මත්පැන් පානය හෙවත් බීමත් කම සම්බන්ධයෙන් වරින් වර නොයෙකුත් සමාජ කතිකාවන් පැන නැඟී තිබේ. වරින් වර විවිධාකාර ස්වරූපයෙන් පැන නඟින එම කතිකාවන් සම්බන්ධ අලුත්ම සමාජ අවධානය වන්නේ උසස් සමාජ තත්වයන් හිමි සමාජයේ වැදගත් නිලතල දරන්නවුන් පවා මත්පැන් පානයෙන් පසු විෂමාචාරී හැසිරීම් පළ කරන්නේ ඇයි යන්න ය.
උසස් සමාජ තත්වය, නිලතල ආදිය මිනිසා විසින් ගොඩනඟා ගත් ශිෂ්ටාචාරය සහ සංස්කෘතිය ආදී කෘත්‍රිම ආරෝපණ මත පදනම් වන්නකි. එහෙත්,මත්පැන් බීම නිසා ඇතිවන වෙරි මත හෙවත් ආධුලනය (Intoxication) ස්වභාවික ජෛවමය ක්‍රියාකාරීත්වයකි. ඒ අනුව ශිෂ්ටාචාරය සහ සංස්කෘතිය විසින් එය පාලනය වීමට ඇති ඉඩ කඩ ඉතා සීමිත බව කිව යුතු ය.
මත්පැන් බීමෙන් ඇතිවන වෙරි මත හෙවත් ආධුලනය ඒ පුද්ගලයාගේ කතා බහ හැසිරීම් මගින් නිරීක්ෂණය කිරීමට අන්‍යයන්ට පුළුවන. රුධිරයේ ඇති ඇල්කොහොල් සංයුතිය .08%කට වඩා ඉහළ නැඟී තිබීමෙන් ඒ තැනැත්තා බීමතින් පසුවන්නකු බව විද්‍යාත්මකව නිරීක්ෂණය කෙරේ. මෙය ස්වසන හෝ රුධිර පරීක්ෂාවක් මගින් පහසුවෙන් තහවුරු කර ගත හැක.
මත්පැන් පානය නිසා මිනිසාට ඇතිවන ප්‍රධාන බලපෑම වනුයේ කය සහ මනැස පාලනය කරගැනීම සම්බන්ධයෙන් පවත්නා ස්වභාවික හැකියාව අවප්‍රමාණ වීම ය. මෙය මත්පැන් බොන ප්‍රමාණයට සහ ඒ පුද්ගලයාගේ කායික මානසික ව්‍යුහයට අනුව කෙමෙන් ඉහළ නැංවෙන තත්වයකි. ඊට හේතුව ඇල්කොහොල් සේම මධ්‍යසාරවල අඩංගු එතනෝල් (Ethanol) සේම ඇල්කොහොල් පරිවෘත්තීය ඇසිටැල්ඩිහයිඩ් (Acetaldehyde) යන පදාර්ථයන් රුධිරය හා සංයෝග වීමට සාපේක්‍ෂව ඉන් මොළයට ඇතිවන බලපෑම ඉහළ නැංවීම ය.
මෙය එක් එක් පුද්ගලයා ගේ පෞරුෂ, මනෝමය සහ ජෛවමය යන ස්වභාවික සාධක මත පදනම් වන්නක් මිස හුදෙක් ශිෂ්ටාචාරය සංස්කෘතිය වැනි කෘත්‍රිම සාධක මත පදනම් වන්නක් නොවේ.
