බදු ගෙවීම් පැහැර හරින්නන්ට දැඩි නීති අනුගමනය කරන්නැයි කියයි

මෙරට බදු ගෙවීම පැහැර හරින මහා පරිමාණ ව්‍යාපාරිකයින්ගේ බදු අය කරගැනීම සඳහා නීතී තවදුරටත් දැඩිව ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

විද්වත් කථිකාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

එහිදී ඔහු තවදුරටත් සඳහන් කළේ,

“බදු එකතු කිරීමේ යාන්ත්‍රණය නීති රීති වෙනස් කිරීමෙන් හෝ දැඩිව ක්‍රියාත්මක කළ යුතුයි. බදු පොලුකාරයන්ගේ බැංකු ගිණුම් තහනම් කරන්න අපි නියෝග කළා. අද පාකිස්තානයේ සිම් කාඩ් එකක් ගන්න බැහැ බදු පොලු තිබුණොත්. එවැනි දැඩි පියවර අනුගමනය නොකර මේ බදු එකතු කරන්න බැහැ.”

මෙහිදී අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ පාර්ලිමෙන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේ,

“බදු ක්‍රමවේදය තවදුරටත් දැඩි කළ යුතුයි. ඒ සඳහා ඩිජිටල්කරණයක් අවශ්‍යයි. මානව මැදිහත්වීම් තුළ ගැටලු වැඩියි. සුරාබදු දෙපාර්තමේන්තුවට නිසි ක්‍රමවේදයක් නැහැ. මත්පැන් ස්ටිකරය කියන්නේ මහා වංචාවක්. මත්පැන් නිෂ්පාදකයින්ගේ බලපත්‍ර නැවත ලබාදුන්නා. හොරකම, වංචාව නතර කරන්න ඩිජිටල්කරණයක් අවශ්‍යයි. අපේ බදු අයකිරීම 5% දක්වා වැඩි කළ හැකියි.”

ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ සාමාජික ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා,

“රුපියල් ට්‍රිලියනයක් පමණ බදු ගෙවීම පැහැර හැරලා. ඒ බර ජනතාව මත පැටවිලා. ඔවුන් දේශපාලකයින්ට වියදම් කළ නිසා නැවත ආණ්ඩුවට වියදම් කරන්නේ නැහැලු. මේ වගේ මානසිකත්වයක් තමයි අපේ රටේ තියෙන්නේ.”

කාලීන පුවත්