පොලීසියේ වගකීම මහජන ආරක්ෂාව තහවුරු කිරීම මිස ජනතාව වෙතින් ප්‍රතික්ෂේප වන දේශපාලුවන් වෙනුවෙන් බිලි පූජා පැවැත්වීම නොවේ

ශ්‍රී ලංකා පොලිසිය මහජන මුදලින් නඩත්තු වන මහජනයා ආරක්ෂා කිරීම සිය පරම රාජකාරි යුතුකම ලෙස සැලකිය යුතු ආයතනයක් බැවින් මහජනතාව වෙතින් ප්‍රතික්ෂේප වන දේශපාලුවන්ගේ බලය තහවුරු කිරීම වෙනුවෙන් බිලි පූජා පැවැත්වීම ඔවුන් විසින් නොකළ යුත්තක් බව හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් පති ප්‍රියන්ත ජයකොඩි මහතා පවසයි.

ඒ සිය ෆේස් බුක් පිටුවේ සඳහනක් කරමිනි.කලක් අපරාධ සහ සංවිධානාත්මක අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස් පති වරයා වශයෙන් කටයුතු කොට ඇති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් පති ප්‍රියන්ත ජයකොඩි මහතා අවස්ථා කිහිපයක දීම ශ්‍රී ලංකා පොලීසියේ මාධ්‍ය ප්‍රකාශක වරයා ලෙස ද කටයුතු කොට ඇත.ඒ මහතා ගේ ෆේස් බුක් සටහන මෙලෙසිනි.”ශ්‍රී ලංකා පොලිසිය මහජන මුදලින් නඩත්තු වන මහජනයා ආරක්ෂා කිරීම සිය පරම රාජකාරි යුතුකම ලෙස සැලකිය යුතු ආයතනයකි.

මහජන හඬට කන් දීම මෙන්ම රට තුළ නීතිය හා සාමය ආරක්ෂා කරමින් මහජන ආරක්ෂාව තහවුරු කිරීම පොලීසියේ වගකීමයි.ඒ හැර මහජනතාව වෙතින් ප්‍රතික්ෂේප වන දේශපාලුවන්ගේ බලය තහවුරු කිරීම වෙනුවෙන් බිලි පූජා පැවැත්වීම ඔවුන් විසින් නොකළ යුත්තක් බව අවධාරණය කරමි……… කලහකාරී පිරිසක් දේපල වලට හානි කිරීමට උත්සාහ කරන අවස්ථාවක සාම නිලධාරින් සිදු කළ යුතු දේ කුමක්ද? යන්න පිළිබඳව ද නිශ්චයක් තිබිය යුතු ය.

පොලිස් නිලධාරීන් සියල්ල කැරලි මර්දන රාජකාරිය සඳහා මනා ලෙස පුහුණු කළ අය කඳුළු ගෑස් බැටන් සහ රබර් උණ්ඩ කැරලි මර්දන රාජකාරී සඳහා යොදවා ගන්නේ ඒ නිසා ය. පොලිස් නිලධාරියා ද මේ මිනිස් සමාජයේම කොටස්කරුවෙකු මිස අඟහරු ලොවින් පැමිණි අයෙකු නොවේ.

රට තුළ මෙම අවස්ථා වන විට වනවිට උද්ගතවී ඇති මහජන විරෝධතා තත්වය සම්බන්ධ සෑම පොලිස් නිලධාරියෙක් ම සංවේදී විය යුතුය. ඒ හැර ජීව උණ්ඩ යොදා සිදුකරන වෙඩි තැබීමේ හේතුවෙන් සිදුවන ජීවිත හානිය මෙම තත්වය වඩාත් උග්‍ර කරන බව මගේ හැඟීම ය.එය හරියට ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක් මෙනි.

1994 පාර්ලිමේන්තු මැතිවරණයට නාම යෝජනා භාර දුන් දිනයේ පොලිස් නිලධාරියකු ලෙස මා මුහුණ දුන් මෙවැනි තත්ත්වයක් සම්බන්ධව පසුගියදා “කැපිටල් ටීවී “සමඟ පවත්වනු ලැබූ සම්මුඛ සාකච්ඡාවක දී මා විසින් දීර්ඝ වශයෙන් සදහන් කළෙමි.එම සාකච්ඡාව මගේ මුහුණු පොතේ තිබේ.

කාලීන පුවත්