මෙම මත්පැන් බීමේ ප්‍රමාණයන් හෙවත් ‘පදම්’ තුනක් පිළිබඳ ජන වහරක් මම අසා ඇත්තෙමි. ඒ ‘බඹර පදම’ ‘සිංහ පදම’ සහ ‘බලු පදම’ යනුවෙනි. මෙහි ‘බඹර පදම’යනුවෙන් හැඳින්වෙනුයේ මත්පැන් බිව් පුද්ගලයා ප්‍රකෘතියෙන් බැහැර විනෝදමත් බවක් පළ කිරීම ය. ප්‍රකෘතියෙන් බැහැර පෞරුෂයක්, අභිමානයක් සහ වීරත්වයක් පළ කිරීම සිංහ පදම යනුවෙන් හැඳින්වෙන අතර බලු පදම යනු එම බීමත් කම මුල් කොට අශිෂ්ට හා අශීලාචාර කටයුතු වල යෙදීම සහ තම අනන්‍යතාව බිඳ දමා ගැනීම ය.
ශිෂ්ටාචාරය නම් වන ආරෝපණය දරා හිඳිනුයේ අපගේ මොළයේ ඉදිරිපස කොටස හෙවත් ලලාටපිණ්ඩිකය (Frontal lobe) මගිනි. යම් යම් පෞරුෂ ඌණතා, අර්බුද සහ ආබාධ සහිත පුද්ගලයන් මත්පැන් පානය කළ විට ලලාටපිණ්ඩිකය එය පහසුවෙන් දරාගත නොහැකි වේ. එවිට එම පුද්ගලයන් වෙතින් ශිෂ්ටාචාරගත ලක්‍ෂණ අවප්‍රමාණ වීම තුළින් අවසානයේ එය ගිලිහී යාමට ද පුළුවන. “බීලා පිස්සු කෙළිනවා” යනුවෙන් හැඳින්වෙන තත්වයේ විද්‍යාත්මක පදනම මෙයයි.
මේ “බීලා පිස්සු කෙළීමේ” ක්‍රියාවලියට සමාජ,ආර්ථික, සංස්කෘතික සාධක බලනොපාන අතර ඒ සඳහා ඉවහල් වනුයේ එම පුද්ගලයාගේ පෞරුෂ සහ මනෝමය සාධක පමණි.
මත්පැන් මගින් ශරීරයට මධ්‍යසාර හෙවත් ඇල්කොහොල් අවශෝෂණය වීමට සාපේක්‍ෂව පරිසරය පිළිබඳ ප්‍රකෘති සංවේදීතා කෙමෙන් අවප්‍රමාණ වෙයි. ශබ්ද, ගඳ සුවඳ, ස්පර්ශය වැනි සංවේදීතාවයන් සේම කාලය සහ අවකාශය පිළිබඳ හැඟීම් දැනීම් ද අවප්‍රමාණ වෙයි. මත්පැන් පානයෙන් පසු බොහෝ දෙනකු කතා කරන ස්වරය ඉහළ නැංවෙන්නේත්, ගුවන් විදුලි ශබ්ද විකාශන ආදී යන්ත්‍රවල හඬ වැඩි කිරීමට නැඹුරු වන්නේත් යමකු පිටට තට්ටු කර කතා කිරීමක දී පවා ඊට ප්‍රතිචාර නොදක්වනුයේත් ඒ නිසා ය.
එමෙන්ම මොළයේ චක්‍රානුකූල රිද්මයන් බිඳවැටීම (Circadian rhythms ) මත කාලය පිළිබඳ හැඟීම් ද අවප්‍රමාණ වන අතර දුර පිළිබඳ සංවේදීතාවන් හි නිරවද්‍ය බව ද අඩුවෙයි.
මෙසේ ශරීරගත වන ඇල්කොහොල් සංයුතිය ඉහළ නැංවෙත්ම ලජ්ජාව ද ශීඝ්‍රයෙන් බිඳ වැටෙයි. මත්පැන් බිව් සමහරුන් සාමාන්‍ය ජීවිතයේ දී නොකරන ලෙස ඉංග්‍රීසි භාෂාවභාවිතා කරන්නේත්, ගී ගැයීමට නොහැකි වූවන් පවා හඬ නඟා ගී ගයන්නේ, කාන්තා පාර්ශවය කෙරෙහි වැඩි ඇල්මක් දක්වන්නේත් මෙසේ බිඳවැටෙන ලජ්ජාව නිසා ය.
