිකුරාදා දහවල් වනවිටත් නිශ්චිතව අනාවරණය වී තිබුණේ නැත. කෙසේ නමුත් පසුගිය ජුනි මාසයේ ඔහුට රැකියාව අහිමි වී තිබූ බවක් සඳහන් වේ. පොලිස් සේවයෙන් ඔහු ඉවත් කර තිබුණේ මත් ද්‍රව්‍ය භාවිතය පිලිබඳ චෝදනාවක් නිසාය.

සිද්ධිය සිදු වූ දිනයේ උදය වරුවේ ඔහු මෙම චෝදනාවට අදාළව අධිකරණය වෙත කැඳවා තිබූ බවක් ද පැවසේ. මේ නිසා ඔහු යම් මානසික ආතතියකට පත්ව සිටියා වන්නට පිලිවන. කම්රාබ් දිවා සුරැකුම් මධ්‍යස්ථානයට පැමිණ තිබුණේ අධිකරණයට යාමෙන් අනතුරුව ය. ඔහුගේ දරුවා රඳවා තබන්නේ ද මෙම මධ්‍යස්ථානයේම බව සඳහන් වේ. නමුත් ඔහු පසුගිය සති කිහිපයේම එහි නොපැමිණි බවක් දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ පාලිකාවක මාධ්‍ය සමග පවසා තිබුණාය.

මධ්‍යස්ථානයේ සිටි දරුවන් ඇතුළු පිරිස ඝාතනය කිරීමෙන් පසු කම්රාබ් නැවතත් වාහනයේ නැගී එම ස්ථානයෙන් පිට වී තිබිණි. ඔහු ගේ වාහනයෙහි හැපී පාර අද්දර සිටි කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බවක් ද වාර්තා වේ. ඊළඟට ඔහු ගොස් තිබුණේ ඔහුගේ නිවස වෙතයි. ඒ වනවිටත් 37 දෙනෙකු ඝාතනය කර සිටි ඔහුට එය ද ප්‍රමාණවත් නොවූ බවක් පෙනිණි. කම්රාබ් ඔහුගේ නිවසේ සිටි බිරිඳ සහ දරුවා ද වෙඩි තබා ඝාතනය කළේය. අනතුරුව තමාට ද වෙඩි තබා ගත්තේය. එයින් ඔහු ද මරණයට පත්ව ඇති බව වාර්තා වේ.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර