බ්‍රීතාන්‍යයේ අගමැති ධුරයට නැවතත් කාන්තාවක්

brithannya

බොරිස් ජොන්සන්ගෙන් පසු එක්සත් රාජධානියේ නව අගමැතිවරයා ලෙස කාන්තාවක් පත් වී සිටියි. ඒ පසුගිය කාලයේ එරට විදේශ ඇමැතිනිය ලෙස කටයුතු කළ ලිස් ට්‍රස්.

  47 වැනි වියෙහි පසුවන ලිස් ට්‍රස් අගමැති ධුරයට පත් වන්නේ එරට ආණ්ඩු පක්‍ෂය වන කොන්සර්වේටිව් පක්‍ෂයේ නායකත්වයට ඇය අභිනවයෙන් පත්වීමත් සමග යි. එක්සත් රාජධානියේ අගමැතිකම හිමි වන්නේ පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාවක් හිමි පක්‍ෂයේ නායකයාට යි. පසුගිය කාලයේ කොන්සර්වේටිව් පක්‍ෂයේ නායකත්වය දැරුවේ බොරිස් ජොන්සන්. නමුත් ඔහුගේ ඇතැම් ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් එම පක්‍ෂයේ මැති ඇමැතිවරුන් අතරින්ම දැඩි විරෝධයක් පැන නැගුණා. ඇතැම් ඇමැතිවරුන් ඔහුට විරෝධය දක්වමින් සිය ධුරවලින් පවා ඉවත් වුණා. තමාට එරෙහිව මතු වූ මෙම කැරැල්ල උත්සන්න වෙද්දී ජොන්සන් පක්‍ෂ නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කළා. කොන්සර්වේටිව් පක්‍ෂයට නව නායකයකු තෝරා ගැනීමට සිදු වූයේ මෙම තත්ත්වය තුළ යි.

මෙයට පෙර එක්සත් රාජධානියේ අගමැති ධුරයට කාන්තාවන් පත් වී ඇත්තේ දෙවතාවක් පමණයි. 1979 වසරේ මාගරට් තැචර් එම ධුරයට පත් වූ අතර 2016 තෙරේසා මේ (Theresa May) අගමැති ධුරයට පත් වුණා.

ට්‍රස් කොන්සර්වේටිව් පක්‍ෂයේ නායකත්වයට පත් වුණේ ලොකු තරගයකින් පසුවයි. එම තරගය සඳහා මුල් අවස්ථාවේ අපේක්‍ෂකයන් කිහිප දෙනෙකු ඉදිරිපත් වුණා. එවැනි අවස්ථාවක සම්ප්‍රදාය වන්නේ අවසන් අපේක්‍ෂකයන් දෙදෙනෙකු තෝරා ගැනීම සඳහා ඡන්ද වට පෙලක් පැවැත්වීමයි. මෙහි දී ඡන්දය පාවිච්චි කරන්නේ කොන්සර්වේටිව් පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්. මේ එක් එක් ඡන්ද වටයේ දී අඩුම ඡන්ද සංඛ්‍යාවක් ලබා ගත් අපේක්‍ෂකයා තරගයෙන් ඉවත් කරනවා. එය හරියට රියැලිටි තරගයක් වගේ. මේ ආකාරයෙන් ජුලි මස මැද භාගයේ සිට පැවැත්වුණු ඡන්ද වටවලින් පසු අවසන් අපේක්‍ෂකයන් දෙදෙනෙකු තෝරා ගැනුණා. ඒ ලිස් ට්‍රස් සහ රිෂි සුනාක්. සුනාක් එරට හිටපු මුදල් ඇමැතිවරයෙක්. අවසන් තරගය පැවැත්වුණේ ඔවුන් දෙදෙනා අතරයි.

ඔවුන් අතරින් ජයග්‍රාහකයා තෝරන අවසන් වටයේ දී ඡන්දය භාවිත කළේ මන්ත්‍රීවරුන් නොවෙයි. කොන්සර්වේටිව් පක්‍ෂයේ සාමාජිකයන්. 172,000 ක පමණ සාමාජිකයන් පිරිසක් ඡන්දය ලබා දීමට ලියා පදිංචි වී සිටි අතර ඔවුන් අතරින් සියයට 82 ක් ඡන්දය පාවිච්චි කර තිබුණා. ලිස් ට්‍රස් මෙම තරගයෙන් ජයග්‍රහණය කළේ ඡන්ද 81,326 ක් ලබා ගනිමින්. සුනාක්ට ලැබී තිබුණේ ඡන්ද 60,399 ක් පමණයි.

මේ ආකාරයෙන් එක්සත් රාජධානියේ අගමැති ධුරයට පත් වීමට නියමිත ලිස් ට්‍රස් ගේ ඊළඟ කටයුත්ත වන්නේ මහ රැජින බැහැදැකීමට යාමයි. එය එරට සම්ප්‍රදායක්. මෙහිදී ආණ්ඩුවක් පිහිටුවීම සඳහා මහ රැජින අගමැතිවරයාට නිල වශයෙන් ආරාධනා කරනවා. සාමාන්‍යයෙන් මහ රැජින නව අගමැතිවරයා හමු වන්නේ බකිංහැම් මාලිගයේ දී වුවත් මෙවර එම සම්ප්‍රදාය වෙනස් වෙනවා. මේ වනවිට මහ රැජින කල් ගෙවන්නේ ස්කොට්ලන්තයේ පිහිටි බැල්මොරල් මාලිගයේ යි. 96 වැනි වියෙහි පසුවන ඇය දැන් ගමන් බිමන් යාමේ අපහසුතාවකින් පෙලෙනවා. මේ නිසා ඇයට බකිංහැම් මාලිගයට පැමිණීමට අපහසු විය හැකි බැවින් ඇය සහ ලිස් ට්‍රස් අතර හමුව බැල්මොරල් මාලිගයේ දී යොදාගෙන තිබෙනවා. ට්‍රස් මහ රැජිනගේ කාලය තුළ පත්වන 15 වැනි අගමැතිවරයා යි.

ලිස් ට්‍රස් මහ රැජින හමුවීමට පෙර බොරිස් ජොන්සන් ඇය හමුවනු ඇති අතර එහි දී ඔහුගේ ඉල්ලා අස්වීම මහ රැජිනට දැනුම් දෙනු ඇති. නව අගමැතිනිය මහ රැජින හමු වී ආපසු පැමිණීමෙන් පසු ඩවුනින් වීදියේ අංක 10 දරණ ස්ථානයේ පිහිටි අගමැති කාර්යාලය ඉදිරිපිට දී ජාතිය ඇමතීමට නියමිත යි.

ට්‍රස් එක්සත් රාජධානියේ අගමැති ධුරයට පත් වන්නේ එරට ආර්ථිකය තුළ ගැටලු ගණනාවක් පවතින අවස්ථාවකයි. මේ වනවිට ආර්ථිකයේ යම් අඩාල වීමක් පවතින අතර ජීවන වියදම ද වේගයෙන් ඉහළ යමින් තිබෙනවා. මේ නිසා ජනතාව සිටින්නේ දැඩි පීඩනයකින්. වසර 40 කින් මෙපිට කිසි අවස්ථාවක එරට උද්ධමනය අද තරම් ඉහළ අගයකට ළඟා වී නොතිබුණු බව සඳහන්. මෙම තත්ත්වය ඇති වීමට ප්‍රධාන වශයෙන්ම හේතු වී ඇත්තේ එරට ඉන්ධන මිල ගණන් ඉහළ යාමයි. යුක්රේන යුද්ධය මෙයට විශාල වශයෙන් බලපා තිබෙනවා.

කෙසේ හෝ වේවා, ලිස් ට්‍රස් කොන්සර්වේටිව් පක්‍ෂ නායකත්වයට පත් වීමෙන් පසු කළ කතාවේ දී පවසා සිටියේ මෙම සියලු ගැටලු විසඳීමට තමා ඉක්මනින් පියවර ගන්නා බවයි. එරට මීළඟ මහා මැතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ 2024 වසරේ යි. එහි දී කොන්සර්වේටිව් පක්‍ෂයට හිමි වන ඉරණම තීරණය වනු ඇත්තේ ඉදිරි වසර දෙක තුළ ලිස් ට්‍රස් පෙන්වන සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය මතයි.

නිහාල් පීරිස්

අරුමැසි පුවත්