මේ තත්වය යටතේ අධික ලෙස මත්පැන් බිව් සමහරුන් අශීලාචාර ලෙස ප්‍රසිද්ධියේ නිර්වස්ත්‍ර ලෙස හැසිරීමේ වුව අරුමයක් නැත.
මානසික රෝග අතරට ප්‍රධාන වශයෙන් ගැනෙන භින්නෝන්මාදය (Schizophrenia) ද්වි අග්‍ර රෝගය (Bipolar Disorder) වැනි ආබාධ වැළඳී ප්‍රකෘතියෙන් බැහැර හැසිරීම් දක්වන්නවුන් තුළ වුව එම රෝගවල උග්‍රතම අවස්ථාවක් දක්වා රැකී තිබෙන ලජ්ජාව මෙම මත්පැන් පානයේ දී වේගවත්ව අවප්‍රමාණ වී මුළුමනින් සිඳී යනු යම් යම් පුද්ගලයන් වෙතින් ඔබ ද අත්දැක තිබෙන්නට පුළුවන.
නමුදු මත්පැන් පානය පදනම්ව හටගන්නා පුචණ්ඩත්වය,කලහකාරී බව ඊට ප්‍රතිරෝධයක් දනවන බිය ජනක හැඟීමක් සිතට පිවිසි පසු මුළුමනින්ම ගිලිහී යාම සාමාන්‍ය තත්වයකි. මහ මඟ බීමත්ව අශෝභන ලෙස කෑකෝ ගසමින් හිඳින්නෙකු- සමීපයේ පොලිස් ජීප් රියක් නතර වූ සැනින් ඒ තැනැත්තා ගේ හැසිරීම් රටාව මුළුමනින්ම වෙනස් වන අයුරු ඔබ ද දැක තිබෙන්නට පුළුවන.
මද්‍යසාරය ශරීර ගතවන්නකු ගේ කායික ව්‍යුහය හා මත්පැන් මාත්‍රාව අනුව යමකු තුළ පවත්නා වෙනස්කම් එහි අදියර වශයෙන් දැක්විය හැක. වචන උච්චාරණ සහ ඇවිදීමේ අපහසුව, එහි මුල් අදියරේ ද ඔක්කාර ගතිය, ස්වස්න අපහසුව සහ මුර්ජාව එහි දෙවෙනි සහ තෙවන අදියර වලදී දක්නට ලැබෙන අතර ඉතා කලාතුරකින් අධික මත්පැන් පානය හේතුවෙන් හදිසි මරණ පවා සිදුවිය හැකිය. මත්පැන් පානය කළ පසු තමන් ඉන් සතුටක් විනෝදයක් ලබන බවත් තමන් තුළ මනා පෞරුෂයක්, ආත්ම අභිමානයක් ඇති බවත් ආදී හැඟීම් යම් තැනැත්තකු තුළ ඇති වීමට පුළුවන. එහෙත්, ඒ තැනැත්තා ගේ මානසික ප්‍රකෘතිය අහිමි වීමෙන් පසු ඇතිවන එම හැඟීම් දැනීම් සැබෑ සතුටක්,පෞරුෂයක් ආත්ම අභිමානයක් සේ තැකීමට නොපුළුවන. එහි දී සැබැවින්ම සිදුවනුයේ තම සැබෑ පෞරුෂය, සමාජ තත්වය පිළිබඳ නිරවද්‍යතා සංජානනය ඔහු කෙරෙන් ගිලිහී යාම පමණි.
