බලංගොඩ මානවයාගේ ඥාතීන් විසූ කිතුල්ගල බෙලිගල්ලෙන

vinivida

මීට අවුරුදු හතළිස් දහසක පමණ කාලයේ අපේ රටේ ජීවත් වී තිබූ බලංගොඩ මානවයා ලොව පැරණිතම නූතන මානවයා හෙවත් හෝමෝසේපියන් ලෙස සැලකෙනවා. ඒ අනුව බලංගොඩ මානවයා කියන්නේ වානර පෙනුමක් ඇති අයෙකු නොවෙයි. බලංගොඩ මානවයා සම්බන්ධ තොරතුරු ලැබෙන ගල්ලෙන් රාශියක් අපේ රටේ හමුවී තිබෙනවා.
මේ කතා කරන්නේ බලංගොඩ මානවයාගේ සමකාලීනයන් හෙවත් , ඔවුන්ගේ ඥාතීන් විසූ ගල්ලෙනක් පිළිබඳවයි.

මේ කිතුල්ගල බෙලිගල්ලෙන.
කෑගල්ල දිස්ත්‍රික්කයේ තෙත් වැසි වනාන්තරවලින් යුතු, ඉතාමත් සෞම්‍ය දේශගුණයකට හිමිකම් කියන කිතුල්ගල, බෙලිගල්ලෙනට පිවිසෙන්නේ මේ විදිහට.
කිතුල්ගල සිට හැටන් දෙසට මඳ දුරක් යන විට කිතුල්ගල පොලිස් ස්ථානය හමුවෙනවා. එය පසුකර තවත් මීටර් 300කට ආසන්න දුරක් යන විට වම් පසින් මහබාගේ පාර දකින්න ලැබේවි. ඒ පාරේ කිලෝමීටර් 4 ක් පමණ ගිය විට ඉන්ඔය දෙමළ විද්‍යාලය හමුවෙනවා. බෙලිගල්ලෙනට යන්නට එතැන් සිට තවත් කිලෝමීටර් භාගයක පමණ දුරක් යා යුතුයි. ඉන්ඔය රබර් වතුයායේ කෙළවරක තමයි මෙය පිහිටා තිබෙන්නේ. මීට බෙලිගල්ලෙන ලෙස නම ලැබී ඇත්තේ ලෙන් අභ්‍යන්තරයේ විශාල ලෙස බෙලි කටු හමු වීම නිසයි.


මෙහි ලෙන් තුනක් තිබෙනවා. මෙම ලෙන් තුන ඇතුළත්ව අක්කර 28 ක භූමියක් පුරාවිද්‍යාරක්ෂිතයක් ලෙස නම් කර තිබෙනවා.
ප්‍රාග් ඓතිහාසික ජනාවාසයක් ලෙස මෙය මුලින්ම හඳුනාගෙන තිබෙන්නේ 1978 අවුරුද්දෙදි. ඉන්පසු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව 1979 දී මෙහි මූලික කැණීම් කටයුතු ආරම්භ කළා. ලෙන් දෙකක කැණීම් කටයුතු කර තිබෙන අතර වැඩිපුරම කැණීම් කර ඇත්තේ මැද පිහිටි විශාල ගල්ලෙනේයි. එහි ලෙන් විවරය අඩි 60 ක් පළලයි, 40 ක් උසයි. බෙලිගල්ලෙන මානවයා වසර හතළිස්දහසක පමණ අතීතයකට හිමිකම් කියන බලංගොඩ මානවයාගේම ඥාතීන් විය හැකි බවට සාධක පුරාවිද්‍යාඥයන්ට හමුවූයේ 1983 වසරේදී මෙහි කරන ලද සූක්ෂම පුරාවිද්‍යා කැණීම්වලිනුයි.

නූතන මානවයා හෙවත් හෝමෝසේපියන් මානව කණ්ඩායමට අයත් මධ්‍ය ශිලා යුගයේ මානවයාගේ හිස්කබල, අස්ථි පංජර වැනි භෞතික කොටස් පමණක් නොවෙයි ඔවුන්ගේ සංස්කෘතිය, ආහාර රටා, අවිආයුධ ආදී බොහෝ තොරතුරු මෙම බෙලිගල්ලෙනෙන් අනාවරණය කරගත හැකි වී තිබෙනවා.
බෙලිගල්ලෙන විසූ මානවයාගේ ප්‍රධාන යැපීම් මාර්ගය වී තිබුණේ දඩයමයි. වැඩි වශයෙන්ම ඔවුන් දඩයම් කළේ වඳුරන්ව. ඒ වගේම අලි පැටව්, කුළුමීමා, ඌරා, ගෝනා, මීමින්නා, හාවා, වලිකුකුළා, හබන් කුකුළා, ඉත්තෑවා වැනි සතුන්ද, සර්පයන් සහ මත්ස්‍ය වර්ගද ඔවුන්ගේ ආහාර වී තිබෙනවා. මේ මානවයන් ආහාරය පිණිස යොදාගත් තවත් විශේෂිත සතෙකු වන්නේ ගවරායි. ගවරා මහනුවර යුගයේ අවසන් කාලය දක්වාම අපේ රටේ කැලෑවල විසූ මේ වනවිට වඳ වී ඇති සත්වයෙක්. ශක්තිය අතින් කුළුහරකෙකු ද අභිබවා යන, කුළුහරකාටත් වඩා විශාල වූ කෲර සතෙකු වන ගවරාට සතුන්ගේ මස් ගලවාගෙන කෑ හැකි රළු දිවක්ද තිබෙනවා. රොබට් නොක්ස්ගේ ලංකා විස්තරය අනුව මහනුවර විසූ දෙවන රාජසිංහ රජතුමා (1636 – 1687) සුදු ගවරෙකු සුරතලයට ඇතිකර තිබෙන බව පැවසෙනවා. සුදු ගවරා යනු ඉතාමත් දුර්ලභ සතෙක්. බෙලිගල්ලෙන විසූ මානවයා ගවරුන්ද දඩයම් කර ආහාරය පිණිස යොදා ගෙන තිබෙනවා.

මේ හැරුණු විට ඔවුන්ගේ තවත් බොහොම ප්‍රකට ආහාරයක් වුණේ පුවක් ගස්බෙල්ලන්. කැනීම්වලදී විශාල වශයෙන් බෙල්ලන්ගේ කටු හමුවීම නිසා ඒ බව සනාථ වෙනවා. එම බෙලි කටුවල තිබුණු විශේෂත්වය වූයේ ඒවා තියුණු අවියකින් හාරා සිදුරු කර තිබීමයි. එම සිදුරුවලින් ඔවුන් බෙල්ලන්ගේ මස් පිටතට ගෙන ආහාරය පිණිස සකසා ගන්නට ඇති බව අනුමාන කරනවා.
ඒ වගේම බෙල්ලන් හමුවූ පස්තට්ටුවලින්ම වල්දෙල් ඇට, කැකුණ, වල්කෙසෙල් ආදියෙහි අවශේෂ කොටස් සොයාගත හැකිවී තිබෙනවා. දැනටද එම ප්‍රදේශයේ වල්දෙල් ගස් බහුල ව පැවතීම මත මෙම මානවයන් වල්දෙල් ඇට ආහාරයට ගත් බව තහවුරු කරගත හැකියි. එසේම ඔවුන් මස් ඇතුළු මෙම විවිධ ආහාර සකසා ගත් ගිනි උදුන්වලින් ආහාර පුළුස්සාගෙන කෑ බවට සාක්ෂි තිබෙනවා. ඒ වගේම සීතලෙන් මිදෙන්නට ඔවුන් එකිනෙකා ලෙන් තුළ ගුලි ගැසී ජීවත් වූ බවටද කැණීම්වලින් මතු වූ කොටස් සාක්ෂි දරනවා.

මෙම ලෙන් තුළින් හමුවූ මිනිස් ඇටසැකිලිවලින් අනාවරණය වූ තවත් ප්‍රධාන කාරණාවක් වන්නේ ඔවුන් කෙනෙකු මිය ගිය කල විශාල වලවල් හාරා වල දැමීමක් සිදු කර නැති බවයි. යන්තමට බිම හාරා මියගිය පුද්ගලයා එහි බහා ඒ මත ඉවත ලන කසල දැමීමක් සිදුකර තිබෙන බව පුරාවිද්‍යාඥයන් විසින් හෙළි කරගෙන තිබෙනවා.
ඔවුන්ගේ ආයුධ කුඩා ගල් මෙවලම්. මේවා ක්ෂුද්‍ර ශිලා මෙවලම් ලෙස හඳුන්වනවා. ඒ හැරුණු විට සත්ව ඇටකටුවලින් සහ දත්, අං ආදී කොටස්වලින් ද ඔවුන් ආයුධ තනාගෙන තිබෙනවා.
මේ කාන්තාවන් පබළුවලින් තනාගත් ආභරණ පැළඳ ඇති බව පැහැදිලි වන්නේ කැණීම්වලදී අංවලින් තනා ගත් පබළු හමුවීම නිසයි. ගුරුගල් අඹරන ලද ගල්ද මෙම කැණීම්වලදී හමුවී තිබෙනවා. මෙම ගුරුගල් අඹරා එම කාන්තාවන් රුව ලස්සන කර ගැනීම සඳහා ඒවා ශරීරයේ ආලේප කරන්නට ඇති බවටද පුරා විද්‍යාඥයන් මත පළ කරනවා.
කෙසේ වුවද මෙම තොරතුරු මගින් පැහැදිලි වන්නේ අපද ලෝකයේ ඉතාමත් පැරණි අතීතයක් ඇති ජාතියක් බවයි.

ඡායාරූප අන්තර්ජාලයෙනි.

ඉන්දු පෙරේරා

හරිත දනව්ව