මෙම මත්පැන් පානයේ දී පුද්ගලයකු ගේ ක්‍රියාකාරී මතකය (Working memory) වේගවත්ව බිඳවැටෙන අතර මේ දැන් කී දෙය පවා මොහොතකින් අමතක වීම සාමාන්‍ය තත්වයකි. බීමත් පුද්ගලයන් බොහෝ විට එකම දෙය නැවත නැවත කියමින් සෙස්සන්ට වදයක්, කරදරයක් වන්නේ එබැවිනි. එහෙත්, ඔවුන්ගේ මනැසේ ක්‍රියාකාරී මතකයන් එසේ බිඳ වැටුණ ද දිගුකාලීන මතකයන් මතක ගබඩාවේ සුරක්ෂිතව තිබේ.
බීමත්ව පසුවන විට ඒවා වේගයෙන් ඉස්මතු වීමත් සිග්මන්ඩ් ප්‍රොයිඩ් ගේ විග්‍රහයට අනුව සිත (Ego) පහන් සිත (Super ego) යන තත්වයන් යටපත්ව ඔහු දළ සිත (ID) යනුවෙන් හැඳින්වූ ශිෂ්ටාචාරගත නොවූ ප්‍රකෘති මානසික ක්‍රියාකාරීත්වය ඉස්මතු වෙයි. එමගින් අශීලාචාර ම්ලේච්ඡ හැසිරීම් අධික ලෙස මත්පැන් පානය කළ අයකු වෙතින් පළවීමේ අරුමයක් නැත.
එහි දී ඒ සඳහා ඒ තැනැත්තාගේ පෞරුෂ, මනෝමය සහ ජෛව විද්‍යාත්මක පසුබිම මිස සමාජ තත්වය කෙසේවත් බල නොපාන බව ද විශේෂයෙන් කිව යුතු ය.
මෙසේ මත්පැන් බීමෙන් පසු විවිධ අයථා සහ විෂමාචාර ක්‍රියාවල යෙදෙන පුද්ගලයන් සම්බන්ධයෙන් සිදු කරනු ලැබූ මනෝ විද්‍යාත්මක පරීක්ෂණ වලදී ඒවා සහ ඔවුන්ගේ ළමා විය අතර පවතින සම්බන්ධතා අනාවරණය කරගැනීමට මනෝ විද්‍යාඥයන්ටහැකිව තිබේ.
විශේෂයෙන් බීමත්ව සාපරාධී ක්‍රියාකාරකම් වලට පෙළඹුණු පුද්ගලයන් සම්බන්ධයෙන් සිදුකෙරුණු අපරාධ මනෝ විද්‍යාත්මක පර්යේෂණයන් හිදී එම පුද්ගලයන් ගෙන් සැලකිය යුතු පිරිසක් කුඩා කාලයේ මාපිය සහසම්බන්ධතා පිළිබඳ ඛේදවාචකයන්ට මුහුණ දී ඇති බව ද අනාවරණය වී තිබේ.
එමෙන්ම මීට පෙර යම් යම් සාපරාධී ක්‍රියාවලට සම්බන්ධ වී පුනරුත්ථාපනයට ලක් නොවූ පුද්ගලයන් ද මත්පැන් බීමෙන් පසු යළි එබඳු සාපරාධී ක්‍රියා සම්බන්ධයෙන් විශේෂ නැඹුරුවක් පළ කරන බව කිව යුතු ය.
එමෙන්ම ආවේගාත්මක පෞරුෂයන් ඇත්තවුන්, මානසික රෝග සඳහා ඉවහල්වන පෞරුෂ සහ ජෛවමය සාධක ඇත්තවුන් සේම යම් යම් මානසික රෝගාබාධ ඇත්තවුන් ද සමාජමය තරාතිරම කුමක් හෝ වේවා මත්පැන් පානයෙන් පසු මෙලෙස ව්‍යාකූල හැසිරීම් පළ කළ හැකි බව මනෝ වෛද්‍ය විද්‍යාත්මකව පැහැදිලි ලෙස නිගමනය කළ හැක.
විශේෂඥ මනෝ වෛද්‍ය රනිල් අබේසිංහ